E   |     |  

2025-11-13

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමාත්‍යාංශ හතරක 2025 අයවැය යෝජනාවලට අදාළ ප්‍රගතිය විමසයි

  • ඇතැම් ආයතනවල අකාර්යක්ෂමතාවය පිළිබඳ කාරක සභාව නොසතුට පළ කරයි - නැවත කැඳවන විට ඇල්මැරුණු තාක්ෂණික පිළිතුරු වෙනුවට දින වකවානු සහිත නිශ්චිත සැලැස්මක් සමග පැමිණෙන ලෙසටත් දැනුම් දෙයි
  • ජනතාව  අපේක්ෂා සහඟතව බලා සිටින, අයවැය යෝජනා ඉටුකිරීම පිණිස කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කරයි

 

අමාත්‍යාංශ හතරක 2025 වර්ෂයේ අයවැය යෝජනාවලට අදාළ මූල්‍ය සහ භෞතික ප්‍රගතිය පිළිබඳව  යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විමසන ලදී.

ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

මේ අනුව බලශක්ති අමාත්‍යාංශය, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන යන අමාත්‍යාංශවල 2025 වර්ෂයට අදාළ අයවැය යෝජනාවල මූල්‍ය සහ භෞතික ප්‍රගතිය සොයා බැලීම සිදු කෙරිණි. මෙම අමාත්‍යාංශ ලේකම්වරු සහ අදාළ ආයතන ප්‍රධානීන් මෙම රැස්වීමට කැඳවා තිබිණි.

කැලණිවැලි දුම්රිය මාර්ගය වෙනුවෙන් ගිය වසරේ රු. මිලියන 250ක මුදල් වෙන් කළද එහි ප්‍රගතිය පහළ මට්ටමක පැවතීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය. පසුගිය මාර්තු මාසයේ අයවැයෙන් මුදල් වෙන්කළද මෙතෙක් දක්නට ලැබෙන ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව ඉන් පිළිඹිබු වන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.   

මෙම වසරේද අයවැය යෝජනා මගින් කැලණිවැලි දුම්රිය මාර්ගය වෙනුවෙන් රු. මිලියන 840ක මුදල් වෙන් කළද නිසි සැලැස්මක් සහිතව කාර්යක්ෂම ලෙස කටයුතු නොකළහොත් ඉලක්කගත ප්‍රගතිය අපේක්ෂා කළ නොහැකිවනු ඇති  බවද අවසානයේ සිදුවන්නේ ජනතා අපේක්ෂාවන් නිසි කලට ඉටු නොවීම බවද  කාරක සභාව පෙන්වා දුන්නේය.

තඹුත්තේගම දුම්රිය ස්ථානය සංවර්ධනය සඳහා 2025 අවැයෙන් වෙන්කළ මුදල් භාවිතා කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විමසා සිටි අතර නිලධාරීන් ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.  

අයවැය යෝජනා මගින් මුදල් වෙන් කළ ද දිගින් දිගටම ව්‍යාපෘති ප්‍රමාද වීමත් ඒ අනුව අවසානයේ එම මුදල් නැවත භාණ්ඩාගාරයට යැවීමට සිදුවීම කණගාටුදායක බව පැවසූ කාරක සභාව ඒ සම්බන්ධයෙන් සිය නොසතුට පළකර සිටියේය. ඒ අනුව ඇල්මැරුණු තාක්ෂණික පිළිතුරු වෙනුවට දින වකවානු සමඟ නිවැරදි සැලසුම් ඉදිරිපත් කරන ලෙස  දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. අයවැය මගින් වෙන්කරන ලද මුදල් භාවිතා කිරීමේ ප්‍රගතිය සොයා බැලීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංගම ඇතුළු අවශ්‍ය ආයතන නැවත කාරක සභාවට කැඳවන බවත් එසේ පැමිණෙන විට සියලු නිවැරදි දත්ත තොරතුරු සමග පැමිණෙන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. 

මහාමාර්ග හා ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කරණය, නව බස්රථ මිලදී ගැනීම, නාගරික සංවර්ධන අධිකාරියට අදාළ වන කොළඹ මහල් නිවාස අලුත්වැඩියාව ඇතුළු පවතින ගැටලු, බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි ඉලක්ක ඇතුළු මෙම අමාත්‍යාංශ හතරෙහි  අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 

එසේම කාරක සභාව මීට පෙර දැනුම් දී ඇති පරිදි ගාලු වරාය ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳ වාර්තාව කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසත් එම නිලධාරීන්ට දැනුම් දුන්නේය.  එසේම මීට පෙර කාරක සභාවේදී  අනාවරණය වූ කරුණු අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්ය සාධනය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කරන බව   කාරක සභා සභාපතිවරයා පැවසීය.

කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන නලින් බණ්ඩාර ජයමහ, මංජුල සුරවීර ආරච්චි, රවීන්ද්‍ර බණ්ඩාර, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතිඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

 




සම්බන්ධිත පුවත්

2025-11-13

2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ සකස් කළ කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121(5)(i) ප්‍රකාරව සකස් කරන ලද කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලන ලදී.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ තාක්ෂණික කණ්ඩායම විසින් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.ඒ අනුව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත, රාජ්‍ය ණය කළමනාකරණ (PDM) පනත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැඩසටහන යටතේ නියම කර ඇති අවශ්‍යතාවයන් තුළ 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස් වී ඇති බව වාර්තාව මගින් දක්වා ඇත. එමෙන්ම 2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100ක් වැඩි ආදායමක් උත්පාදනය වීම හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස් කිරීමට පහසුවක් වී ඇති බවද දක්වා ඇත. කෙසේ වෙතත් වාහන ආනයනය මන්දගාමී වීම මත 2026 දී ආදායම් වැඩිවීම මන්දගාමී වනු ඇතැයි ද අපේක්ෂා කරන බවද වාර්තාව මගින් දක්වා ඇත. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.අනතුරුව 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟද සාකච්ඡා පවත්වන ලදී. එහිදී එම නියෝජිතයින් විසින් අයවැයේ විනිවිදභාවය, විවිධ අංශවලට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති ආකාරය හා දැනට හඳුනාගෙන ඇති ගැටලු  හා යෝජනා පිළිබඳව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළහ. ඒ අනුව ඔවුන්ගේ ‍එම අදහස් හා යෝජනා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා පැවසීය.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, තිළිණ සමරකෝන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2025-11-13

කාර්ය සාධන වාර්තා එකොළහක් සහ වාර්ෂික වාර්තා හතක් රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනුමත කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට අදාළ කාර්ය සාධන වාර්තා එකොළහක් සහ වාර්ෂික වාර්තා හතක්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් සලකා බලා අනුමත කරන ලදී. උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී රැස්විය.ඒ අනුව, 2023 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2023 සහ 2024 වසර සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා, 2023 සහ 2024 වසර සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා, 2023 සහ 2024 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා, 2023 සහ 2024 වර්ෂ සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා, 2023 සහ 2024 වසර සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2023 වසර සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2022 සහ 2023 වර්ෂ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා, රණවිරු සේවා අධිකාරියේ 2023 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව, රක්නා ආරක්ෂක ලංකා සමාගමේ 2020 සහ 2021 වර්ෂයන් සඳහා වන වාර්ෂික වාර්තා සමසේ සලකා බලා අනුමත කෙරිණි.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, චන්දන සූරියආරච්චි, නීතිඥ අනුෂ්ක තිලකරත්න, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී.සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ. 


2025-11-13

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම උදෙසා සකස් කළ අදහස් හා යෝජනා ඇතුළත් අතුරු වාර්තාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දෙනවා - අනුකාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක් සකස් කර ලබන 13 වැනි දින රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දීමට සුදානම් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පැවසුවේය.ඒ, සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 10.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, මෙලෙස රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා විවිධ පාර්ශ්ව හමුවී සාකච්ඡා පවත්වා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගත් බවත් එහිදී ඔවුන්ගේ සේවාවන්හි පවතින ගැටලු හා වැටුප් විෂමතාවන් පිළිබඳව පුළුල්ව අවබෝධයක් ලබා ගත් බවද පැවසුවේය.ඒ අනුව සමස්ත රාජ්‍ය සේවයේ නිරතවෙන සේවකයින් උදෙසා වඩාත් විධිමත් හා විද්‍යානුකූලව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමටත්, ඔවුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වන සේවා ව්‍යවස්ථා, බඳවාගැනීමේ පටිපාටි, උසස්වීම් සහ දීමනා සම්බන්ධව දැනට පවතින තත්ත්වයන් වඩාත් සාධාරණ ආකාරයට සිදු කිරීමට අපේක්ෂා කරන යෝජනා හා අදහස් ඇතුළත් අතුරු වාර්තාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දෙන බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අජන්ත ගම්මැද්දෙගේ, නීතිඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2025-11-08

රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ 17 වන කාණ්ඩායමේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට, තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගන්න - අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ 17 වන කාණ්ඩායමේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු, තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගෙන ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.2023 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් ලැබූ ශිෂ්‍යයන්, රුහුණ සම සෞඛ්‍ය පීඨයට තේරී පත්වී වසරකට අධික කාලයක් ගත වී තිබෙන නමුත් සම සෞඛ්‍ය පීඨයේ පවතින මානව සම්පත් හිඟය හේතුවෙන් මේ දක්වා එකී ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බවද විශ්වවිද්‍යාල බලධාරීහු පැවැසුහ.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් 30.10.2025 වන දින පාර්ලිමේතුන්වේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීම සඳහා ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියේය. මෙහිදී අදහස් දක්වමින් විශ්වවිද්‍යාල බලධාරීහු රුහුණ සම සෞඛ්‍ය පීඨයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව කාරක සභාවට කරුණු ඉදිරිපත් කළහ.කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය මානව සම්පත ලබාදීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවත් එම නිලධාරීහු පැවසුහ.මෙහිදී අදහස් දක්වමින් ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා උද්ගතවී ඇති ගැටලුව හේතුවෙන් සිසුන් 250 ක පිරිසක් දැඩි පීඩාවකට පත්ව ඇති බවත් එම ගැටලුව නිරාකරණය කිරීමට තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගෙන අධ්‍යන කටයුතු ආරම්භ කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර අදාළ පියවරයන් කඩිනමින් ක්‍රියාත්මක කර සම සෞඛ්‍ය පීඨයේ 17 වන කාණ්ඩයේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාලයේ නිලධාරීහු පැවසුහ.මේ අතර 2025 වර්ෂය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු සහ ක්‍රීඩා යන අමාත්‍යාංශ වල අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සහ 2025.12.31 දක්වා අපේක්ෂිත ප්‍රගතිය ද මෙදින කාරක සභාවේදී සලකා බලන ලදී. එහිදී අදාළ අමාත්‍යාංශවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පොදුවේ බලපාන ගැටලු කාරී තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් අපේක්ෂිත මට්ටමට ළඟා කරගැනීමට නොහැකි වූ බව අමාත්‍යාංශ ලේකම්වරු පෙන්වා දුන්හ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ගොඩනැගිලි ඉදිකිරිමේදී පවතින ගැටලු හේතුවෙන් අදාළ ප්‍රගතිය ලබාගැනීමට අපොහොසත් වී ඇති බවත් මේ වසරේ තවත් කෙටි කාලයක් පවතින බැවින් අදාළ ප්‍රගතීන් වැඩි කරගැනීමට අපේක්ෂා කරන බවත් පැවැසුහ.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා, සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ යන මහත්වරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු සහ ක්‍රීඩා යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති, සම සෞඛ්‍ය පීඨයේ පීඨාධිපති හා ආචාර්ය මණ්ඩලයේ සමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks