07

E   |     |  

පූර්ව‌යෙහි පැවැති මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ දිස්ත්‍රික්ක 1978 ව්‍යවස්ථා‌වෙන් පූර්ණ ‌වෙනසකට ලක්කර තිබුණි. පිළිගත් දේශපාලන පක්ෂ ‌හෝ ස්වාධීන අ‌පේක්ෂකයින් විසින් නම් කරන ලද තනි අපේක්ෂකයින්‌ගෙන් සැදුම්ලත් ඡන්ද ‌කොට්ඨාස ක්‍රමයක් මත පදනම්ව පූර්ව ක්‍රමය සැකසී තිබුණි. අදාළ ඡන්ද ‌කොට්ඨාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අ‌පේක්ෂකයා ජයග්‍රාහකයා හැටියට ප්‍රකාශයට පත් ‌කෙරිණි. කේවල ආසන ක්‍රමය ලෙස (FPP) හැඳින්වූ ‌මෙම ක්‍රමය දිස්ත්‍රික් 22 අරභයා වූ සමානුපාතික නි‌යෝජන ක්‍රමයක් බවට ‌වෙනස් කරන ලදී.

සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකින්ම පත්විය යුතු මන්ත්‍රීවරුන්‌ගේ සංඛ්‍යාව නිශ්චය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 98(8) දරන ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ ‌කොමසාරිස්වරයා විසින් සිදුකරනු ඇත. නි‌යෝජන දිස්ත්‍රික්ක 22 සඳහා ලබාගත් ඡන්ද පදනමින් මන්ත්‍රීවරුන් 196 දෙනා පාර්ලි‌මේන්තුවට ‌තේරී පත්‌වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 15 වැනි සං‌ශෝධනය මගින් හඳුන්වා ‌දෙනු ලැබූ 99(අ) ව්‍යවස්ථාව යට‌තේ අදාළ ‌දේශපාලන පක්ෂ ‌හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ජාතික මට්ට‌මින් (ජාතික ලැයිස්තුව) ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව පදනමින් මන්ත්‍රීවරු 29 ‌දෙ‌නෙකු පත්කරනු ලැ‌බේ. එබැවින් ‌මේ අනුව දිස්ත්‍රික් මට්ටමින් සමානුපාතික ක්‍රමයක් ද ඒ ඡන්ද‌යේම ප්‍රතිඵල මත ජාතික මට්ටමින් සමානුපාතික ක්‍රමයක් ද අප ර‌ටේ පවතී.

දිස්ත්‍රික් මට්ට‌මේ දී සමානුපාතික ක්‍රමය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 99(6) (ආ) ව්‍යවස්ථාව ප්‍රකාර දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද සංඛ්‍යා‌වෙන් 1/20 (5%) කට අඩු‌වෙන් ලබාගත් පිළිගත් දේශපාලන පක්ෂයක් ‌හෝ ස්වාධීන කණ්ඩායමක් නුසුදුස්සන් වන අතර ඉතිරි වලංගු ඡන්ද සංඛ්‍යාව සමානුපාතික ගණනය යට‌තේ ආසන ‌වෙන්කිරීම සඳහා පිළිගනු ඇත.

සෑම දිස්ත්‍රික්කයකම වැඩිම ඡන්ද ගණනක් ලබාගන්නා ‌දේශපාලන පක්ෂයට ‌හෝ ස්වාධීන කණ්ඩායමට එක් මන්ත්‍රීවර‌යකු ‌තේරීපත් වූ බව ප්‍රකාශයට පත්කිරී‌මේ අයිතිය (ප්‍රසාද ආසනය) හිමි ‌වේ. ඉතිරි මන්ත්‍රීවරුන් ගණන ‌තේරීපත් වූ බවට ප්‍රකාශ කරනු ලබන්‌නේ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම විසින් ලබාගත් ඡන්ද අනුපාතිකය අනුවය.

එක් එක් ‌දේශපාලන පක්ෂයෙන් ‌හෝ ස්වාධීන කණ්ඩායමෙන් මන්ත්‍රීවරුන් ‌නම් කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 14 වැනි සං‌ශෝධනය මගින් සෑම ‌දේශපාලන පක්ෂයක් ‌හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ‌තෝරා පත්කර යැවිය යුතු අ‌පේක්ෂකයින් සංඛ්‍යාව සඳහා පදනම්කර ගත යුතු මනාප ඡන්ද ක්‍රමයක් හඳුන්වා ‌දෙන ලදී. තමා ඡන්දය ප්‍රකාශ කරන පක්ෂය ‌හෝ කණ්ඩායම තුළ සිටින අ‌පේක්ෂක ලැයිස්තුව අතරින් ඔහු/ඇය ‌ගේ මනාපය සලකුණු කිරීමට සෑම ඡන්ද දායක‌යෙකුටම අයිතිය හිමි ‌වේ. ‌තේරීම් බාර නිලධාරියා විසින් නාම‌යෝජනා පත්‍ර භාරගැනී‌මෙන් අනතුරැව එක් එක් අ‌පේක්ෂකයාට ලබා‌දෙන අංක අනුව එකී මනාප තුන සළකුණු කළ හැකිය. ඡන්ද ගණන් කිරී‌මේ ‌දෙවැනි අදිය‌රේදී මනාප ඡන්ද ගණන් කිරීම සිදු කරන අතර එමගින් යම් ‌දේශපාලන පක්ෂයක් ‌හෝ ස්වාධීන කණ්ඩායමක් මගින් ‌තේරී පත් වූ නිශ්චිත අ‌පේක්ෂකයින් කවුරුන් දැයි එමගින් නිශ්චය කරනු ඇත.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks