07

E   |     |  

සභා‌වේ තීරණය අවශ්‍ය වූ විටදී මන්ත්‍රීවරයන්‌ගේ අනුමතිය ‌හෝ විරුද්ධත්වය දැනගැනීම පිණිස ප්‍රශ්නය සභාවට ‌යොමු ‌කරනු ලැබේ. සෑම මන්ත්‍රීවරයෙක්ගේ ම තීරණය ඡන්ද‌යෙන් ලබාගනියි. ඡන්දයක් පැවැත්විය හැකි වන්‌නේ පාර්ලි‌මේන්තුව රැස්වන විටකදී පමණි. සෑම මන්ත්‍රීවර‌යකුටම ඡන්දයක් හිමිවන අතර ඡන්දය පුද්ගලිකව පාවිච්චි කරනු ලැබිය යුතුය. ඡන්දය දීමේදී මන්ත්‍රීවරයා සිය අසු‌නේ සිටිය යුතුය. සෑම මන්ත්‍රීවරයකුටම ඡන්ද අයිතිය හිමිවන අතර අවශ්‍ය නම් ඡන්ද දී‌මෙන් වැළකී සිටිය හැකිය. පාර්ලි‌මේන්තු‌වේ ඡන්දය ප්‍රකාශ කිරීම සිව් ආකාරයකින් කළ හැකිය. ඒවා නම්,

අ. කටහඬින් ඡන්දය ප්‍රකාශ කිරීම

වඩාත් සුලබව දක්නට ලැ‌බෙන්‌නේ කටහඬින් ගන්නා ඡන්දයයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග 47(1) ට අනුව කථානායකවරයා විසින් ප්‍රශ්නය සභාවට ‌යොමුකළ විට පක්ෂ අය “පක්ෂයි” යනු‌වෙන් ද විපක්ෂ අය “විරුද්ධයි” යනු‌වෙන් ද ප්‍රකාශ කරයි. සභා‌වේ මතය පැහැදිලි ප්‍රමාණවත් බවකින් ප්‍රකාශ වූ බවට කථානායකවරයා සෑහීමකට පත්‌වේ නම් ඒ බව සභාවට ප්‍රකාශ කළ හැකිය. කථානායකවරයා‌ගේ තීරණය පිළිබඳව යම් මන්ත්‍රීවර‌යෙක් සෑහීමකට පත්නොවන්‌නේ නම් එම මන්ත්‍රීවරයාට ‌බෙදීමක් ඉල්ලා සිටිය හැකිය.

ආ. මන්ත්‍රීවරයන් පේළියෙන් පේළිය බැගින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම (සිය අසුනෙන් නැගී සිට ඡන්දය ප්‍රකාශ කිරීම)

පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 47(2)(අ) හි සඳහන් ආකාරයට ඡන්දය විමසනු ලැබේ. මන්ත්‍රීවරයන් එක් පේළියෙන් පේළිය බැගින් සිය අසුන්වලින් නැගී සිට සභාව ඉදිරියේ ඇති යෝජනාවට පක්ෂව හෝ විරුද්ධව ඡන්දය භාවිතා කරනු ලබන අතර පාර්ලිමේන්තුවේ මහ‌ ලේකම්වරයා විසින් ඡන්ද ගණන් කොට ප්‍රතිඵලය කථානායකවරයාට දන්වනු ලබන අතර කථානායකවරයා විසින් එම ප්‍රතිඵලය සභාවට ප්‍රකාශ කරනු ලැබේ.

ඇ. විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් ඡන්දය විමසීම

මන්ත්‍රීවරයන් විසින් කථානායකවරයා විසින් ඉඩදෙනු ලබන කාල සීමාව ඇතුළත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2)(ආ) හි විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය මඟින් ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.

ඈ. නමින් ඡන්දය ප්‍රකාශ කිරීම

නමින් ‌බෙදීමක් අවශ්‍ය යැයි ‌මන්ත්‍රීවරයකු ‌යෝජනා කළ විට කථානායකවරයා විසින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 47(2)(ඇ) හි සඳහන් පියවර ගනු ලබයි. ‌මේ අවස්ථා‌වේදී ‌බෙදුම් සීනු මිනිත්තු ‌පහක් නාද කළ යුතු අතර ‌බෙදීම නමින් ගත යුතුය. සෑම මන්ත්‍රීවරයකු‌ගෙන්ම තමා ඡන්දය දීමට රිසි ආකාරය විමසා එය පාර්ලිමේන්තුවේ මහ‌ ලේකම්වරයා විසින් සටහන් කර ගනු ලැබේ. පළමුව අග්‍රාමාත්‍යවරයා‌ගේ ද ඉන්පසු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නි‌යෝජ්‍ය අමාත්‍යවරයන්ගේ ද, ඉන්පසු අනෙකුත් මන්ත්‍රීවරයන්ගේ ද ඡන්දය නම්වල අකාරාදී අනුපිළිවෙළට පාර්ලිමේන්තුවේ මහ‌ ලේකම්වරයා විසින් විමසනු ලැබේ. යම් මන්ත්‍රීවර‌යකු ඡන්දය භාවිතා කිරීමෙන් වළකින බව ප්‍රකාශ කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ මහ‌ ලේකම්වරයා විසින් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි ලෙස සටහන් කරනු ලැබේ. ඡන්දය ගණන් කිරී‌මෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් එකී ප්‍රතිඵලය කථානායකවරයා ‌වෙත ලබාදිය යුතු අතර එවිට කථානායකවරයා විසින් එම ‌බෙදී‌මේ ප්‍රතිඵලය පක්ෂව හා විරුද්ධව ප්‍රකාශ කරනු ලැබ ඇති ඡන්ද ගණන සහිතව ප්‍රකාශයට පත්කළ යුතු ‌වේ. ඡන්ද සංඛ්‍යා සමාන නම් කථානායකවරයාට තීරක ඡන්දය දීමෙන් අනතුරුව ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලැබිය හැකි‌ය.

තවද, කථානායකවරයා විසින් ඡන්දය දීම සඳහා ඉඩ ලබාදෙනු ලැබූ කාලය අවසාන වූ බව ප්‍රකාශ කරනු ලැබීමට පෙර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 49 හි සඳහන් පරිදි යම් මන්ත්‍රීවරයකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සිදුවූ වරදක් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනු ලැබිය හැකිය.

එමෙන්ම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 48 හි සඳහන් පරිදි ඡන්ද විමසීමේ පැටලිලිසහගත තත්ත්වයක් හෝ වරදක් ඇති අවස්ථාවක තවත් ඡන්ද විමසීමක් වෙත පාර්ලිමේන්තුව යොමු කරනු ලැබීමට කථානායකවරයාට හැකිය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks