07

E   |     |  

වේත්‍රධාරී දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ

වේත්‍රධාරී දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ

මෙහෙවර


ගරු කථානායකතුමාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනුබද්ධ කාර්ය මණ්ඩලයට හැකි ඉහළම ගුණාත්මක සේවාවක් කලට ‍වේලාවට කාර්යක්ෂම අන්දමින් සපයා දී, පාර්ලිමේන්තුවේ සඵලදායී ක්‍රියාකාරීත්වයට පහසුකම් සැපයීම.

 

ශ්‍රී ලංකාවේ වේත්‍රධාරී තනතුර සහ එහි ඉතිහාසය

  • සෙංකෝලයක් පැවතීමේ අවශ්‍යතාවය සහ වේත්‍රධාරීවරයකු පත් කිරීමේ අවශ්‍යතාවය පළමුවරට සලකා බලන ලද්දේ ලංකාවේ එවකට පැවති පාර්ලිමේන්තුව විසින් 1931, ජූලි මස 20 වැනි දිනයි.
  • එවකට සිටි කථානායක, ආචාර්ය ෆ්‍රැන්සිස් මොලමුරේ, සුසන්ත ද ෆොන්සේකා, මේජර් ජේ.ඩබ්. ඕල්ඩ්ෆීල්ඩ්, ආචාර්ය වී.ආර්. ෂොක්මන්, ඩී.ඩී. ඇතුලත්මුදලි සහ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ලේකම් වූ ජී. එන්. ෆාකාර් යන මහත්වරුන් විසින් මෙම ගැටලු සලකා බලන ලදී.
  • 1933 මාර්තු මාසයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් වේත්‍රධාරීවරයාගේ බලතල සහ කාර්යභාරයන්, වේත්‍රධාරීවරයාගේ කාර්ය මණ්ඩලය සහ ගැලරි වෙත අමුත්තන් ඇතුළත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ඇතුළු ඇතැම් වෙනත් කරුණු සලකා බලන ලදී.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65(3) වගන්තිය අනුව ගරු කථානායකවරයාගේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් වේත්‍රධාරීවරයා පත් කරනු ලැබේ.
  • ප්‍රථම වේත්‍රධාරීවරයා පත් කරනු ලැබූයේ 1947 වර්ෂයේදී වන අතර, 1949 වර්ෂයේදී මහා බ්‍රිතාන්‍යයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සෙංකෝලය ත්‍යාග කරන ලදී. එම්. ඉස්මයිල්, MBE ප්‍රථම වේත්‍රධාරිවරයා වූ අතර වර්ෂ 1947 – 1961 දක්වා එම ධුරය හොබවන ලදී. ඉන්පසුව, පහත නිලධාරින් එම ධූරයට පත් විය.
    ජේ.ආර්. ද සිල්වා මහතා - 1961 සිට 1970
    රොනී අබේසිංහ මහතා - 1970 සිට 1996
    විජය පල්ලියගුරු මහතා - 1996 සිට 2006
    අනිල් පරාක්‍රම සමරසේකර මහතා - 2006 සිට 2018
    නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා - 2018 සිට 2024
    කුෂාන් සම්පත් ජයරත්න - 2024 සිට මේ දක්වා

  • වේත්‍රධාරීවරයා පාර්ලිමේන්තුවේ බලාධිකාරය සංකේතවත් කරන “සෙංකෝලයේ” භාරකාරිත්වය හොබවන අතර සභාව තුළදී මූලාසනය විසින් දෙනු ලබන නියෝගයන් ක්‍රියාත්මක කරනු ලබන නිලධාරියා ඔහුය.
  • යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මූලාසනයේ බලයට අවනත නොවීම හෝ නොසලකා සිටීම හේතුකොටගෙන හෝ හිතාමතා නැවත නැවතත් සභාවේ වැඩකටයුතුවලට බාධා කරමින් කටයුතු කිරීම හෝ පාර්ලිමේන්තුවේ ස්ථාවර ‍නියෝග උල්ලංඝනය කිරීම හේතුකොටගෙන අදාළ මන්ත්‍රීවරයා සභා ගර්භයෙන් ඉවත් කිරීමට හෝ එම මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය තාවකාලිකව අත්හිටුවීමට මූලාසනය මඟින් දෙනු ලබන නියෝගයක් ක්‍රියාත්මක කිරීමට වේත්‍රධාරීවරයාට බලය ඇත. එවන් අවස්ථාවලදී ස්ථාවර නියෝග 77 සිට 81 දක්වා බලාත්මක වේ.
  • යම් සාක්ෂිකරුවකු, චූදිතයකු හෝ වෙනත් යම් පුද්ගලයකු සභාවේ සීමාව වෙත කැඳවනු ලබන විටෙක එවන් තැනැත්තන් සභාවේ සීමාව වෙත කැටුව යාමේ බලය වේත්‍රධාරීවරයා සතුය.
  • කථානායකවරයා විසින් ලබාදෙනු ලබන ලිඛිත හෝ වාචික නියෝගයක් මත පාර්ලිමේන්තු රැස්වීම් දිනයක පාර්ලිමේන්තු පරිශ්‍රය හෝ එහි ගොඩනැඟිල්ල තුළ යම් උචිත නොවන හැසිරීමක් සම්බන්ධයෙන් හෝ නීති විරෝධි අයුරින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල තුළට ඇතුළු වීම හෝ බාධාකිරීම් සිදු කිරීම හෝ එවැනි යමක් කිරීමට අන් අය වෙත සහාය සැපයීම සම්බන්ධයෙන් වැරදිකරුවන ඕනෑම පුද්ගලයෙකු වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමටත්, පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත සහ ස්ථාවර නියෝග යටතේ එම පුද්ගලයාට යම් දඬුවමක් ලබා දිය හැකිද නොහැකිද යන්න පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන තෙක් එම පුද්ගලයා ආරක්ෂිතව තබා ගැනීමටත් බලය වේත්‍රධාරීවරයා සතුය.
  • අත්අඩංගුවට ගත් එවන් පුද්ගලයින් භාරදීම ද ඇතුළුව කථානායකතුමාගේ නියෝග ප්‍රකාරව අදාළ කාර්ය පටිපාටිය සිදු කරන්නේ වේත්‍රධාරී විසින් වේ.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් සභාව තුළ යම් කරුණක් මතු කළ විට ඒ පිළිබඳව නොපමාව සොයා බලන මෙන් වේත්‍රධාරීවරයාට නියම කරනු ලබන අතර, එම කරුණ සම්බන්ධයෙන් අපක්ෂපාතී වාර්තාවක් ලබා දීමට වේත්‍රධාරී බැඳී සිටියි.
  • උචිත ඇඳුමින් නොසැරසී (අනුමත ඇඳුමින් සැරසී නොමැති) පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළුවන ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් නොපමාව සභා ගර්භයෙන් ඉවත්වන ලෙස ඉල්ලා සිටීමට වේත්‍රධාරීවරයාට හැකිය.
  • තම රාජකාරී ඉටු කිරීමේදී වේත්‍රධාරී විසින් සභා ගර්භය තුළ ප්‍රධාන දොරටුව අසළ පිහිටා ඇති විශේෂ අසුනක් හොබවනු ලැබේ.
  • තම උත්සවීය ඇඳුමේ කොටසක් වශයෙන් සභා ගර්භය තුළට ආයුධයක් (කඩුව) රැගෙන යාමේ අවසරය ඇති එකම පුද්ගලයා වේත්‍රධාරීවරයා වේ.
  • වේත්‍රධාරීවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය වේත්‍රධාරීවරුන්ගේ සංගමයේ සාමාජිකයකු වන අතර පාර්ලිමේන්තු කළමනාකරණය සම්බන්ධයෙන් ඇති නව ප්‍රවණතා පිළිබඳව දැන ගැනීමට එම සංගම‍යේ රැස්වීම් සඳහා සහභාගි වෙයි.
  • පාර්ලිමේන්තු වරප්‍රසාදයන්හි ආරක්ෂකයා වන ගරු කථානායකවරයා විසින් දෙනු ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට නීතියෙන් බලය ලබා දී ඇති ප්‍රධාන බලාත්මක කරන්නා වේත්‍රධාරීවරයා වේ.
  • වේත්‍රධාරී පත් කිරීම සහ විශ්‍රාම යාම සම්ප්‍රදායක් වශයෙන් පාර්ලිමේන්තුවේ නිවේදනය කරනු ලැබේ. එසේම, වේත්‍රධාරීවරයකු විශ්‍රාම යන අවස්ථාවේදී එම වේත්‍රධාරීවරයාගේ සේවය සම්බන්ධයෙන් සිදු කරනු ලබන අගය කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ දිනයක් වෙන් කරනු ලැබේ.
  • පාර්ලිමේන්තුවේ වැදගත්ම දෙපාර්තමේන්තුවලින් එකක් වන වේත්‍රධාරී දෙපාර්තමේන්තුව එහි ඇති දෙවැනි පැරණිතම දෙපාර්තමේන්තුව වන අතර ප්‍රථම දෙපාර්තමේන්තුව වන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්යාලයයි.
  • වේත්‍රධාරීවරයාගේ වර්තමාන රාජකාරීන් පාර්ලිමේන්තුවේ කටයුතුවලදී කේන්ද්‍රස්ථානයක් ගන්නා පරිපාලනමය ස්වභාවයකින් යුක්ත කාර්ය භාරයක් වශයෙන් විස්තර කළ හැකිය.
  • පාර්ලිමේන්තුව රැස්වන සාමාන්‍ය දිනවලදී වේත්‍රධාරී සුදු පැහැති නිල ඇඳුමකින් සැරසී සිටින අතර උත්සවාකාර අවස්ථාවන්හිදී විශේෂයෙන් නිර්මාණය කළ කළු පැහැති උත්සවීය නිල ඇඳුමකින් සැරසේ (මේජර් ජෙනරාල්වරයෙකුගේ තනතුරට සමාන වේ.)
  • උත්සවීය, සභා ගර්භය, ආරක්ෂාව, අමුත්තන් පරිපාලනය, ඉඩ පහසුකම් සහ දෙපාර්තමේන්තු කටයුතු වේත්‍රධාරීගේ කාර්යභාරයන්ට ඇතුළත් ය.
  • වර්තමානයේදී වේත්‍රධාරී ධුරය හොබවන කුෂාන් ජයරත්න මහතාට තම තනතුරේ රාජකාරි නිසි අයුරින් ඉටු කිරීම සඳහා නියෝජ්‍ය වේත්‍රධාරී අචින්ත කුරේ මහතාගේ සහය ලැබේ.


අභිමතාර්ථ


උත්සවීය

  • (රාජ්‍ය අවමංගල්‍ය උත්සව සම්බන්ධ කටයුතු ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ සහ කථානායකවරයාගේ උත්සවීය කටයුතු/ ක්‍රියාකාරකම් නිසි සම්මතානුකූලව සංවිධානය කිරීම

 

සභා ගර්භය

  • පාර්ලිමේන්තුවේ බල අධිකාරය සංකේතවත් කරන “සෙංකෝලයේ” භාරකාරත්වය සහ ආරක්ෂාව.
  • කථානායකවරයාට සේවය ලබා දීම සහ සභාවේ විධායක අධිකාරය වන කථානායකවරයාට සේවය කිරීම තුළින් පැන නැගෙන අනෙකුත් කාර්යභාරයන් ඉටු කිරීම.
  • පාර්ලිමේන්තුවේ සභාව සහ කාරක සභා කාර්යක්ෂම අන්දමින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන උපකාරක කාර්ය මණ්ඩලය සහ පහසුකම් ලැබෙන බව සහතික කිරීම තුළින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට ඉහළ තත්ත්වයේ ඍජු සහය ලබා දීම.

 

ආරක්ෂාව

  • පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන සහ එයට පැමිණෙන පුද්ගලයින් ප්‍රචණ්ඩ ක්‍රියා, හදිසි අනතුරු සහ ගිනි උවදුරු හේතුවෙන් ඇතිවිය හැකි අවදානමින් ආරක්ෂා වන බව සහතික කර ගනිමින් පාර්ලිමේන්තු සංකීර්ණය මුළුල්ලේම ආරක්ෂා සහිතවූත් සුරක්ෂිතවූත් පරිසරයක් සහ යටිතල පහසුකම් ලබා දීම
  • පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේද සහය ඇතිව පාර්ලිමේන්තුවේ සහ එය අවට ප්‍රදේශයෙහි භෞතික ආරක්ෂාව පවත්වාගෙන යාම සහ පාර්ලිමේන්තුව හා එම පරිශ්‍රය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාර්ය මණ්ඩලය සහ අමුත්තන්ගේ ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් කථානායකවරයාට සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට ප්‍රයෝජනවත් උපදෙස් ලබා දීම
  • පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සාමය පවත්වාගෙන යාම
  • පාර්ලිමේන්තු සංකීර්ණය අවට පිහිටා ඇති අධි ආරක්ෂිත කළාපය ව‍ටා ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා ආරක්ෂක අවසරය ලබා දීම නිසි ආරක්ෂක පරීක්ෂාවන් සිදු කෙරෙන බව සහතික කර ගැනීම
  • පහත සඳහන් කටයුතු ඇතුළුව පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සමඟින් හවුල්ව කටයුතු කිරීම –
    • ප්‍රවේශ පාලනය
    • ආරක්ෂක පරීක්ෂා
    • ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පවත්වාගෙන යාම
    • තාක්ෂණික ආරක්ෂාව
    • ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ සමඟින් සම්බන්ධ වීම
    • විශේෂිත සම්පත් සම්බන්ධීකරණය
    • විදේශ ප්‍රභූවරු සම්බන්ධ වැදගත් සිදුවීම් සඳහා සැලසුම් කිරීම
    • විශේෂ ප්‍රභේදයේ තර්ජන සම්බන්ධයෙන් සැලසුම්කරණය

අමුත්තන් පරිපාලනය

  • පාර්ලිමේන්තු සංකීර්ණයට පුද්ගලයින් ඇතුළත් කර ගැනීම පාලනය සහ නියාමනය
  • පාසල්වලින් පාර්ලිමේන්තුවට සිදුකරන චාරිකා සහ පැමිණෙන වෙනත් පුද්ගලයින් සඳහා පහසුකම් සැලසීම

ඉඩ පහසුකම්

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තුවේ සේවය කරන සියලුම දෙනාට සහ පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන්නන්ට ගුණාත්මක පරිසරයක් සහ අවශ්‍ය පහසුකම් සලසා දීම මඟින් පාර්ලිමේන්තු සංකීර්ණය රාජකාරි කටයුතු කිරීම සඳහා සහ නැරඹීම සඳහා ප්‍රියමනාප ස්ථානයක් ලෙස පවත්වා ගැනීම සහතික කිරීම.
  • කාරක සභා කාමර සහ සම්මුඛ සාකච්ඡා කාමර වෙන් කරදීම ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි ඉඩකඩ වෙන් කරදීම පාලනය කිරීම සහ ඒ පිළිබඳ උ‍පදෙස් දීම.

දෙපාර්තමේන්තු

  • ආයතන ප්‍රධානියා සතු කාර්යභාරය වන ක්‍රමෝපායික නායකත්වය සපයා දීම සහ දෙපාර්තමේන්තුව සතු සම්පත්වල සමස්ත කළමනාකරණය සඳහා ඵලදායි සහ කාර්යක්ෂම ලෙස සහයෝගය ලබා දීම සහ ගුණාත්මක උපදේශන සහ කාර්යක්ෂම සහ ඵලදායි සහාය සේවාවන් සපයා දීම.
  • පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන සහ එය නැරඹීමට පැමිණෙන සියලු දෙනාට අදාළ වන සහ ප්‍රවේශ විය හැකි, උසස් තත්ත්වයේ පාරිභෝගික / දුරකථන සේවාවක් පිළිගත් ප්‍රමිතියකට අනුව සපයා දීම.

 

 ශ්‍රී ලංකාවේ වේත්‍රධාරී ධූරය එහි ඉතිහාසය සහ මෙහෙවර, අරමුණු සහ කාර්යයන්



දෙපාර්තමේන්තු ප්‍රධානී

දුරකථනය

0112791557

ඊ-මේල් ලිපිනය

kushan_j@parliament.lk







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks