07

E   |     |  


පාර්ලිමේන්තු කථා අඩංගු “හැන්සාඩ් වාර්තාව” සකස් කිරීම සහ පාර්ලිමේන්තු කාරක සභා වාර්තා සටහන් සකස්  කිරීම  හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ වගකීම වේ.

හැන්සාඩ් සංස්කාරක, නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරකවරුන්, සහකාර හැන්සාඩ් සංස්කාරකවරුන්, ජ්‍යෙෂ්ඨ හැන්සාඩ් වාර්තාකරුවන් සහ හැන්සාඩ් වාර්තාකරුවන් යන නිලධාරින්ගෙන් සමන්විත මෙම දෙපාර්තමේන්තුව, කාරක සභා වාර්තාකරුවන්ගේ ඒකකයකින්ද, සුචි සම්පාදන ඒකකයකින් ද, කථා පටිගත කිරීමේ ඒකකයකින් ද සමන්විත ය.

හැන්සාඩ් සංස්කාරක මඩුල්ල, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි අංශ සඳහා නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරකවරු තිදෙනකුගෙන් ද, සිංහල  සහ ඉංග්‍රීසි අංශ සඳහා සහකාර  හැන්සාඩ් සංස්කාරකවරු පස් දෙනා බැගින්ද, දෙමළ අංශය සඳහා සහකාර හැන්සාඩ් සංස්කාරකවරයකුගෙන් ද සමන්විත වේ.  හැන්සාඩ් වාර්තාකාර අංශය, ඉංග්‍රීසි  සහ  සිංහල අංශ සඳහා වාර්තාකරුවන් දහඅට දෙනා  බැගින් ද, දෙමළ අංශය සඳහා වාර්තාකරුවන් පස් දෙනෙකුගෙන් ද සමන්විත වේ.

පාර්ලිමේන්තු විවාද පැවැත්වෙන අතරතුර ප්‍රකාශ කරනු ලබන, ශ්‍රවණය වන සෑම වචනයක්ම හැන්සාඩ් වාර්තාකරුවන් විසින් වාර්තා කර ගෙන, ඔවුන් විසින් ඒවා අත් පිටපත් කර, එම පිටපත් පරීක්ෂා කර බලා දෝෂ තිබේ නම් නිවැරදි කිරීම සඳහා සහකාර හැන්සාඩ් සංස්කාරකවරුන් වෙත භාර දෙනු ලැබේ. එසේ නිවැරදි කරන ලද පිටපත්, ඉන්පසුව එක් එක් අංශයේ නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරක වෙත භාර දෙනු ලබන අතර,  නියෝජ්‍ය  හැන්සාඩ් සංස්කාරකවරුන් විසින් ඒවා නැවත පරීක්ෂා කර බලා තවදුරටත්  නිවැරදි කළ යුතු යැයි හැඟීයන දෝෂ තිබේ නම් එම දෝෂ නිවැරදි කරනු ලැබේ.

ඉන්අනතුරුව සිදු කෙරෙන සියලුම කටයුතු හැන්සාඩ් සංස්කාරක වෙත පැවරෙන අතර, මුද්‍රණය කර පළ කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවනු ලබන අවසන් පිටපත සකස් කිරීමේ වගකීම හැන්සාඩ් සංස්කාරකට පැවරේ.

“අශෝධිත පිටපත” යනුවෙන් හඳුන්වනු ලබන මූලික මුද්‍රණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහ ජනතාව සඳහා නිකුත් කරනු ලැබේ. ඉන්පසු එම අශෝධිත මුද්‍රණය හැන්සාඩ් දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සෝදුපත් බලා, මුද්‍රණාලය මඟින් මුද්‍රණය කරවා, සුචිය ද ඇතුළත් කර අවසාන පොත් බැඳීම සඳහා මුද්‍රණාලය වෙත යවනු ලැබේ.

සභාවේ කටයුතු වාර්තා කර තැබීමට අමතරව, හැන්සාඩ් වාර්තාකරුවන් විසින් කාරක සභා වාර්තා කරුවන් සමඟ එක්ව කාරක සභාවල කටයුතු ද ආවරණය කරනු ලබයි.

කාරක සභා වාර්තාකරුවන්ගේ අංශය නිලධාරින් පහළොස් දෙනෙකුගෙන් සමන්විත වේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබද කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, විශේෂ කාරක සභා සහ විශේෂ උපදේශක කාරක සභාවල කටයුතු වාර්තාගත කිරීම මෙම නිලධාරින්ගේ ප්‍රධාන වගකීම වේ.

සුචිගත කිරීමේ අංශය නිලධාරින් පස් දෙනෙකුගෙන් සමන්විත වේ.  හැන්සාඩ් වාර්තා සඳහා ස්ථිර සුචියක් සකස් කිරීම හා සෑම මන්ත්‍රීවරයකුගේම කථාවල කාල වාර්තාවන් සහ  වර්තමාන සුචිය පවත්වා ගෙන යෑම සුචිගත කිරීමේ නිලධාරින්ගේ ප්‍රධාන වගකීම වේ.

පටිගත කිරීමේ අංශය නිලධාරින් හය දෙනෙකුගෙන් සමත්විත වේ.  සභාවේ සහ කාරක සභා කටයුතුවල ශ්‍රව්‍ය පටිගත කිරීම් සිදු කිරීම ඔවුන්ගේ ප්‍රධාන වගකීම වේ.

 



දෙපාර්තමේන්තු ප්‍රධානී

දුරකථනය

0112869815

ඊ-මේල් ලිපිනය

nayani_l@parliament.lk







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks