07

E   |     |  

යම් විශේෂ පුද්ගලයෙකුට හෝ සමිතියකට හෝ නීතිගත සංස්ථාවකට බලපෑමක් සිදු කිරීම සඳහා හෝ යහපතක් සැලසීම සඳහා යෝජනා කරනු ලබන යම් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන ධූර නොදරන, ඕනෑම පෞද්ගලික මන්ත්‍රීවරයෙකු, එකී පනත් කෙටුම්පතේ සාමාන්‍ය ස්වභාවය හා එහි පරමාර්ථයන් පිළිබඳ නිවේදනයක් සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙහිත්, යටත් පිරිසෙයින් එක් සිංහල ප්‍රවෘත්ති පත්‍රයක, එක් දෙමළ ප්‍රවෘත්ති පත්‍රයක හා එක් ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රයක වන පරිදි ජනරජයේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රසිද්ධ කොට ඒ පිළිබඳව දැනුම් දිය යුතු අතර පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලීමට යටත් පිරිසෙයින් එක් මාසයකටවත් පෙර එම දැන්වීම් පළවිය යුතුය [ස්ථාවර නියෝග 53 (1)].

“පෞද්ගලික මන්ත්‍රීවරයා” යන්න ස්ථාවර නියෝග 24 (3) හි අර්ථ දක්වා තිබේ :

24 (3) “පෞද්ගලික මන්ත්‍රීවරයා” යන්නට කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, අග්‍රාමාත්‍ය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක යනාදී ධූර දරන මන්ත්‍රීවරයකු ඇතුළත් නොවේ.

*සටහන:

පොදු මහජන කාරණයක් උදෙසා වන කෙටුම්පතක් නම් එසේ ප්‍රවෘත්ති පත්‍රවල සහ ගැසට් පත්‍රයේ පළ කිරීම අනිවාර්ය නොවේ.

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් පිළිබඳ ක්‍රියාපටිපාටිය

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් පිළිබඳ ක්‍රියාපටිපාටිය ඇතුළත් වන්නේ ස්ථාවර නියෝග 52 සහ 53 තුළය.

  1. ස්ථාවර නියෝග 52 යටතේ පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ පනත් ‌කෙටුම්පතක් පාර්ලි‌මේන්තුවට ලැබුණු විට, එය ස්ථාවර නියෝග 52 (3) යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ද යන්නත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනයට අදාළව යම් බාධාවක් තිබේ ද යන්නත්, පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසා එම පනත් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබේ. නීතිපතිවරයා විසින් සිය නිරීක්ෂණ සති හයක කාලසීමාවක් ඇතුළත දී පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිය යුත්තේ ය.

    ස්ථාවර නි‌යෝග 52 (4) ප්‍රකාරව නීතිපතිවරයාගේ මතය ලැබීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පත එහි සිංහල හා දෙමළ භාෂාවලින් එහි ඉංග්‍රීසි අනුවාදයද සමග ගැසට් පත්‍රයේ පළ කරනු ලැ‌බේ.
  2. මුද්‍රණය කිරීමෙන් දින 7 කට පසුව ස්ථාවර නියෝග 52 (5) ප්‍රකාරව එකී පනත් ‌කෙටුම්පත පළමු වර කියවී‌ම සඳහා න්‍යාය පත්‍ර‌යේ ඇතුළත් කරනු ලැ‌බේ. පාර්ලිමේන්තුව විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනුමත කළ යුතු ය.
  3. ප්‍රශ්නය සභාභිමුඛ කරනු ලැබ සභාව විසින් අවසරය ලබා නොදුන් අවස්ථාවක දී, එහෙත් මන්ත්‍රීවරයාට සහාය පළ කිරීමට විස්සකට නොඅඩු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවක් සිය අසුන් වලින් නැඟී සිටින අවස්ථාවකදී, ස්ථාවර නියෝග 52 (6) ප්‍රකාරව පනත් කෙටුම්පත පළමුවැනි වර කියවන ලද සේ සැලකිය යුතු ය.
  4. පළමුවර කියවීමෙන් පසුව පනත් කෙටුම්පත මුද්‍රණය කළයුතු යැයි නියෝග කරනු ලබන අතර, ස්ථාවර නියෝග 52 (6) ප්‍රකාරව වාර්තා කිරීම සඳහා අදාළ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ.
  5. ඇමතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ලැබුණු පසු, පනත් ‌කෙටුම්පත වාර්තාවක් ආකාරයෙන් මුද්‍රණය කරවා සභාගත කරනු ලැබේ. පනත් කෙටුම්පත පැනවීම උදෙසා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබේ නම් එවිට, නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද අවශ්‍ය නොවේ.
  6. මාස හයක් ඇතුළත දී අමාත්‍යවරයාගේ වාර්තාව නොලැබුණහොත් ස්ථාවර නියෝග 52 (7) ප්‍රකාරව එය භාර මන්ත්‍රීවරයා කැමැති දිනයක දෙවැනි වර කියවීම සඳහා පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබේ.
  7. අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලි‌මේන්තු‌වේ සභාගත කිරීමෙන් පසුව පනත් කෙටුම්පත දෙවැනි වර කියවා එය ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරනු ලැබේ.
  8. ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ කටයුතු ස්ථාවර නි‌‌යෝග 113 ට අනුකූලව සිදු කරනු ලබන අතර ස්ථාවර නියෝග 68 සහ 70 දක්වා ප්‍රකාරව එම ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභා‌වේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
  9. ස්ථාවර නියෝග 72 (1) අනුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව සලකා බලනු ලබන අතර පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබේ.
  10. පනත් ‌කෙටුම්පත පාර්ලි‌මේන්තුවට වාර්තා කිරී‌මෙන් පසුව එය තුන්වැනි වරට කියවා ස්ථාවර නි‌යෝග 72 ප්‍රකාරව සම්මත කරගනු ලැබේ.
  11. තුන්වැනි වර කියවී‌මෙන් පසුව, ස්ථාවර නියෝග 73 ප්‍රකාරව දැනුම් දීමෙන් අනතුරුව කරනු ලබන යෝජනාවක් අනුව, වචන වලට හෝ කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාවලට හෝ පමණක් සීමා වූ සංශෝධන එයට එක් කළ හැකි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 සහ 80 වැනි වගන්ති සහ ස්ථාවර නියෝග 74 ‌යට‌තේ කථානායකතුමා‌ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks