07

E   |     |  

පෞද්ගලික මන්ත්‍රීවරයකු යනු කථානායක, නි‌යෝජ්‍ය කථානායක, නි‌යෝජ්‍ය කාරක සභා සභාපති, අග්‍රාමාත්‍ය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය, අමාත්‍ය මණ්ඩලයේ නොවන අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක යනාදී කිසිදු ධූරයක් නොදරන මන්ත්‍රීවරයෙකි.

යම්කිසි පෞද්ගලික මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන විවිධ විෂයයන් හා සම්බන්ධ‌ වැදගත් කාරණා පිළිබඳ ‌යෝජනා පෞද්ගලික මන්ත්‍රීවරයන්‌ගේ ‌යෝජනා ලෙස හඳුන්වනු ලැබේ. එවැනි යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කිරීම ‌හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු‌ කරනු ලැබේ.

එවැනි යෝජනා මුලින්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට භාර දිය යුතුය. පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ ‌යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත දිනට පෙර පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තක‌ය හෝ පරිපූරකය මඟින් ලැබෙන අනුපිළිවෙළ අනුව දැනුම්දීම කරනු ලැ‌බේ.

සෑම මාසයකම පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන පළමුවැනි සතියේ සිකුරාදා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා සඳහා ප්‍රමුඛතාවය ලැබේ.

කෙසේ වුවද, පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනීම, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලැබේ.

කථානායකවරයා විසින් මන්ත්‍රීවරයා‌ගේ නම අඬගසනු ලැබීමෙන් අනතුරුව එතුමා විසින් ‌යෝජනාව ඉදිරිපත් ‌කරනු ලැබේ. ඉන්පසු වෙනත් පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකු විසින් එම යෝජනාව ස්ථිර කර විවාද කරනු ලැ‌බේ. එනමුත්, අදාළ මන්ත්‍රීවරයා පැමිණ නොසිටියි නම්, නිසි පරිදි බලය පවරන ලද ‌වෙනත් මන්ත්‍රීවරයකුට ‌ අදාළ මන්ත්‍රීවරයා වෙනු‌වෙන් එම ‌යෝජනාව ඉදිරිපත් කළ ‌හැකිය. එසේ නොමැති නම් එම ‌යෝජනාව අහෝසි වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව, පෞද්ගලික මන්ත්‍රීවරයකුගේ යෝජනා දහයක් පමණක් එක් මන්ත්‍රීවරයකුගේ නමින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට හෝ පරිපූරකයට ඇතුළත් කළ හැකිය.

පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාද කිරීම සඳහා කාලය වෙන්කිරීම

සෑම පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනාවක්ම සභාවේ දී පැයක කාලයක් විවාද කරනු ලැබේ. යෝජක මන්ත්‍රීවරයාට මිනිත්තු 10 ක් සහ ස්ථීර කරනු ලබන මන්ත්‍රීවරයාට මිනිත්තු 5 ක් ද, අනෙකුත් කථික මන්ත්‍රීවරයන්ට මිනිත්තු 5ක් බැගින් ද, පිළිතුරු ලබා දීම සඳහා අදාළ විෂය භාර අමාත්‍යවරයාට මිනිත්තු 10 ක් සහ අවසානයේදී යෝජක මන්ත්‍රීවරයාට නැවත මිනිත්තු 5 ක්ද වශයෙන් අදාළ පැයක කාලය බෙදා දෙනු ලැබේ.

යම් පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනාවක් සම්මත වීම හෝ නොවීම පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්වල ඇතුළත් කරනු ලැබේ.

අදාළ දිනට නියමිත පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාද කිරීමෙන් අනතුරුව තවදුරටත් පසුදිනක දී විවාදයට ගැනීමට ඉතිරිවන යෝජනා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව දැනුම්දීම පිණිස පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගන්නා සිකුරාදාම ඊළඟ දිනය දක්වා දැනුම් දී පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ හෝ පරිපූරකයේ ඇතුළත් කරනු ලැබේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks