නොවැම්බර් 08, 2025
ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳව ආබාධ සහිත පුද්ගලයින්ගෙන් සෘජු අදහස් ලබා ගැනීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර කිලිනොච්චියේදී
ආබාධ සහිත පුද්ගලයන්ට ඔබ ලබාදෙන සේවාවෙන් ඔවුන් තෘප්තිමත්
නම් සේවාව සපයන ඔබටත් තෘප්තිමත් විය හැකියි - ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී
සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත
පුද්ගලයන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ
උපදෙස් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ආබාධ සහිත වූවන් සඳහා වන
පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් පසුගියදා (නොවැ. 04) කිලිනොච්චි
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හැකියා වර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. දසවැනි
පාර්ලිමේන්තුවේ ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ,
“ආබාධිතභාවයට සංවේදී පාර්ලිමේන්තුවක්” යන අභිලාෂයට අනුව දිවයින පුරා ආබාධ
සහිත පුද්ගලයින්ගෙන් සෘජු අදහස් ලබා ගැනීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කළ
අතර එහි පළමු අදියර මෙලෙස කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක කේන්ද්‍ර
කරගනිමින් පැවැත්විණි.ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ
සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ
ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ වැඩසටහන සඳහා එම සංසදයේ නියෝජ්‍ය සම-සභාපති
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා ද සහභාගී
විය. මේ අතර, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන්, මුලතිව් අතිරේක
දිස්ත්‍රික් ලේකම් සතීසන් මන්ජුලාදේවි යන මහත්ම මහත්මීන්, පළාත්පාලන
ආයතනවල මහජන නියෝජිතයන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශීය
ලේකම්වරුන් ඇතුළු ප්‍රාදේශීය රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන්, සෞඛ්‍ය
අංශ නියෝජනය කරන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, කිලිනොච්චි සහ මුලතිව්
දිස්ත්‍රික්කවල ආබාධ සහිත වූවන් නියෝජයන කරන සංවිධානවල නියෝජිත පිරිස් සහ
අබාධ සහිත පුද්ගලයන් ඇතුළු 100 කට ආසන්න පිරිසක් මෙම වැඩසහටනට සහභාගී වූහ.
ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්
කාර්යාල සමඟ ඒකාබද්ධව මැතිවරණ ක්‍රමය සඳහා වූ ජාත්‍යන්තර පදනමේ (IFES)
අනුග්‍රහයෙන් මෙම වැඩසටහන පැවති අතර, එම පදනමේ වැඩසටහන් නිලධාරිනී අනෝජිතා
සිවාස්කරන් මෙනවියද මෙම අවස්ථාවට එක්ව සිටියාය. මෙහිදී අදහස්
දක්වමින් සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා
මහතා පැවසුවේ සේවාවන් ලබාගැනීම සඳහා තමන් ඉදිරියට පැමිණෙන අබාධ සහිත
පුද්ගලයන්ට මානුෂීයව සලකා ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබාදෙන ලෙස සියලුම රාජ්‍ය
නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. අබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා හඳුනාගැනීමට
ඔවුන්ගේ ස්ථානයේ සිට බැලීමෙන් ඔවුන්ට සැබැවින්ම අවශ්‍ය වන්නේ කුමක්දැයි
නිවැරදිව හඳුනාගත හැකි බවත්, එලෙස සේවාවන් ලබාගැනීමට පැමිණෙන අබාධ සහිත
පුද්ගලයන්ගේ සිනහවෙන් ඔබගේ රැකියාවේ තෘප්තිය දැකගත හැකි බවත් හෙතෙම සඳහන්
කළේය. මේ අතර, දැනට පවතින අබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්
ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා පියවර ගෙන ඇති බවත්, එයට පසුගිය දශක
දෙකක පමණ වෙනස්කම් සැලකිල්ලට ගෙන ඇති බවත් සංසදයේ සභාපතිවරයා පැවසීය. තවද,
මෙම පනත් කෙටුම්පත සඳහා ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත්
ජාතීන්ගේ සම්මුතියේ (UNCRPD) පවතින 25 කට අධික අයිතිවාසිකම් ඇතුළත් කිරීමට
කටයුතු කරන බවත්, එයට සමගාමීව ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාතික
ප්‍රතිපත්තිය සහ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ද කෙටුම්පත් කිරීමට පියවර ගෙන
ඇති බවත් හතෙම පෙන්වා දුන්නේය. මෙහිදී අදහස් දැක්වූ සංසදයේ නියෝජ්‍ය
සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්
මහතා, ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා වැඩි වශයෙන් පවතින උතුරු පළාතේ
මෙවැනි වැඩසටහනක් පැවැත්වීම ඉතා වැදගත් බවත් දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ
සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය දේශපාලන භේදයකින් තොරව ආබාධ සහිත
ප්‍රජාවන්ට අදාළ නීතිමය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පෙනී
සිටින බවත් සඳහන් කළේය. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාත්‍යන්තර දිනයට අදාළ
ජාතික වැඩසටහන මෙවර යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමටද අවශ්‍ය කටයුතු සලසා
ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම මාර්ග අනතුරු අවම කිරීමට සහ මාර්ග
නීති පිළිපැදීමේදී, මාර්ග නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ සහයෝගය
තවදුරටත් අවශ්‍යවීමේ වැදගත්කමද හෙතෙම පෙන්වා දුන්නේය. මේ අතර
කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් සහ මුලතිව් අතිරේක
දිස්ත්‍රික් ලේකම් සතීසන් මන්ජුලාදේවි යන මහත්ම මහත්මීන් ද අදහස් දැක්වූ
අතර, ආබාධ සහිත තැනැත්තන් සඳහා රජයෙන් ලබාදෙන ප්‍රතිලාභ ඔවුන්ගේ
අවශ්‍යතාවයන් සම්පූර්ණයෙන් ඉටු කිරීමට ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදී එම
ප්‍රතිලාභයන් වැඩි කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණය ගැනීමේ අවශ්‍යතාවයත්
ඔවුහු පෙන්වා දුන්හ.ඒ අනුව කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල
අබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග සහ ගැටලු නිරාකරණය කර ගැනීමට අදාළ
ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය ආයතනවලින් සැපයිය හැකි සේවාවන් සහ ඒවා වැඩිදියුණු
කිරීමට අදාළ යෝජනා පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සිදුවිය. එසේම,
සමාජ සේවා නිලධාරීන් නොමැතිකම, ආබාධ සහිත පුද්ගලයින් සඳහා ජාතික වශයෙන්
පිළිගත් හැඳුනුම්පතක් තිබීමේ අවශ්‍යතාවය, රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම,
ආබාධ සහිත පුද්ගලයින් සෞඛ්‍ය සහ ප්‍රවාහන සේවාවන් ලබාගැනීමේ ඇති අභියෝග,
ස්වයං රැකියාවල නියැලීමට හැකි ආබාධ සහිත පුද්ගලයින් සඳහා ඉඩම් අවශ්‍යතා
සපුරාලීම, සංඥා භාෂා පරිවර්තන අවශ්‍යතා, ආබාධ සහිත පුද්ගලයින් සඳහා වාහන
බලපත්‍ර නිකුත් කිරීමේදී පවතින ගැටලු, ආබාධ සහිත සිසුන් සඳහා පුහුණු
ගුරුවරුන්ගේ අවශ්‍යතා සහ වඩා හොඳ පහසුකම් සහිත පාසල් ඇතුළු දිස්ත්‍රික්ක
තුළ පවතින ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික අභියෝග කෙරෙහි මෙහිදී දීර්ඝ වශයෙන්
සාකච්ඡා කෙරිණි.මෙහිදී ඉදිරිපත් වූ කරුණුවලට අදාළව සංසදය විසින්
නිර්දේශ සහ විසඳුම් ඉදිරිපත් කිරීමද සිදු විය. මෙම අදහස් ලබාගැනීමෙන්
අනතුරුව, අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පාර්ලිමේන්තු සංසදය විසින්
අදාළ අමාත්‍යාංශ සහ පාර්ලිමේන්තුව සමඟ කටයුතු කරන බව සංසදයේ ගරු සභාපතිවරයා
පැවසූ අතර දිස්ත්‍රික් මට්ටමේ සේවා සැපයීමේදී ඒවා නිවැරදිව ක්‍රියාත්මක
වීම සහතික කිරීම වැනි කටයුතු පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පසු
විපරම් කිරීම කෙරෙහි මැදිහත් වන බව පැමිණි නිලධාරීහු පැවසූහ.