07

E   |     |  

පොදු ‌තොරතුරු

ඕනෑම පුද්ගලයකුට රැස්වීම් පැවැත්වෙන හෝ නොපැවැත්වෙන දිනයක දී කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව මහජන ගැලරියට යා හැකිය. රැස්වීම් පැවැත්වෙන ඕනෑම දිනයක රැස්වීම අවසන් වන තුරුද, රැස්වීම් නොපැවැත්වෙන දිනයක පු.භා. 9.00 සහ අ.භා. 3.30 අතරද, කාලසීමාව තුළ විනාඩි 30ක් මේ සඳහා වෙන් කරනු ලැබේ

රැස්වීම් පවත්වන කාලය

පාර්ලි‌මේන්තුව අන් ආකාරයකින් තීරණය කරතහොත් මිස, සෑම මාසයකම ප්‍රථම ඉරිදායින් පසු එළ‌ඹෙන සති‌යේ සහ එම සතියට පසුව එළ‌ඹෙන ‌දෙවන සති‌යේ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල එනම්, මාසයක පළමු සතිය සහ තුන්වන සතිය යන සති ‌දෙකක ඉහත සඳහන් දිනවල පාර්ලි‌මේන්තුව රැස්විය යුතු‌වේ. පාර්ලි‌මේන්තුව සාමාන්‍ය‌යෙන් ‌සෙනසුරාදා, ඉරිදා සහ අනිකුත් නිවාඩු දිනවල රැස් ‌නො‌වෙන අතර පාර්ලි‌මේන්තු‌වේ රැස්වීම් සාමාන්‍ය‌යෙන් පවත්වනු ලබන්‌නේ, අඟහරුවාදා සහ බදාදා යන දිනයන්හි ප. ව. 1.00 සිට ප. ව. 7.30 දක්වා ද, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හි පෙ.ව. 10.30 සිට ප.ව. 7.30 දක්වා ය. ඇතැම් දිනවල රැස්වීම් ප.ව. 7.30 න් පසුව ද පවත්වනු ලැ‌බේ. අයවැය විවාදය පවත්වනු ලබන කාල සීමාව තුළදී රැස්වීම් වෙලාවන් සාමාන්‍යයෙන් පෙ.ව. 9.30 සිට ප.ව. 12.30 දක්වාත් ප.ව. 1.00 සිට ප.ව. 7.00 දක්වාත් වන අතර කලින් කලට වෙනස් වීමට ඉඩ තිබේ.

පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද යෝජනාවක් මගින් අදාළ ස්ථාවර නියෝග අත්හිටුවන ලදුව, වර්තමානයේ පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වා වේ.

ගැලරි සඳහා යෑමට අවසරය

මහජන ගැලරිය නැරඹීම සඳහා වේත්‍රධාරීගෙන් අවසර ලබාගත යුතුය. පාර්ලිමේන්තුවට සෘජුවම ඇමතුමක් ලබා ගැනීමෙන් හෝ විමසුම් පත්‍රිකාවක් පුරවා ඉදිරිපත් කිරීමෙන් එවැනි ඉල්ලීමක් කළ හැකිය. ඔබගේ විමසීමේ දී පහත සඳහන් තොරතුරු ලබා දිය යුතුය.

  1. පැමිණෙන අයගේ සම්පූර්ණ නම් හා ලිපිනයන්
  2. පැමිණෙන අයගේ ජාතික හැඳුනුම්පත් අංක
  3. පැමිණෙන දිනය හා වේලාව
  4. පැමිණීමට හේතුව
  5. ඔබට සම්බන්ධ විය හැකි තොරතුරු

ඔබ ඉදිරිපත් කරන තොරතුරු නිසි පරිදි සකස් කිරිමෙන් පසු ඔබේ ඉල්ලීම සනාථ කිරීම සඳහා වේත්‍රධාරීවරයා ඔබ අමතා, ඉන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීම සඳහා අවසරපත නිකුත් කරනු ඇත.


පාර්ලි‌මේන්තුව නැරඹීමට පැමි‌ණෙන අමුත්තන් සඳහා උප‌දෙස්

  1. වේත්‍රධාරි විසින් නිතුත් කරන ලද, පැමිණෙන දිනට වලංගු, පාර්ලිමේන්තුව නැරඹිමේ අවසර පතක් හිමි අයට පමණක් මහජන ගැලරියට පිවිසීමට සහ පාර්ලිමේන්තුව නැරඹිමට ඉඩ දෙනු ලබේ. එබැවින් වේත්‍රධාරි විසින් ඔබ වෙත නිකුත් කරන ලද පාර්ලිමේන්තුව නැරඹිම සඳහා වූ අවසර පත නොවරදවාම රැගෙන ආ යුතු අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් බැහැරව යන තෙක් එම අවසර පත සුරැකිව තබාගත යුතුය.
  2. පාර්ලිමේන්තුව නැරඹීමට අපේක්ෂා කරන අමුත්තන් හට ඒ සඳහා අවසර පත් ලබා ගැනීම පිණිස පහත සඳහන් ආකාරයට වේත්‍රධාරී වෙත අයදුම් කල හැකිය:-
    1. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මගින්.
    2. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හෝ අනෙකුත්/ අනුබද්ධිත කාර්යාලයකට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයකු/ සාමාජිකාවක මගින්.
    3. පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම වන “ජයන්තිපුර ආරක්ෂක පිවිසුම”හි ස්ථාපිත අවසරපත් කවුන්ටරය වෙත පැමිණ ඉදිරිපත් කරනු ලබන වාචික/ ලිඛිත ඉල්ලීමක් මගින්.
    4. sa@parliament.lkයන විද්‍යුත් තැපෑල (ඊ මේල්) මගින්
    5. අංක 0112777473 ඔස්සේ ෆැක්ස් පණිවුඩයක් මගින්
    6. වේත්‍රධාරී, වේත්‍රධාරී දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනය ඔස්සේ ඉදිරිපත් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් මගින්
    7. පාසැල් නිල ඇඳුමින් සැරසී පැමිණෙන පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත කණ්ඩායම් සඳහා අදාළ පාසැලේ විදුහල්පතිතුමා විසින් පහත 3. ජෙදයේ සඳහන් තොරතුරු සහිතව, වේත්‍රධාරි වෙත කරනු ලබන ලිඛීත ඉල්ලීමක් මගින්.
  3. අයදුම් කිරීමේදී, පාර්ලිමේන්තුව නැරඹීමට අපේක්ෂා කරන දිනය, වේලාව, පැමිණෙන පුද්ගල සංඛ්‍යාව, අයදුම් කරන්නාගේ ලිපිනය යන තොරතුරු ද, පැමිණෙන අයගේ නම සහ ජාතික හැදුනුම් පත් අංකය යන තොරතුරු ද, ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. දුරකථන අංක/ ෆැක්ස් අංක සහ විද්‍යුත් තැපැල් පහසුකම් වෙතොත් එම ලිපිනය(ඊ මේල්) යන තොරතුරු ද, ඉදිරිපත් කිරීම මගින් අයදුම් පත් සඳහා ඉක්මණින් අවසර පත් එවීම පිණිස පහසුව සැලසේ. පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා අයදුම් කිරීමේදී අදාළ ශ්‍රේණිය සදහන් කිරීම ද, අවශ්‍යය.
  4. සතියේ සෑම රාජකාරි දිනයකම පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා ද, පාර්ලිමේන්තු රැස්වීම් දිනයක නම් පස්වරු 3.30 ඉක්මවා පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වන තුරුද, පාර්ලිමේන්තුව නැරඹීම සදහා අවසර දෙනු ලැබේ. සති අන්ත දිනයන්හි (සෙනසුරාදා / ඉරිදා) හෝ පෝය නිවාඩු දිනයන්හි හෝ වෙනත් රජයේ නිවාඩු දිනයන්හි හෝ පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවසර පත් නිකුත් කරනු නොලැබේ. තවද විශේෂ අමුත්තන් සදහා මහජන ගැලරි සීමා කරනු ලබන දිනයන්හිදී ද, පාර්ලිමේන්තුව නැරඹීම සදහා අවසරපත් නිකුත් කරනු නොලැබේ.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාර, එක් එක් මාසයේ පළමුව යෙදෙන ඉරිදාට පසුව එන සතියෙන් ආරම්භ කෙරෙමින් ඒ සතියේ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලදී යනුවෙන් එක් එක් මාසයේ පළමු වැනි සහ තුන්වැනි සති දෙකේදී පාර්ලිමේන්තු රැස්වීම් පවත්වනු ලැබේ. එසේ වුවද, පාර්ලිමේන්තුව මගින් වරින් වර ගනු ලබන තීරණයන් ප්‍රකාරව ඉහත සඳහන් දිනයන්හි රැස් නොවීමට හෝ වෙනත් දිනයන්හි රැස්වීමට හෝ ඉඩ තිබේ.

    පාර්ලිමේන්තුව නැරඹීම සඳහා නිකුත් කරන ලද අවසර පත්, පෙර දැනුම් දීමකින් තොරව අවලංගු කිරීමට සිදුවන අවස්ථා ඇතිවිය හැක. එවැනි අවස්ථා වලදී හැකිතාක් දුරට ඒ බැව් අදාළ පාර්ශවයන්ට දැනුම් දීමට පියවර ගනු ලැබේ.

    අඟහරුවාදා සහ බදාදා යන දිනයන්හි ප. ව. 1.00 සිට ප. ව. 7.30 දක්වා ද, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හි පෙ.ව. 10.30 සිට ප.ව. 7.30 දක්වා ද, පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් අන්‍යාකාරයකින් තීරණය කළහොත් රැස්වීම් පැවැත්වෙන වේලාවන් වරින් වර වෙනස් වීමට ඉඩ ඇත.

  5. පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක ආරක්ෂක විධිවිධාන යටතේ, පාර්සල්,අත්බෑග්, බ්‍රීෆ්කේස්, ගමන් මලු යනාදිය ද, පොත්පත්, ලිපිලේඛන, පෑන්, පැන්සල් යනාදිය ද, වැහි කබා, කුඩ, හිස්වැසුම් යනාදිය ද, කැමරා, ජංගම දුරකථන, නෝට්පෑඩ්, විවිධ විද්‍යුත්/ ඉලෙක්ට්‍රොනික් උපකරණ/ මෙවලම් සහ උපාංග යනාදිය ද, සිගරට්, දුම්කොළ, බුලත්විට, දුම්පයිප්ප, යනාදිය හා ආහාර පාන ආදිය ද, තවද, මහජන ගැලරි තුළට රැගෙන නොයා යුතු බවට තීරණය කරනු ලබන/ හැඟෙන අන් කිසිවක් වෙතොත් ඒවාද, මහජන ගැලරි තුළට ගෙනයාම සදහා ඉඩ දෙනු නොලැබේ. එබැවින්, එවැනි දෑ රැගෙන ඒමෙන් වැලකී සිටිය යුතු අතර එවැනි කිසිවක් ඔබ සතුව වෙතොත් ඔබ පැමිණි වාහනයේ ම, තබා ඒමට කටයුතු කරන්න.
  6. නිසි ඇඳුමින් සැරසී නොපැමිණෙන (එනම් කොට කලිසම්, අත් නොමැති ස්කිනි ආදී සුදුසු නොවන ඇදුම්) අමුත්තන් හට පාර්ලිමේන්තු පරිශ්‍රයට / මහජන ගැලරි තුළට ප්‍රවිශ්ඨවීමට ඉඩ සලසනු නොලැබේ. එබැවින්, මහජන ගැලරිවලට පැමිණෙන අමුත්තන් නිසි ඇදුමින් සැරසී පැමිණි සිටිය යුතුය.
  7. පාර්ලිමේන්තු රැස්වීම් නැරඹීම සඳහා පැමීණෙන පාසැල් ශීෂ්‍ය ශිෂ්‍යාවන් වෙත අවසර ලබා දීමේදී, පස් වැනි (05 වැනි) වසර සහ ඉන් ඉහළ පන්තිවල සිසු සිසුවියන් සඳහා පමණක් අවසර ලබා දෙන අතර රැස්වීම් නොමැති දිනවල දී, මෙම කොන්දේසිය බල නොපවැත්වේ. පාර්ලිමේන්තු රැස්වීම් පවත්නා වේලාවන් තුළ මහජන ගැලරියට අත දරුවන් සහ ළදරුවන් කැටුව යාමට අවසර නොදෙන බැවින්, එවැනි දරුවන් වෙතොත් ගැලරිය තුළට කැටුව යාමෙන් වැළකී සිටිය යුතුය. කුඩා ළමුන් සහ කුඩා පාසැල් දරුවන් ගැලරි වල පළමු පේළියේ අසුන් ගැන්වීමට ද, ඉඩ දෙනු නොලැබේ.
  8. ඉහත අංක 2 ජෙදය ප්‍රකාර පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ වාහන, ආරක්‍ෂක හේතූන් මත පාර්ලිමේන්තු පරිශ්‍රය තුලට ඇතුළු කිරීම සීමා කර ඇති බැවින්, ඔබ පැමිණෙන වාහනය පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට ධාවනය කිරීමට ඉඩදෙනු නොලැබේ. පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ වාහන නවතා තැබීම සදහා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපස වූ ක්‍රීඩා පිටියෙන් අනෙක් පස ඇති ආපන ශාලාව පිහිටි භූමි භාගයෙහි ස්ථාපිත රථ ගාලෙහි පහසුකම් සලසා ඇති බැවින් ඔබේ වාහනය එහි ගාල් කරන්න.
  9. ඉහත කී භූමියෙහි ඹබේ වාහනය ගාල් කිරීමෙන් අනතුරුව ඔබේ කණ්ඩායම සමඟ (පාසැල් නිල ඇඳුමින් සැරසී පැමිණෙන පාසැල් සිසුන්ගෙන් සමන්විත කණ්ඩායම් හැර) ප්‍රධාන පාර හරහා අවුත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු වී ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකය වෙත යන්න.
  10. ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකයේ සේවයේ නියතු පොලිස් නිලධාරින්ට ඹබ අත ඇති අවසර පත පෙන්වා අනතුරුව ආරක්ෂක නිලධාරි මහතුන්ගේ කුටිය වෙත ගොස් ඔබ ඇතුළු පිරිස පැමිණි බව ඔවුන් වෙත දන්වන්න. ඔබ ඇතුළු පිරිස පැමිණි බවට, ඔවුන්ගේ ලේඛනයන්හි අදාළ සටහන් තැබිමෙන් පසු, ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකය අසළ සිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දක්වා පැමිණීම සඳහා පාර්ලිමේන්තු බස් රථයක් ආරක්ෂක නිලධාරින් විසින් ගෙන්වා දෙනු ඇත. ඉහත 2.iii ජේදය ප්‍රකාර පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමි‍ණෙන අමුත්තන් හට මෙම ඒකකය මඟින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීම සදහා අවශ්‍ය ප්‍රවේශය සලසනු ලැබේ.
  11. පාර්ලිමේන්තුවට පැමි‍ණෙන සියළුම අමුත්තන් ශාරීරික ආරක්ෂක සෝදිසි කිරීමකට ලක් කෙරෙනු ඇත. ඒ අනුව, ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකයේ දී ඔබ ඇතුළු පිරිස ශාරීරික ආරක්ෂක සෝදිසි කිරීමකට භාජනය කරන බැවින්, ඒ සඳහා පොලිස් නිලධාරීන් හට ඉඩ සැලසිය යුතු වේ.
  12. වැසි පවතින අවස්ථාවල දී පමණක් ඔබේ වාහනය ජයන්තිපුර ආරක්‍ෂක පිරික්සුම් ඒකකය පිහිටි ස්ථානය දක්වා ධාවනය කිරීමට ඉඩ සලසන අතර, පැමිණෙන පිරිස එම ඒකකය අසල බැස්සවීමෙන් අනතුරව වාහනය ඉහත කී ආපන ශාලාව පිහිටි භූමි භාගයෙහි ගාල් කල යුතු වේ.
  13. ශාරීරික ආරක්ෂක සෝදිසියෙන් අනතුරුව ඔබ වෙනුවෙන් පැමිණි පාර්ලිමේන්තු බස් රථයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන පිවිසුම දක්වා ගමන් කරන්න. පයින් ගමන් කිරිමෙන් වැළකිය යුතු අතර, සපයා ඇති බස් රථයෙන් පමණක් ගමන් කිරීමට වග බලා ගන්න.
  14. මහජන පිවිසුම අසල දී බස් රථයෙන් බැසිය යුතු අතර, එම ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පිවිසීම සඳහා ඔබ ඇතුළු පිරිස මහජන පිවිසුම් ද්වාරය වෙත යොමු කරනු ඇත.
  15. ඉහත කී ද්වාරය අසල දී නැවත ශාරීරික ආරක්ෂක සෝදිසි කිරීමක් සිදු කෙරෙන අතර එබැවින්, පිරිමි පාර්ශ්වය දකුණු පසින් හා කාන්තා පාර්ශ්වය වම් පසින් වන සේ පෝලිම් දෙකක් වශයෙන් පෙළ සෑදීමෙන් පිරික්සුම් කටයුතු පහසු වන අතර ඔබේ කණ්ඩායමේ ප්‍රධානියා විසින් ඹහුගේ/ ඇයගේ ජාතික හැදුනුම්පත සහ වේත්‍රධාරි විසින් නිකුත් කර ඇති අවසර පත එම ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කළ යුතු වේ.
  16. ඔබට, මහජන පිවිසුම් ද්වාරයෙන්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පිවිසිය හැකි අතර, බටහිර පියගැට පෙළ ඔස්සේ මහජන ගැලරිය දක්වා ගමන් කිරීම සඳහා අවසර දෙනු ලැබේ. පාර්ලිමේන්තු පොලිස් නිලධාරින් සහ පාර්ලිමේන්තු ආරක්‍ෂක නිලධාරින් විසින් ඔබ එම මාර්ගයට යොමු කරවන අතර ඉන් බැහැර ප්‍රදේශවලට ගමන් කිරීම සපුරා තහනම් බැවින් එසේ ගමන් නොකිරීමට වගබලා ගත යුතු ය. ගැලරි පිවිසුම් ද්වාරය අසලදී නැවත ඔබ ශාරිරික ආරක්‍ෂක සෝදිසි කිරීමට යොමු කරනු ලබන අතර ඒ සඳහා ඔබගේ සහයෝගය ලබා දිය යුතු වේ.
  17. පියගැට පෙළ ඔස්සේ ගමන් කිරීමේ දී, ප්‍රවේශම් විය යුතු අතර විශේෂයෙන්ම, ඔබ සමග පැමිණෙන පාසැල් දරුවන් හා අනෙකුත් දරුවන් සංයමයෙන් හා ප්‍රවේශමෙන් යුතුව ගමන් කරන බවට ඔබ විසින් වග බලා ගත යුතුය.
  18. මහජන ගැලරියේ සිටින විට මෙන්ම, ගොඩනැගිල්ල තුළ කවර ස්ථානයක හෝ සිටින විටදී ද, පූර්ණ නිශ්ශබ්දතාව රැක ගත යුතු වේ. සෑම විටකදී ම, ආයතනික කටයුතු වලට බාධා නොවන පරිදි නිහඬව සිටිය යුතු අතර විනීතව හැසිරීමටත්, මහජන ගැලරිවල හෝ ආයතනයේ වෙනත් ස්ථාන වල හෝ සවිකර ඇති ශ්‍රවණ උපකරණ සහ වෙනත් උපකරණ ආදියට හානි නොවන පරිදි හැසිරීමටත් ඔබ විසින් වග බලා ගත යුතුය.
  19. මහජන ගැලරියේ සිටින විට දුම්බීම, කථා බස් කිරීම, අත්පොළසන් දීම, විවිධ ප්‍රීති ඝෝෂා පැවැත්වීම, විවිධ ශබ්ද නැගීම, කෙළි කවටකම් හා උසුළු විසුළු කිරීම, එහා මෙහා ඇවිදීම, සිටගෙන සිටීම,කෙළි සෙල්ලම් කිරීම,ඉඟි බිඟි පෑම, සභා ගර්භය තුළට එබී බැලීම හා ඇඟිලි හෝ අතපය හෝ වෙනත් දෑ හෝ දිගු කිරිම, විවිධ දෑ සභා ගර්භය තුළට විසි කිරීම, ගරු මැති ඇමතිවරුන්ට අත වැනීම හා සංඥා කිරීම, නිදා ගැනීම, සටහන් ලියා ගැනීම, පොත්පත් කියැවීම ‍යනාදිය සපුරා තහනම් වේ.
  20. මහජන ගැලරිය තුල සිටින විට දී, ආරක්ෂක වැටවල් උඩින් පැණීම හා පුවත්පත් ගැලරිවල අසුන් ගැනීම නොකළ යුතු අතර මහජන ගැලරියේ සේවයේ නියුතු පාර්ලිමේන්තු ආරක්‍ෂක නිලධාරී හෝ පොලිස් නිලධාරී හෝ විසින් නියම කරනු ලබන ස්ථානවල වාඩි විය යුතුය. සභා ගර්භය තුළ යම් නොසන්සුන් අවස්ථාවක් ඇතිවුවහොත් මහජන ගැලරිවල සිටින පිරිස් ඉන් බැහැර කිරීමට අවස්ථාවෝචිත පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ආරක්‍ෂක නිලධාරීන් / පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දී ඇත.එබැවින් ඔබ ඊට අවනත විය යුතුය.
  21. ඉහත සදහන් විධිවිධානයන්ට අනුකූලව කටයුතු නොකරන පුද්ගලයන් හෝ පිරිස් හෝ වෙතොත් ඔවුන් පාර්ලිමේන්තු පරිශ්‍රයෙන්/ ගැලරිවලින් වහා ඉවත් කිරිමට පාර්ලිමේන්තු ආරක්‍ෂක නිලධාරීන්/ පොලිස් නිලධාරීන් විසින් කටයුතු කරනු ඇත.
  22. මහජන පිවිසුම පිහිටි ප්‍රදේශය ඔස්සේ නිතර වාහන ධාවනය වන බැවින් ගැලරියේ සිට මහජන පිවිසුම වෙත ආපසු පැමිණීමෙන් අනතුරුව, ඔබගේ හා ඔබේ කණ්ඩායමේ ප්‍රවේශම සම්බන්ධව වග බලා ගැනීම අත්‍යවශ්‍ය ය. මහජන පිවිසුමේ සිට ආපසු ජයන්තිපුර පිරික්සුම් ස්ථානය දක්වා ගමන් කිරීම පිණිස ඔබ ඇතුළු පිරිස වෙනුවෙන් යොදවා ඇති බස් රථය පැමිණෙන තෙක් සන්සුන්ව සිටින ලෙස ඔබගේ පිරිසට උපදෙස් දෙන්න. විශේෂයෙන්ම, ඔබ කැටුව පැමිණි කණ්ඩායමට අයත් දරුවන් ඔබ මොබ යාමෙන් වලක්වා ගැනීම අත්‍යවශ්‍ය ය.
  23. දියවන්නා ඔයේ ඉවුරු අසළ එක් රොක් වීම අන්තරාදායක වේ. එබැවින් ඔබේ කණ්ඩායමට අයත් දරුවන් මෙන්ම, සෙසු පිරිස ද, එම ඉවුරු ආසන්නයේ රැදී නොසිටින බවට තරයේ වග බලා ගන්න.
  24. පාර්ලිමේන්තුව නරඹා පිටව යන මහජනතාවගේ පහසුව තකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන පිවිසුමේ ද, පාර්ලිමේන්තුව ඉදිරිපස පිහිටි ක්‍රීඩාංගනයට ඔබ්බෙන් පිහිටි ආපන ශාලා පරිශ්‍රයේ ද, සමරු භාණ්ඩ අළෙවි සැල් ස්ථාපිතය. ඔබට අවශ්‍ය සමරු භාණ්ඩ එහිදී මිළදී ගත හැක.
  25. පාර්ලිමේන්තු සංකීර්ණයේ මහජන පිවිසුමේදී, සමරු භාණ්ඩ මිළදී ගැනීමට ඔබ අදහස් කරන්නේ නම් මුදල් නෝට්ටු පමණක් රැගෙන එන ලෙසත්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට මාරුකාසි රැගෙන ඒමෙන් වලකින ලෙසත් දන්වනු කැමැත්තෙමි.

වාහන ඇතුළු කිරීම, ගාල් කිරීම ඇතුළු අනෙකුත් කරුණු සම්බන්ධව අනුගමනය කල යුතු විශේෂ විධි විධාන

ඉහත අංක 2. ජේදය ප්‍රකාර අවසර ලබා ගෙන හෝ ඉඳුරාම පාර්ලිමේන්තුව නැරඹීම සඳහා හෝ පැමිණෙන පාසැල් ළමුන් හා අනෙකුත් අමුත්තන් පැමිණෙන වාහන පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපස වූ ක්‍රීඩා පිටියෙන් අනෙක් පස ඇති ආපන ශාලා පරිශ්‍රයෙහි පිහිටි රථ ගාලට ඇතුළු කළ යුතු වේ. එසේ ඇතුළු කිරීමට පෙර, පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ලබාගත් පූර්ව අවසර පත්‍රයක් ඇත්නම් එය එම ස්ථානයෙහි පිහිටි පොලිස් මුරපොලෙහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු වේ. එසේ නොමැති නම් තම අනන්‍යතාව තහවුරු කළ යුතු වේ. එසේ කිරීමෙන් පසු පමණක් තම රථය එම රථගාල තුළට ධාවනය කළ හැක.

පාසැල් නිල ඇඳුමින් සැරසී සිටින පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැ‍ගත් බස්රථ හැර අනෙකුත් වාහන වලින් පැමිණි අමුත්තන් ඉහත අංක 9 ජේදය ප්‍රකාර ජයන්ති පුර ආරක්‍ෂක පිරික්සුම් ඒකකය වෙත යා යුතුය. එම ස්ථානයේදී ඔවුන් ශාරීරික ආරක්‍ෂක සෝදිසියට ලක් කරනු ලබන අතර ඒ සදහා එම ආරක්‍ෂක අංශ වෙත ඔබගේ සහයෝගය ලබා දිය යුතුය.

පාසැල් නිල ඇඳුමින් සැරසී පැමිණෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගත් බස්රථ, අදාළ පොලිස් නිලධාරින් විසින් මෙම රථ ගාලෙහි සිට ශාරීරික ආරක්‍ෂක පරීක්‍ෂාවට භාජනය කිරීම සඳහා නියමිත ස්ථානය වෙත යොමු කරනු ඇත. එම ස්ථානයේදී පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද, ඔවුන් කැටුව පැමිණි ගුරුවරුන් හා දෙමව්පියන් ද, ශාරීරික ආරක්‍ෂක පරීක්‍ෂාවකට භාජනය කරන අතර පැමිණි බස්රථය ද, ආරක්ෂක සෝදිසියට ලක් කරනු ලැබේ. අනතුරුව, අදාළ උපදෙස් ලබා දීමෙන් පසු, එම පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ඔවුන් කැටුව පැමිණි පිරිස ද, එම බස්රථයට නැවත යොමු කරනු ලබන අතර කැටුව යාම පිණිස පොලිස් නිලධාරියකු ද, සමග එම බස්රථය ජයන්තිපුර ආරක්‍ෂක පිරික්සුම් ඒකකය ඔස්සේ අදාළ ආරක්‍ෂක පරීක්‍ෂාවට හා සටහන් තබාගැනීමට යටත්ව, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන පිවිසුම වෙත යොමු කරනු ලැබේ. මේ සඳහා පොලිස් නිලධාරීන්ට සහ පාර්ලිමේන්තු ආරක්‍ෂක නිලධාරීන් හට තම උපරිම සහයෝගය ලබා දිය යුතුය.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන පිවිසුම අසලදී, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සෙසු පිරිස බැස්සවීමෙන් පසු එහි පැමිණි පොලිස් නිලධාරියා ද කැටුව, බස් රථය නැවත ජයන්තිපුර ප්‍රධාන පිවිසුම හරහා ඉහත කී රථගාල වෙත යොමු කරන අතර ආපසු කැඳවන තෙක් එහි ගාල් කර තැබිය යුතු වේ. එම රථගාලේ දී නිකුත් කරනු ලබන වාහන ටෝකන් පතෙහි එක් කොටසක් රියදුරු භාරයේ ද, අනෙක් කොටස පැමිණි කණ්ඩායම භාරව පැමිණි විදුහල්පති හෝ භාරකාර ගුරුභවතා හෝ භාරයේ තබා ගත යුතුය. කිසිදු හේතුවක් මත මෙම බස්රථ පාර්ලිමේන්තු පරිශ්‍රයේ හෝ පැමිණෙන මාර්ගය දෙපස හෝ ගාල් කිරීම සපුරා තහනම් වේ.

පාර්ලිමේන්තුව නරඹා මහජන පිවිසුම වෙත නැවත පැමිණි පසු එකී ටෝකන් පත්‍රය උපයෝගී කර ගෙන, මහජන පිවිසුමේ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් විසින් ඔබගේ බස් රථය එම ස්ථානයට ගෙන්වා දීමට පියවර ගනු ලැබේ. එසේ පැමිණීමේදී පොලිස් නිලධාරියකු කැටුව ජයන්තිපුර ආරක්‍ෂක පිරික්සුම් ඒකකය හරහා අදාළ ආරක්ෂක පරීක්‍ෂාවන් හා සටහන් තබාගැනීමේ කටයුතු වලට යටත්ව, එම බස් රථ මහජන පිවිසුම වෙත යොමු කරනු ලැබේ.

එම බස්රථ පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව යාමේදී, කැටුව පැමිණි පොලිස් නිලධාරියා ද, සමඟ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ඔස්සේ ධාවනය කළ යුතු අතර එම පිවිසුමේ දී, කැටුව පැමිණි පොලිස් නිලධාරියා බස්රථයෙන් බැසීමෙන් පසු පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් බැහැරට ධාවනය කළ යුතුය.

කිසියම් අමුත්තකු පාර්ලිමේන්තුවට පිවිසීමේදී, ජයන්තිපුර පිවිසුම හැර වෙනත් පිවිසුමක් භාවිත කිරීම සපුරා තහනම්ය. තවද, කිසියම් අමුත්තකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයතු හෝ කැටුව පැමිණෙන්නේ නම් ඔවුන් ද, ජයන්තිපුර පිවිසුම පමණක් උපයෝගී කරගත යුතුය. තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් හා ශාරීරික ආරක්‍ෂක පරීක්‍ෂාවෙන් පසුව, තමන් කැටුව පැමිණි රථය හෝ පාර්ලිමේන්තු කෙටි ධාවන බස්රථ සේවාව හෝ උපයෝගී කරගෙන මහජන පිවිසුම දක්වා ගමන් කළ හැකිය. මෙම අමුත්තන් පාර්ලිමේන්තුවේ වෙනත් පිවිසුම් වෙත යාම සපුරා තහනම් වේ.

පූර්ව අවසරයක් නොමැතිව ඉඳුරාම පාර්ලිමේන්තුව නැරඹීම සදහා පැමිණෙන අමුත්තන්ට සහ පාසැල් නිල ඇඳුමින් සැරසී පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත කණ්ඩායම්වලට ද, ඉහත සදහන් විධිවිධානයන්ට යටත්ව පාර්ලිමේන්තුවේ මහජන පිවිසුම දක්වා පැමිණිය හැකි අතර අනතුරුව, තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එම ස්ථානයේ මහජන පිළිගැනීම් කවුන්ටරයෙන් පාර්ලිමේන්තුව නැරඹීම සදහා කහ වර්ණයෙන් යුතු විශේෂ අවසර පත්‍රයක් ලබා ගත හැකිය. පූර්ව අවසරය ලබා ගෙන පැමිණෙන අමුත්තන් හා පාසැල් ළමුන් සදහා නිකුත් කරනු ලබන්නේ සුදු වර්ණයෙන් යුත් අවසර පත්‍රයකි.

මෙම අවසර පත්‍ර උපයෝගී කරගෙන පාර්ලිමේන්තු ගැලරියෙන් පරිබාහිර කිසිදු ස්ථානයක් වෙත යාම සපුරා තහනම් වේ.

පාර්ලිමේන්තුවට පැමිණෙන රජයේ නිලධාරීන් සඳහා උපදෙස්

විවිධ රාජකාරි අවශ්‍යතාවන් සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන රජයේ නිලධාරීන් හට පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වීම සඳහා අවසර දීම සම්බන්ධිත විධිවිධාන, ආරක්ෂක විධිවිධාන සහ පහසුකම්

  1. රාජ්‍ය නිලධාරීන් පැමිණෙන වාහන පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ධාවනය කිරීම
    1. නිල කටයුතු සඳහා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන සියළුම රාජ්‍ය නිලධාරීන් ගමන් කරන වාහන ආරක්ෂක අවශ්‍යතාවන්ට යටත්ව, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට ධාවනය කිරීම පිණිස අවසර ලබා දී ඇත.
    2. ඒ අනුව, රාජ්‍ය නිලධාරීන් පැමිණෙන වාහන ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ඔස්සේ පමණක් ධාවනය කළ හැක.
    3. ජයන්තිපුර ප්‍රධාන පිවිසුමේ ආරක්ෂක පිරික්සුම් ඒකකයේ දී හදුනාගැනීමෙන් අනතුරුව වාහනය පමණක් ආරක්ෂක සෝදිසියට ලක් කරනු ලැබේ. එහි දී, වාහනයෙන් බැසීම අනවශ්‍ය ය.
    4. එසේ වුවද, පැමිණෙන වාහනයේ රැගෙන එනු ලබන සියළු දෑ ආරක්ෂක සෝදිසියට ලක් කරනු ලැබේ. එබැවින්, පාර්ලිමේන්තුවේ රාජකාරි අවශ්‍යතාව සඳහා අදාළ ලිපිලේඛනාදිය හැර වෙනත් අත්‍යවශ්‍ය නොවන හෝ රැගෙන ඒමට සුදුසු නොවන හෝ මෙවලම්/ උපකරණ/භාණ්ඩ/ ගමන් මළු යනාදී දෑ රැගෙන ඒමෙන් හැකිතාක් දුරට වැලකී සිටීම, ආරක්ෂක සෝදිසිය සඳහා පහසුවකි.
    5. එකී ආරක්ෂක සෝදිසි කිරීම් අවසන් වූ පසුව, පොලිස් නිලධාරීන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන පිවිසුම වෙත වාහනය යොමු කරනු ලැබේ.
    6. මහජන පිවිසුමේ දී වාහනයෙන් බැසීමෙන් අනතුරුව,
      • නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීම් කවුන්ටරය වෙත ද,
      • රියැදුරකු සහිතව පැමිණියේ නම් වාහනය ගාල් කිරීම පිණිස ජයන්තිපුර රථගාල හෝ අදාළ රථගාල හෝ වෙත ද, යොමු කරනු ලැබේ.

      ආපසු යාමේ දී වාහනය නැවත කැඳවාගැනීමේ පහසුකම් සලසා ඇත.

    7. රාජකාරි කටයුතු අවසානයේ දී, පාර්ලිමේන්තු සංකීර්ණයෙන් බැහැර යාම පිණිස ජයන්තිපුර ප්‍රධාන පිවිසුම හෝ නුග සෙවන පිවිසුම හෝ පින්නියර පිවිසුම හෝ උපයෝගී කරගත හැක.
    8. කෙසේ වුවද, කිසියම් රජයේ නිලධාරියකු තමන් විසින් ම, වාහනය පදවාගෙන පැමිණියේ නම්, වාහනය ජයන්තිපුර රථගාලේ ගාල් කිරීමෙන් අනතුරුව ජයන්තිපුර ප්‍රධාන පිවිසුමේ පිහිටි අවසර පත් කවුන්ටරය වෙත පැමිණිය යුතු අතර එහි දී හදුනාගැනීමේ අවශ්‍යතාවන් සපුරාගැනීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට පැමිණීම පිණිස කෙටි ධාවන පාර්ලිමේන්තු බස් රථ සේවාව උපයෝගී කරගත හැක.
  2. වර්ණ තාවකාලික අවසර පත් නිකුත් කිරීම සහ රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට යොමු කිරීම සහ ආරක්ෂක විධිවිධාන
    1. රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීම් කවුන්ටරයේ රාජකාරියේ නියුතු පිළිගැනීමේ නිලධාරී වෙත තම අනන්‍යතාව තහවුරු කිරීම පිණිස තම ජාතික හැදුනුම් පත හෝ වලංගු රියැදුරු බල පත්‍රය හෝ වලංගු ගුවන් ගමන් අවසර පත්‍රය හෝ තම ආයතන බලධාරියා විසින් නිකුත් කරන ලද රාජකාරි නිල හැදුනුම් පත හෝ ඉදිරිපත් කිරීම ද, වේත්‍රධාරී විසින් නිකුත් කරන ලද, ප්‍රවේශ අවසර පතක් වෙතොත් එය ද, ඉදිරිපත් කිරීම අවශ්‍ය ය.
    2. අනතුරුව, අදාළ තොරතුරු ලේඛනගත කිරීම සිදු කරනු ලබන අතර අනන්‍යතා ලේඛනය රඳවාගැනීමෙන් පසුව, අදාළ ස්ථානය දක්වා වලංගු වර්ණ තාවකාලික අවසර පතක් නිකුත් කරනු ලබන අතර බැහැර යාමේ දී එය ආපසු භාර දුන් විට අනන්‍යතා පත්‍රය ලබාගත හැක.
    3. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමේ දී සියළුම රාජ්‍ය නිලධාරීන් ශාරීරික ආරක්ෂක සෝදිසියට ලක් කරන අතර ඔවුන් විසින් රැගෙන එනු ලබන ලිපිලේඛන හා ගමන්මළු යනාදිය ද, ආරක්ෂක සෝදිසියට ලක් කරනු ලැබේ. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පිවිසෙන සියළු දෙනා ශාරීරික ආරක්ෂක සෝදිසියට ලක් කරන බැවින්, ඒ සඳහා සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ආරක්ෂක අංශ වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
    4. පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ රැඳී සිටින කාලවේලාවන් තුළ දී, පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක ආරක්ෂක විධිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බැවින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් ආරක්ෂක නිලධාරීන්ට ද, පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන්ට ද, සිය රාජකාරි කටයුතු ඉටු කිරීම පිණිස සහයෝගය ලබාදෙන ලෙස සියළුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
  3. ජංගම දුරකථන, ලැප්ටොප්/ටැබ්ලට්/අයිපෑඩ් හා වෙනත් විද්‍යුත් උපකරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට රැගෙන ඒම පිණිස අවසර දීම
    1. රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය තුළට ජංගම දුරකථන රැගෙන යාම සඳහා අවසර දෙනු නොලැබේ. එබැවින්, එම මැදිරියට යන නිලධාරීන් හට තම ජංගම දුරකථනය රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීම් කවුන්ටරය සමීපයේ රාජකාරියේ නියුතු ආරක්ෂක නිලධාරී වෙත භාර දීම පිණිස පහසුකම් සලසා ඇත.
    2. රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට පිවිසීම හැර වෙනත් කවර හෝ කාරක සභා රැස්වීමකට සහභාගි වීම පිණිස කාරක සභා කාමර වෙත පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ට ද, නිල රාජකාරි කටයුත්තක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන් හට ද, අවශ්‍ය වන්නේ නම් පමණක් තම ජංගම දුරකථනය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට රැගෙන යාම සඳහා අවසර ලබාදිය හැකි අතර ඒ සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයැදුම් පත්‍ර කට්ටලයක් වේත්‍රධාරී වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය ය.
    3. අවශ්‍යතාව පරිදි ඉල්ලුම් කළ හොත් ක්‍රියාත්මක වර්ෂය අවසානය තෙක් මෙම අවසර පත්‍ර නිකුත් කිරීම සම්බන්ධව සලකා බලන අතර පාර්ලිමේන්තුවට පැමිණෙන සියළු අවස්ථාවන්හි දී අවසර පත්‍රය රැගෙන ඒමට අදාළ නිලධාරියා විසින් කටයුතු කළ යුතු වේ. එසේ කිරීමෙන් අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගත හැක.
    4. ආරක්ෂක අවශ්‍යතාවන්ට යටත්ව, අත්‍යවශ්‍ය අවස්ථාවන්හි දී, පමණක් ලැප්ටොප්/ ටැබ්ලට්/ අයි පෑඩ් පරිගණකය රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට රැගෙන යාම සඳහා අවසර ලබාදිය හැකි අතර ඒ සඳහා අදාළ අයැදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර, ඉදිරිපත් කළ යුතු වේ.
    5. රාජකාරි අවශ්‍යතාව මත ලැප්ටොප්/ ටැබ්ලට්/ අයි පෑඩ් පරිගණකය හෝ වෙනත් කිසියම් විද්‍යුත් උපකරණයක් හෝ පාර්ලිමේන්තු කාරක සභා හෝ වෙනත් කාරක සභා හෝ රැස්වීමකට ගෙන යාම අවශ්‍ය වන්නේ නම් ඊට අවසර ලබාදිය හැකි අතර ඒ සඳහා අදාළ අයැදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු වේ.
    6. ඉහත යොමුවන අවසරය ලබාදීම වේත්‍රධාරී/ නියෝජ්‍ය වේත්‍රධාරී/ සහකාර වේත්‍රධාරී විසින් පමණක් සිදු කරනු ලැබේ.
  4. රාජ්‍ය නිලධාරීන් විවිධ රාජකාරිමය අවශ්‍යතාවන් සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම හෝ අවසර පත් ලබාගැනීම හෝ සම්බන්ධව තොරතුරු ලේඛන එවීම
    1. අවසර පත් ලබාගැනීම පිළිබඳ හෝ පාර්ලිමේන්තුව වෙත පැමිණෙන නිලධාරීන් පිළිබඳ හෝ තොරතුරු පාර්ලිමේන්තුව වෙත එවීමේ දී, 2777473 හෝ 2777322 හෝ 2777323 හෝ ඔස්සේ එවීමට කටයුතු කිරීම මඟින් කඩිනම් අවධානයට යොමු කිරීමට හැකියාව ලැබෙන බව කරුණාවෙන් දන්වමි.
    2. එසේ වුවද, පාර්ලිමේන්තු කාරක සභා හෝ වෙනත් කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම පිණිස හෝ පැමිණෙන නිලධාරීන් සම්බන්ධව තොරතුරු ලේඛන ඉදිරිපත් කිරීමේ දී අදාළ කාරක සභාවේ ලේකම්/ අදාළ කාරක සභා කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන)ගේ නිර්දේශය සහිතව එම තොරතුරු ලේඛන වේත්‍රධාරී වෙත ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු හා අත්‍යවශ්‍ය කරුණකි. එබැවින්, එම තොරතුරු ලේඛන එම නිලධාරීන් මාර්ගයෙන් වේත්‍රධාරී වෙත ලැබීමට සැලැස්වීම වඩාත් උචිත වේ.
    3. ඇතැම් අමාත්‍යාංශ/ ආයතන මඟින් පාර්ලිමේන්තුව වෙත පැමිණෙන නිලධාරීන් පිළිබඳ තොරතුරු හෝ අවසර පත් ලබාගැනීම පිළිබඳ ඉල්ලීම් හෝ එවීමේ දී,
      • වේත්‍රධාරී හෝ අදාළ කාරක සභාවේ ලේකම් හෝ කාරක සභා කාර්යාලය හෝ වෙත එවීම වෙනුවට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත වෙනත් කාර්යාල වෙත එම ලේඛන එවීම,
      • එකම ලේඛනයේ පිටපත් ගණනාවක් හෝ ලේඛන ගණනාවක් හෝ වරින්වර එවීම
      • අදාළ රැස්වීම හෝ සාකච්ඡාව හෝ ආරම්භ කිරීමට ඉතාමත් ම, ආසන්න වේලාවක එම ලේඛන එවීම,
      • තොරතුරු සංශෝධනය කළ බවට සනාථ කිරීමෙන් තොරව සංශෝධිත ලේඛන වරින්වර එවීම,
      • නම, තනතුර, ජාතික හැදුනුම්ත් අංකය, පැමිණෙන වාහන අංකය සහ වෙනත් අත්‍යවශ්‍ය තොරතුරු අසම්පූර්ණ ලේඛන එවීම,
      • යනා දී කරුණු හේතුවෙන්, පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුමෙන් ඔබ්බට එම නිලධාරීන් යොමු කිරීම පිණිස ලේඛන පරීක්ෂා කිරීමේ කටයුතුවල දී පැමිණෙන නිලධාරීන් ද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පොලිස් නිලධාරීන් ද, අපහසුතාවට ලක්වන බව ද, නිරීක්ෂණයට ලක්ව ඇත. එබැවින්,

      • ඉහත කී ෆැක්ස් අංක වෙත හෝ අදාළ කාරක සභා කාර්යාංශය වෙත හෝ තොරතුරු එවීමට ද,
      • එවන ලද නාම ලේඛන සංශෝධනය කිරීමට සිදුවන අවස්ථාවලදී සංශෝධිත ලේඛනයක් බවට හඳුනාගැනීම පහසු වන පරිදි ආවරණ ලිපියක් සහිත ලේඛනයක් හෝ හැකි සෑම අවස්ථාවක දී ම, සංශෝධිත බවට අදාළ සටහන් සහිතව සංශෝධිත මුල් ලේඛනය ම, හෝ එවීමට ද,
      • එකම ලේඛනයේ පිටපත් ගණනාවක් එවීමෙන් වැළැකී සිටින ලෙස හා එවන ලද ලේඛනය නිසි පරිදි ලැබී තිබේ ද යන්න ඉහත සඳහන් කර ඇති ෆැක්ස් අංක මාර්ගයෙන් හෝ දුරකථන අංක 2777100 ඔස්සේ (අභ්‍යන්තර දිගු 5422, 5334 සහ 5302) ඇමතුමක් මගින් විමසා බලන ලෙස ද,
      • තොරතුරු ලේඛන එවීමේ දී අදාළ සියළු තොරතුරු සහිතව, අවම වශයෙන් එක් රාජකාරි දිනකට පෙර එවීමට ද,
      • කටයුතු කරන ලෙස ද, ඉල්ලා සිටිනු ලැබේ.

  5. කාරක සභා/ සාකච්ඡා සඳහා සහභාගි වන නිලධාරීන් කල්වේලා ඇතිව පාර්ලිමේන්තුව වෙත පැමිණීමේ අවශ්‍යතාව
    1. කාරක සභා රැස්වීම්/ සාකච්ඡා කිහිපයක් එකම /ආසන්න වේලාවක පැවැත්වෙන අවස්ථා බහුලව යෙදෙන අතර එම අවස්ථාවල දී ආරක්ෂක අවශ්‍යතා සපුරාලීමෙන් පසු අදාළ නිලධාරීන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුමෙන් ඔබ්බට යොමු කරවීමේ දී ප්‍රමාදයන් ඇතිවීමට ඉඩ ප්‍රස්ථා ඇත.
    2. එබැවින්, යම් නිල කටයුත්තක් සඳහා ඔබගේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවලදී නියමිත වේලාවට වඩා අවම වශයෙන් විනාඩි 30ක් පමණ කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසළ අවසර පත් කවුන්ටරය වෙත පැමිණීමෙන් අනවශ්‍ය ප්‍රමාදයකට ලක්වීම මඟ හරවා ගත හැකි බව කරුණාවෙන් දන්වමි.
  6. නිල කටයුතු සඳහා පාර්ලිමේන්තුව වෙත නිතර පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ගේ පහසුව සැලසීම පිණිස වාර්ෂික/ දෛනික ප්‍රවේශ අවසර පත් නිකුත් කිරීම
    1. අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත වාර්ෂික අවසර පත් නිකුත් කිරීම
    2. පාර්ලිමේන්තු රැස්වීම් පවත්නා දිනයන්හි දී රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට ඇතුළුවීම/ පාර්ලිමේන්තු කාරක සභා හෝ වෙනත් පාර්ලිමේන්තු කාරක සභාවලට සහභාගි වීම සඳහා හෝ විවිධ රාජකාරිමය අවශ්‍යතාවන් සඳහා හෝ පාර්ලිමේන්තුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත වාර්ෂික අවසර පත් පහත දැක්වෙන පරිදි නිකුත් කරනු ලැබේ. වත්මන් වර්ෂය සඳහා එම අවසර පත් නිකුත් කිරීමට දැනටමත් කටයුතු කර ඇත.

      • අමාත්‍යාංශ ලේකම්ගේ වාහනය සඳහා අවසර පත් 01ක්
      • රජයේ නිලධාරීන්ගේ මැදිරි අවසර පත් 03ක්
      • රජයේ නිලධාරී අවසර පත් 02 ක්
      • ආපන ශාලා අවසර පත් 01ක්
      • මෙම අවසර පත් නිකුත් කිරීම පිණිස අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් යුතු ඉල්ලීමක් වේත්‍රධාරී වෙත ඉදිරිපත් කළ යුතු වේ.

    3. ගරු කැබිනට් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන් වෙත වාර්ෂික අවසර පත් නිකුත් කිරීම
    4. ඉහත ජේදයේ දක්වා ඇති රාජ්‍ය නිලධාරීන් වෙත නිකුත් කරනු ලබන අවසර පත්වලට අමතරව, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ නිල කාමරයක් හිමි කැබිනට් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වෙත ද, වාර්ෂික අවසර පත් පහත දැක්වෙන පරිදි නිකුත් කරනු ලැබේ. වත්මන් වර්ෂය සඳහා එම අවසර පත් ඒ ඒ නිලධාරීන් වෙත නිකුත් කිරීමට දැනටමත් කටයුතු කර ඇත.

      • පෞද්ගලික ලේකම් සඳහා අවසර පත් 01
      • සම්බන්ධීකරණ ලේකම් (පාර්ලිමේන්තු කටයුතු) සඳහා අවසර පත් 01
      • සම්බන්ධීකරණ ලේකම් (මාධ්‍ය) සඳහා අවසර පත් 01
      • මෙම වාර්ෂික අවසර පත් නිකුත් කිරීම පිණිස අදාළ අමාත්‍යවරයාගේ හෝ අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ හෝ අත්සනින් යුතු ඉල්ලීමක් වේත්‍රධාරී වෙත ඉදිරිපත් කළ යුතු වේ.

    5. දෛනික ප්‍රවේශ අවසර පත් නිකුත් කිරීම
      • ඉහත ජේදයන්හි දැක්වෙන අවසර පත් භාවිත කරනු ලබන නිලධාරීන්ට අමතරව,
        • රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට,
        • රාජකාරි පදනම යටතේ පාර්ලිමේන්තු ගැලරියට හෝ අමාත්‍ය කාමරයකට හෝ වෙනත් ස්ථානයකට හෝ
        • පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම්/ වෙනත් කාරක සභා රැස්වීම් / වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා

        සහභාගි වීම පිණිස පාර්ලිමේන්තුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන් හට ප්‍රවේශ අවසරය ලබාදීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශයට යටත්ව, වේත්‍රධාරී වෙත ලිපියක් ඉදිරිපත් කිරීම මගින් නියමිත දිනට වලංගු දෛනික ප්‍රවේශ අවසරය වේත්‍රධාරී වෙතින් ලබා ගත හැක.

      • එකී ප්‍රවේශ අවසරය පිළිබඳ තොරතුරු හා ඊට අදාළ වැඩිදුර උපදෙස්
        • පාර්ලිමේන්තු පොලීසිය වෙත ද,
        • අදාළ පිළිගැනීම් කවුන්ටර සහ
        • අදාළ ආරක්ෂක නිලධාරීන්ගේ කවුන්ටර වෙත

        නිකුත් කිරීමට වේත්‍රධාරී/ නියෝජ්‍ය වේත්‍රධාරී/ සහකාර වේත්‍රධාරී විසින් අවශ්‍ය පියවර ගනු ලැබේ.

  7. රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය හෝ රාජකාරි පදනම යටතේ මහජන ගැලරිය හෝ පරිහරණය
    1. රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට අදාළ වර්ණ තාවකාලික පතක් රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීම් කවුන්ටරයෙන් නිකුත් කරනු ලබන්නේ, වේත්‍රධාරී විසින් අදාළ දින සඳහා නිකුත් කරන ලද රාජ්‍ය නිලධාරී මැදිරි අවසර පතක් හිමි නිලධාරීන් හට පමණි. තවද, විශේෂිත අවශ්‍යතාවක් අනුව, රාජකාරි පදනම යටතේ මහජන ගැලරියට යාම පිණිස අවසර පත් නිකුත් කිරීම ද, එම විධිධිවිධාන පරිදි ම, සිදු කරනු ලැබේ.
    2. රාජකාරි අවශ්‍යතාව මත රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය හෝ මහජන ගැලරිය හෝ වෙත යාම පිණිස ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් අදාළ අමාත්‍යාංශයේ ලේකම් හෝ අතිරේක ලේකම් හෝ මගින් පමණක් වේත්‍රධාරී වෙත යොමු කළ යුතු අතර එවැනි ඉල්ලීම් වෙනත් කාර්යාංශ වෙත යැවීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනු ලැබේ. යම් විශේෂිත අවස්ථාවන්හි දී, කිසියම් නිලධාරියකු රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය වෙත කැඳවනු ලැබුවහොත් ඒ සඳහා අවස්ථාවෝචිත පරිදි විධිවිධාන සැලසීමට පියවර ගනු ලැබේ.
    3. කෙසේ වුවද, රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය හෝ රාජකාරි පදනම යටතේ මහජන ගැලරිය හෝ වෙත පැමිණෙන නිලධාරීන් සඳහා වෙන් වෙන් වශයෙන් නිකුත් කරනු ලබන මුද්‍රිත දෛනික අවසර පත් කල්වේලා ඇතිව වේත්‍රධාරී දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ලබාගැනීමට අදාළ අමාත්‍යාංශ මගින් අවශ්‍ය පියවර ගත යුතු වේ. විශේෂයෙන් ම, අයවැය විවාද සමයේ දී මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස අවාධරණය කරනු ලැබේ.
    4. රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියේ ඇති සීමිත ආසන ප්‍රමාණය සැලකිල්ලට ගෙන අවසර පත් නිකුත් කරනු ලබන බැවින් රාජකාරි අවශ්‍යතාව පදනම් කරගෙන ප්‍රමුඛතාව මත සකස් කරන ලද ලේඛනයක් මගින් අදාළ ඉල්ලීම ඉදිරිපත් කිරීම කළ යුතු වේ.
    5. රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට පැමිණෙන නිලධාරීන් ද, නිසි ඇඳුමින් සැරසී සිටීම හා එහි රැඳී සිටින කාලවකවානුව තුළ අදාළ නීතිරීති පිළිපැදීම අත්‍යවශ්‍ය ය. මෙම කරුණු සම්බන්ධව සියළුම රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අපේක්ෂා කරන අතර අදාළ කරුණු රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට පැමිණීම පිණිස නිකුත් කරනු ලබන දෛනික අවසර පත්‍රයේ සඳහන් කර ඇති අතර එම මැදිරිය තුළ ප්‍රදර්ශනය කිරීමට ද, කටයුතු කර ඇත.
    6. රාජ්‍ය නිලධාරීන්ගේ පහසුව තකා ෆැක්ස් පහසුකම් එම මැදිරිය තුළ ද, දුරකථන පහසුකම් එම මැදිරියෙන් පිටත ආලින්දයේ ද, සලසා ඇත. එම ආලින්දයේ රැඳී සිටිය දී ගරු මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශයට බාධා නොවන පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර සභා ගර්භය දෙපස පිහිටි ආලින්ද ගරු මන්ත්‍රීවරුන් සඳහා පමණක් සීමා කර ඇති බැවින් එම ආලින්ද තුළට ප්‍රවේශ වීමෙන් සපුරා වැළැකී සිටීම අත්‍යවශ්‍ය ය.
  8. අමාත්‍යාංශ නිලධාරීන් විසින් අමාත්‍ය කාමර පරිහරණය
    1. අදාළ ගරු කැබිනට් අමාත්‍යවරයා හට පාර්ලිමේන්තුවේ අමාත්‍ය කාමරයක් හිමිව තිබේ නම්, පාර්ලිමේන්තු රැස්වීම් පවත්නා හෝ නොපවත්නා හෝ දිනයන්හි රාජකාරි වේලාව තුළ, අදාළ කැබිනට් අමාත්‍යවරයාගේ රාජකාරි අවශ්‍යතාව පරිදි එතුමන්ගේ නිර්දේශයට ද, අදාළ අවසර ලබාගැනීමේ අවශ්‍යතාවට ද, යටත්ව, රාජ්‍ය නිලධාරීන් හෝ අදාළ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන් හෝ අදාළ අමාත්‍ය කාමරය වෙත යොමු කරනු ලැබේ.
    2. අදාළ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණි නොසිටී නම්, පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනයන්හි දී රාජ්‍ය නිලධාරීන් හෝ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන් හෝ කිසිවකු සඳහා අමාත්‍ය කාමර විවෘත කර දෙනු නොලැබේ.
  9. අමාත්‍යාංශවලට අයත් හෝ අමාත්‍යාංශ මගින් යොමු කරනු ලබන හෝ මාධ්‍ය කණ්ඩායම්
    1. ගරු අමාත්‍යවරුන්ගේ අවශ්‍යතාව මත තම අමාත්‍යාංශයට අයත් හෝ අමාත්‍යාංශය මගින් යොමු කරනු ලබන මාධ්‍ය කණ්ඩායම් හෝ පාර්ලිමේන්තුව වෙත එවීම අවශ්‍ය වන අවස්ථාවන්හි දී ඒ සඳහා ඉල්ලීමක් අදාළ අමාත්‍යාංශය මගින් වේත්‍රධාරී වෙත ඉදිරිපත් කළ යුතු වේ. පැමිණෙන අයගේ නම, ජාතික හැදුනුම් පත් අංකය, රැගෙන එනු මාධ්‍ය උපකරණ/ මෙවලම් යනාදී තොරතුරු ද, ඔවුන් පැමිණෙන වාහන අංක සහ ගරු අමාත්‍යතුමා විසින් මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන ස්ථානය යනා දී තොරතුරු ද, එම ඉල්ලීමේ සඳහන් කළ යුතු වේ.
    2. අදාළ මාධ්‍ය කණ්ඩායම්වලට අයත් පුද්ගලයන්, ඔවුන් පැමිණෙන වාහන සහ රැගෙන එන උපකරණ යනාදිය ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලබන බැවින් අදාළ වේලාවට වඩා අවම වශයෙන් විනාඩි 45ක කාලයකට පෙර පාර්ලිමේන්තුවට පැමිණීම මගින් අනවශ්‍ය අපහසුතා ඇතිවීම වලක්වා ගත හැක.
    3. එම උපකරණ රැගෙන, අදාළ ආරක්ෂක පරීක්ෂාවන්ට යටත්ව, කාර්ය මණ්ඩල පිවිසුම ඔස්සේ පමණක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු විය යුතු අතර වේත්‍රධාරී විසින් අවසර දී ඇති ස්ථාන වෙත පමණක් පිවිසිය යුතු වේ. වෙනත් ස්ථාන වෙත පිවිසීමෙන් හා අවසර නොලද ස්ථානයන්හි මාධ්‍ය ආවරණ කටයුතු සිදු කිරීමෙන් සපුරා වැළකිය යුතු වේ. තවද, විශේෂිත අවසරයක් ලද අවස්ථාවන්හි දී හැර පාර්ලිමේන්තු ගැලරි තුළට ද මාධ්‍ය උපකරණ රැගෙන යාම ද, සපුරා තහනම් වේ.
  10. කාරක සභා කාමර වෙන් කර ගැනීම
    1. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මත ස්ථාපිත කාරක සභාසඳහා සහ අදාළ අනෙකුත් ප්‍රමුඛතා වලට ද, කාරක සභා කාමරයක් වෙන්කර දීමේ හැකියාවට ද, යටත්ව ගරු කැබිනට් අමාත්‍යවරයකු හට, කාරක සභා කාමරයක් වෙන් කර ගැනීමේ හැකියාව ඇත.
    2. ගරු අමාත්‍යතුමාගේ අත්සන සහිතව හෝ එතුමන්ගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්ගේ හෝ අතිරේක ලේකම්ගේ හෝ අත්සන සහිතව වේත්‍රධාරී වෙත ඉදිරිපත් කෙරෙන ඉල්ලීම් සඳහා පමණක් ඉහත විධිවිධානවලට යටත්ව, කාරක සභා කාමර වෙන් කරදීමට කටයුතු කරනු ලැබේ.

පෙන්වන්න

පෙන්වන්න

පෙන්වන්න





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks