07

E   |     |  

පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරියා වන අතර ඔහු පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාවය ඇතිව ජනාධිපතිවරයා විසිනි. පාර්ලිමේන්තුවේ මහලේකම් ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වෙන් සුරක්ෂිත වී ඇති නිලයකි. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සතු ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් නම් පාර්ලිමේන්තු පටිපාටිය, පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය, ස්ථාවර නියෝග, වරප්‍රසාද සහ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අදාළ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් කථානායකවරයාට සහ මූලාසනය දරන වෙනත් නිලධාරීන්ට උපදෙස් දීමය. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ වගකීම් ඉටු කිරීමේදී ඔහුට නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ සහ සහකාර පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ සහාය ලැබේ. මහලේකම්වරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පරිපාලකයා මෙන්ම ගිණුම් නිලධාරියා ද වේ. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය පත්කරනු ලබන්නේ කථානායකවරයාගේ අනුමැතිය ඇතිව මහලේකම්වරයා විසිනි. මහලේකම්වරයා හෝ ඔහුගේ නාමිකයා, පාර්ලිමේන්තුව විසින් පිහිටුවනු ලැබ ඇති සියලුම කාරක සභාවල ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි.

 

වත්මන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් පිළිබඳව

කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය

වර්තමානයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් නමැති උසස් ධූරය හොබවන කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය එම තනතුරට අනුප්‍රාප්ත වූයේ 2023 වර්ෂයේදීය.

ඇය සිය පාර්ලිමේන්තු වෘත්තීය දිවිය පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස 1999.03.02 වැනි දින ආරම්භ කොට ඇති අතර, වර්ෂ 2012 දී පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් තනතුරට පත්වීමට පෙර ඇය සහකාර ප්‍රධාන නිලධාරි සහ නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී තනතුරු හොබවමින් පාර්ලිමේන්තුවේ විවිධ කාර්යාංශ වල සේවය කොට ඇත. වර්ෂ 2020 දී ඇය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් තනතුරට පත්වී ඇත.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හදාරා ඇති රෝහණදීර මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇත. එසේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී (එල්.එල්.බී) උපාධිය හිමි ඇය නීතිඥවරියක්ද වේ.

පාර්ලිමේන්තු සේවයට සම්බන්ධවීමට පෙර ඇය සම්පත් බැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරිනියක, පරිසර පදනමේ කනිෂ්ඨ විද්‍යාඥවරියක, ජාතික අධ්‍යාපන ආයතනයේ (දුරස්ථ අධ්‍යාපනික) අධ්‍යක්ෂකවරයාගේ ලේකම්වරිය ලෙස සහ ඉන්ෆොමැටික්ස් පෞද්ගලික ආයතනයේ මධ්‍යස්ථාන සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කර ඇත.

එසේම ඇය ඉන්දියාවේ ලෝක් සභාවේ පාර්ලිමේන්තු අධ්‍යයන හා පුහුණු කාර්යාංශයේ, කැනඩාවේ මොන්ට්‍රියල්හි මැක්ගිල් විශ්වවිද්‍යාලයේ සහ වෙනත් බොහෝ රටවල් ගණනාවක ආයතන කිහිපයකින් පාර්ලිමේන්තු ක්‍රියාදාමය සහ භාවිතයන් පිළිබඳවත්, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳවත් පුහුණුවීම් ලබා ඇත.

ඇය වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ සාමාජිකාවක් වන අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ද සාමාජිකත්වය හොබවනු ලබයි. එමෙන්ම රෝහණදීර මහත්මිය විසින් වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ, ලංකා බැංකුවේ, “නීතිය” සඟරාවේ, පාර්ලිමේන්තු සඟරාවල සහ පුවත්පත්වල පාර්ලි‌මේන්තු ක්‍රියා පටිපාටි සහ භාවිතයන් පිළිබඳව ලිපි ද පළ කර ඇත.

නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා සමඟ විවාහ වී සිටින ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි. ඇය ඉවුම් පිහුම් කටයුතු සහ ගායනයට ද ප්‍රිය කරයි.


වත්මන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්

අමතන්න

ඊ-මේල් ලිපිනය

kushani_r@parliament.lk

දුරකථන

0112862365


පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරු


පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් (1978 සැප්තැම්බර් 07 සිට ‌මේ දක්වා)

(2002 අ‌ගෝස්තු 1 සිට 11 දින දක්වා මහ ‌ලේකම්වරයකු ‌නොමැතිව පාර්ලි‌මේන්තුව ක්‍රියාත්මක විය)


ජාතික රාජ්‍ය සභා‌වේ ලේකම් (1972 මැයි 22 - 1978 සැප්තැම්බර් 07)





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks