07

E   |     |  

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ ඉතිහාසය

1931 පටන් කාන්තාවන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර මේ දක්වා වූ සියලු පාර්ලිමේන්තුවල කාන්තා නියෝජනයක් පැවතුණි. රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ ගරු ජේ. එච්. මීදෙණියගේ දූහිතෘ වූ ද, ගරු ඇල්ෆ්‍රෙඩ් ෆ්‍රැන්සිස් මොලමුරේගේ බිරිය වූ ද, ගරු ඇඩ්ලින් මොලමුරේ, පළමු කාන්තා නියෝජිතවරිය ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූවාය.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සංඛ්‍යාත්මකව අඩු ගණනක් වුව ද පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ ඉහළ තනතුරු හොබවා ඇත. කාන්තාවන් දෙදෙනෙකු අග්‍රාමාත්‍ය තනතුර උසුලා ඇති අතර ඉන් එක් අයෙකු ශ්‍රී ලංකාවේ ජනාධිපතු ධූරයටද තේරී පත් වූවාය. ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ බිරිඳවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, 1960 ජූලි 21 වැනි දින ලොව ප්‍රථම රාජ්‍ය නායිකා වනිතාව බවට පත් වූවාය. ඇයගේ දියණිය වන ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නායිකා කාන්තාව මෙන්ම ජනාධිපතිනිය බවට පත් වූ ප්‍රථම තැනැත්තියද වූවාය.

එක් අග්‍රාමාත්‍යවරයකු අනුප්‍රාප්තිකව තවත් අග්‍රාමාත්‍යවරයකු බලයට පත් වූ පළමු අවස්ථාව මෙය වූ අතර, රටක අගමැතිවරියක් සහ ජනාධිපතිවරියක් සමකාලීනව එම ධූරයන් හෙබවූ පළමු අවස්ථාව ද විය.

ප්‍රථම මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ෆෙරියල් අෂ්රොෆ් මහත්මිය වන අතර ඇය 2000.10.10 දින ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුව ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් ජාතික අමාත්‍යවරිය බවටද පත් වූවාය.

ශ්‍රී ලංකාවේ 15 වැනි අග්‍රාමාත්‍යවරයා වන ගරු දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ගරු කුසුම්සිරි ගුණවර්ධන මැතිණියගේ පුත්‍රරත්නයයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ නියෝජනය සම්බන්ධ විස්තර පහත වගුවේ දැක්වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය

ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සන්සදය යනු විවිධ දේශපාලන පක්ෂවල, භූගෝලීය ස්ථානවල, වාර්ගික සහ ආගමික කණ්ඩායම් වලින් පැමිණි කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් එක් අරමුණකට - එනම් කාන්තාවන් බලගැන්වීම සහ කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි සියළු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් සහ හිංසනයන් තුරන් කිරීම - යන්නට එක් කරන සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමානත්වය ළඟාකරගැනීම සඳහා නෛතික සහ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් තීරණ ගන්නා ඉහළම ආයතනය ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුව තුළ තිබෙන සුවිශේෂී යාන්ත්‍රණයකි.

කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සන්සදයේ ක්‍රමෝපායන් අතරට දේශපාලනයේ කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීම, කාන්තා අයිතීන් සහ ස්ත්‍රී පුරුෂ සමානත්මතාව ආරක්ෂා කිරීම, කාන්තාවන්ට එරෙහි සියළු ආකාරයේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සහ හිංසනයන් වැළැක්වීම, සංක්‍රමණික ශ්‍රමිකයන් ඇතුළු කාන්තා ශ්‍රමිකයන්ගේ ශුභ සාධනය සම්බන්ධයෙන් සොයා බැලීම, අඩු වරප්‍රසාද ලත් කාන්තාවන් සහ වැන්දඹුවන් අතර දරිද්‍රතාව තුරන් කිරීම සහ ඔවුන්ට වෘත්තීය පුහුණුව සහ පහසුකම් ලබා දීම ඇතුළත් වේ.

කාන්තාවන් අතර අධ්‍යාපනය ඉහළ නැංවීම, කාන්තාවන්ගේ සෞඛ්‍ය ආශ්‍රිත ගැටළු පිළිබඳව සොයා බැලීම, නෛතික සහාය සහ උපදේශනය ලබා දීම, කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් නීති සම්පාදනය කිරීම සහ පොදුවේ රටේ සංවර්ධනයට දායක වීම කාන්තා සන්සදයේ ක්‍රමෝපායන් ලෙස දැක්විය හැකිය.

පාරිලිමේන්තුවේ කාන්තා සන්සදය තම කටයුතු පාර්ලිමේන්තුවේ උද්දෙශනයන් තුලින් පළාත් පාලන ආයතන වල කාන්තා මන්ත්‍රීවරියන් සමඟ සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් ලෙස, දැනුවත් කිරීමේ වැඩසටහන්, වැඩමුළු, පුහුණු, සමුළු සහ මහජන සේවා දිස්ත්‍රික් මට්ටමින් සිදු කරනු ලබයි.

මෙම සන්සදය පසුගිය වසර 14 තුළ කිසිදු දේශපාලන වෙනස්කමකින් තොරව සාර්ථකව කටයුතු කර තිබෙන අතර රටට සැළකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත් වී තිබේ. මෙම සන්සදය කාන්තා පළාත් සභා මන්ත්‍රීවරියන් සහ පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරියන්, ආණ්ඩුවේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ ආයතන, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, දේශීය සහ ජාත්‍යන්තර සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තිකයින් සමඟ සම්බන්ධතා ජාලයක් ගොඩනගාගෙන තිබේ.

කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 12 දෙනාම මෙම සන්සදයේ සාමාජිකයෝ වෙති. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම සන්සදයේ සභාපති ධූරය දරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සීතා අරඹෙපොල මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය උප සභාපති ධූර වල කටයුතු කරති.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks