E   |     |  

2021-02-16

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේදී රජය සහ විපක්ෂය එක්ව වැඩ කළ යුතුයි - විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබද වාද විවාද තිබිය හැකි වුවද, ජාත්‍යන්තර වශයෙන් රට නියෝජනය කරන සෑම මොහොතකම සෑම දෙනාම එක්සිත්ව එක හඩකින් ක්‍රියාකිරීම ජාතික වගකීමක් බව ගරු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.

අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව ඇතුළු බොහෝ රටවල විවිධ අභ්‍යන්තර මතභේද තිබුණද ජාත්‍යන්තර වේදිකාවේදී එකම එකම හඩකින් එකම ජාතියක් ලෙස තම රට නියෝජනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ අනුව රටේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර වශයෙන් නියෝජන‍යේදී  එක් රටක් , එක් ජාතියක් ලෙස සියලු පාර්ශ්වයන් එක්ව ක්‍රියාකරනු  ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා අවසන් රැස්වීමේදී මතුකළ ඉන්දියාවේ ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධ කාරණාවේ ප්‍රගතිය  පිළිබදව මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය. ඉන්දියාවේ ශ්‍රී ලාංකික සරණාගතයින් සඳහා කඳවුරු ගණනාවක් ඇති බවත් සරණාගතයින් 50,000 කට වැඩි පිරිසක් තමිල්නාඩුවේ කඳවුරුවල සිටින බවත් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මෙම කඳවුරුවලින් පිටත ද සරණාගතයින් රැදී  සිටින බවත්, සැලකිය යුතු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙත ආපසු ගෙන්වා ගැනීමට‍ මේවන විට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

ඉන්දියානු රජය කඳවුරු තුළ සිටින සරණාගතයින්ට ආහාර, නවාතැන්, ඖෂධ, අධ්‍යාපනය ඇතුළු මූලික අවශ්‍යතා සහ සුභසාධනය සඳහා පහසුකම් සපයන බවත්, චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් එම කටයුතු අධීක්ෂණය කරනු ලබන බවත් ඔහු  වැඩිදුරටත් සඳහන් කළේය. COVID-19 වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද මෙම කාරණය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය ප්‍රමුඛතාවයක් ලබා දී කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසූ අතර ගරු විදේශ ඇමතිවරයාගේ මෙම උත්සාහය අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා මෙහිදී පැවසීය.

අමාත්‍යාංශයේ යෝජනාවකට අනුව රුමේනියාවේ සහ ස්පාඤ්ඤයේ තානාපති කාර්යාලයක් පිහිටුවීමට මේවන විට අවශ්‍ය අනුමැතිය ලැබී ඇති බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කමිටුවට ප්‍රකාශ කළේය. මීට අමතරව, මැඩගස්කරයේ කොන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට සහ යුරෝපයේ පිහිටි ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹීමට ද අනුමැතිය ලැබී  ඇති බවත් ඒ මහතා අනාවරණය කළේය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉන්දියානු ධීවර යාත්‍රා පැමිණීමේ ගැටලුව කෙරෙහිද කමිටුවේ අවධානය යොමුවූ අතර මෙම ගැටලුව විසදීම සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලය සමඟ විශේෂ සාකච්ඡාවන්  අඛණ්ඩව සිදුකරන බව මෙහිදී  අමාත්‍යවරයා කියා සිටියේය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභාවට  රාජ්‍ය අමාත්‍ය තාරකා බාලසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා, ආචාර්ය සුරේන් රාගවන්, චන්දිම වීරක්කොඩි, ගාමිනි වලේබොඩ, යදාමිණි ගුණවර්ධන, චාල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රිදරන්, ඩයනා ගමගේ, එස්. රාසමානික්කම් ඇතුළු  විදේශ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද  එක්ව සිටියහ.

 

1 2



සම්බන්ධිත පුවත්

2025-07-28

ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා  පාර්ලිමේන්තුවේදී   රැස්වූ අතර  එහිදී  ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින්  2026 වසරේදී  දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු   කාරක සභාවට  සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද  ඔවුහු වැඩිදුරටත්  අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී  කාරක සභාව  විසින්  ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි  නිලධාරීන්ගෙන්  විමසා සිටි අතර එයට   ප්‍රතිචාර දක්වමින්  අමාත්‍යාංශ නිලධාරීහු  දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත්  නිරාකරණය නොවූ  විගණන විමසුම් පිළිබඳව  කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත  කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම  මහත්මීහු  මෙන්ම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු  පිඑඉසක්  සහභාගි වූහ. 


2025-07-28

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවේ

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක්  පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ  නම  උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත. එමෙන්ම  බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන්  යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද  අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා  ජිනසේන  මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන  කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 


2025-07-28

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම  පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු  සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ  අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු  අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු   පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු  කාරක සභාවට  දීර්ඝ  ලෙස  කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු  ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල  විශේෂඥයින්  සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව  පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්  පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2025-07-28

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරේ

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks