E   |     |  



මාර්තු 18, 2025

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමතිය

ආංශික අධීක්ෂණ කාරක සභා 4ක සභාපතිධුර ආණ්ඩු පක්ෂයට - 3ක් විපක්ෂයට දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට අදාළව ගෙනෙන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය.පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් ගන්නා ලද තීරණය පරිදි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊට අදාළ යෝජනාව ඊයේ (මාර්තු 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට අදාළ අනුමතිය හිමිවිය. එසේම එම ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිධුර, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර බෙදීයාම පිළිබඳව ද මෙහිදී එකඟත්වය පළවිය.මේ අනුව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන ආංශික අධීක්ෂණ කාරක සභා 4හි සභාපතිධුර ආණ්ඩු පක්ෂයට ලබා දීමට එකඟත්වය පළවිය.එසේම, යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන කාරක සභා ත්‍රිත්වයෙහි සභාපතිධුර විපක්ෂයට ලබාදීමටත් මෙහිදී අනුමතිය හිමිවිය.

මාර්තු 18, 2025

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමතිය

ආංශික අධීක්ෂණ කාරක සභා 4ක සභාපතිධුර ආණ්ඩු පක්ෂයට - 3ක් විපක්ෂයට දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට අදාළව ගෙනෙන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය.පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් ගන්නා ලද තීරණය පරිදි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊට අදාළ යෝජනාව ඊයේ (මාර්තු 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට අදාළ අනුමතිය හිමිවිය. එසේම එම ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිධුර, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර බෙදීයාම පිළිබඳව ද මෙහිදී එකඟත්වය පළවිය.මේ අනුව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන ආංශික අධීක්ෂණ කාරක සභා 4හි සභාපතිධුර ආණ්ඩු පක්ෂයට ලබා දීමට එකඟත්වය පළවිය.එසේම, යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන කාරක සභා ත්‍රිත්වයෙහි සභාපතිධුර විපක්ෂයට ලබාදීමටත් මෙහිදී අනුමතිය හිමිවිය.

මාර්තු 18, 2025

“පාර්ලිමේන්තුවේ කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නීතිමය පදනම පිළිබඳව සොයාබලා එකී නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ මඟ පෙන්වීම පිණිස” පත්කළ පංච පුද්ගල කමිටුව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි

“පාර්ලිමේන්තුවේ කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නීතිමය පදනම පිළිබඳව සොයාබලා එකී නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ මඟ පෙන්වීම පිණිස” පත්කළ පංච පුද්ගල කමිටුව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (මාර්තු 18) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.2025 ජනවාරි 23 වැනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එළඹි තීරණය පරිදි “පාර්ලිමේන්තුවේ කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නීතිමය පදනම පිළිබඳව සොයාබලා එකී නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ මඟ පෙන්වීම පිණිස” ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර 2025.03.15 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එළඹි තීරණය පරිදි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය ද එකී කමිටුවේ සාමාජිකයෙකු ලෙස නම් කළ බවත් ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.ඒ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක , අජිත් පී. පෙරේරා, ඔෂානි උමංගා යන මහත්ම මහත්මීන් නම් කර ඇති බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

මාර්තු 16, 2025

දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 20 ප.ව. 6.00 සිට 8.00 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

පාර්ලිමේන්තුව අප්‍රේල් 8,9 සහ 10 රැස්වීමටත් තීරණය කෙරේබටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව දෙදින විවාදය අප්‍රේල් 10 ඇරඹේ දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 20 වැනිදා, අයවැය කාරක සභා විවාදයෙන් අනතුරුව ප.ව. 6.00 සිට  8.00 දක්වා  පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මාර්තු 15) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කරන ලදී.එසේම පාර්ලිමේන්තුව අප්‍රේල් මස 8, 9 සහ 10 යන දිනවල රැස්වීමට ද මෙහිදී තීරණය වී තිබේ. මේ අනුව අප්‍රේල් 8 වැනි අඟහරුවාදා  පෙ.ව. 9.30 - පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව.  11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.  අනතුරුව ‍ප.ව. 5.30 දක්වා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.අප්‍රේල් 9 වැනි බදාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව. 10.00 - පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව.  11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.  අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව ඇත.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව.  11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.  අනතුරුව පෙ.ව. 11.30 සිට ‍ප.ව. 5.30 දක්වා පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමටත්, දෙදින විවාදයක් ලෙස මේ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.

මාර්තු 15, 2025

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය සඳහා සාමූහික ප්‍රතිඥාව හා ආචාර ධාර්මික වාර්තාකරණය වෙනුවෙන් වූ ඉල්ලීමයි - ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික හිංසනය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී අපරාධ අවම කිරීම පිළිබඳ අපගේ සාමූහික ප්‍රයත්නයේ අසාර්ථකත්වය පිළිබඳව නැවතත් දැඩි සංවාදයකට තුඩු දෙන්නක් බවට පත්ව තිබේ. ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් කාන්තාවට අපගේ සහයෝගීතාවය සහ සංවේදනය ප්‍රකාශ කරන අතරම, වින්දිතයාගේ සමාජ කාණ්ඩය හෝ අනන්‍යතාවය කුමක් වුවද, කාන්තාව පිළිකුලට හා ප්‍රචණ්ඩත්වයට ලක් කරලීමේ සංස්කෘතිය බිඳ දැමීම අපගේ ප්‍රධාන මෙහෙවර විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු.   අපට දිනපතා කාන්තාවන්ට එරෙහිව සිදුවන විවිධ අපරාධයන් පිළිබඳව අසන්නට ලැබේ. මිනීමැරුම්වල සිට ලිංගික හිංසනයන් ගත් කළ රැකියා ස්ථානයේ සහ සයිබර් අවකාශයේ ලිංගික හිංසනය දක්වා පුළුල් පරාසයක් තුළ කාන්තාවට අපරාධ සිදුවෙයි. කාන්තාවන් හිංසනයට පත් වන ලෙස කතාබහ සිදු කරලීම අද වන විට සාමාන්‍ය සිදුවීමක තත්ත්වයට පත්ව ඇති අතර, එය ස්ත්‍රී විරෝධී සංස්කෘතියක් ඇති කරලීමේ විශාල ගැටලුවක් පිළිබඳව පෙන්නුම් කරයි. කාන්තාවන් අවමානුෂිය ලෙස සලකන සංස්කෘතියක අවිභාජ්‍ය කොටසක් වන්නේ, බොහෝවිට සාමාන්‍යකරණය වී ඇති අන්තර්ජාල අපයෝජනය සහ වාචික හිරිහැර බව තේරුම් ගැනීම ඉතා වැදගත්ය. මෙම සිදුවීම ගත් කළ, සමාජයේ සෑම අංශයකින්ම මුලින් ඒ සඳහා ඉතාමත් සංවේදී ප්‍රතිචාරයක් ලැබෙන ලද නමුත් මේ වන විට සුපුරුදු ස්ත්‍රී විරෝධී කතාවක් මඟින් එය අවතක්සේරු කරමින් ඇත. එබැවින්, ප්‍රචණ්ඩත්වයෙන් හා හිරිහැරවලින් මුහුණදුන් කාන්තාවන්ට සහාය වීම සඳහා වන ප්‍රතිසංස්කරණයන් සඳහා අඛණ්ඩව පෙනී සිටින කාන්තාවන් ලෙස, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර මැඩ පැවැත්වීමේ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අප උත්සාහ කරමින් සිටින විටදී වුවද, ඒ පිළිබඳ පොදු සාකච්ඡාවට දායක වීම අපගේ යුතුකමක් ලෙස අපි සලකමු. වින්දිතයාගේ ප්‍රකාශය මාධ්‍යවල පළ කිරීම සහ අපගේ සමාජය තුළ කාන්තාවන් අගතියට පත් කෙරෙන අන්දමේ ප්‍රචණ්ඩකාරී අපරාධයන් පිළිබඳ සංවේදී බවෙහි මඳ බව පිළිබඳව අපි විශේෂයෙන්ම දැඩි කනස්සල්ලට පත්ව සිටින්නෙමු.  නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සහ මාධ්‍ය, ප්‍රචණ්ඩත්වයට සහ හිරිහැරයන්ට ලක් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සංවේදීව හා ඔවුන්ගේ ගරුත්වය රැකෙන පරිදි ක්‍රියා කළ යුතු වන්නේය. බොහෝ අවස්ථාවල දී කාන්තාවන් මෙම සිදුවීම් අදාළ බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසු තම නමට අපකීර්තියක් ඇති වෙතැයි යන බිය නිසා ඒ පිළිබඳව පැමිණිලි කිරීමට පසුබට වේ. එවැනි සිදුවීමකින් පසුව ජීවිතය රැක ගත් සියලුදෙනාටම තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වන අයිතිය සුරක්ෂිත කළ යුතු වන්නේය. බලධාරීන් වෙත  අපරාධවලට එරෙහිව පැමිණිලි කිරීම දිරිමත් කිරීමට නම්, අධිකරණය, පොලිසිය සහ මාධ්‍ය විසින් එවැනි සිදු වීම්වලට මුහුණදුන් කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය සුරැකීම සහ ඔවුන්ගේ යහපැවැත්ම කෙරෙහි ප්‍රමුඛත්වය දිය යුතු වන්නේය. බොහෝ විට මෙවැනි පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් මහා පරිමාණයෙන් වින්දිතයා දෝෂ දර්ශනයට ලක්වීමට හේතු වන අතර, මෙම සිදු වීමේදී ද අපට එය දැක ගත හැකිය. අපරාධයෙන් පසු ඊට ගොදුරු වූ කාන්තාවගේ ක්‍රියා කලාපය හෝ ඇය පිළිබඳ වන විශ්වාසය සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් කරමින් වින්දිතයා පිළිබඳව නොයෙකුත් නිගමනයන්ට එළඹෙන බවක් දක්නට ලැබේ.  මේ හේතුවෙන් කාන්තාවන් ලිංගික හිංසනයන් පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කරයි. එබැවින්, මෙම ප්‍රචණ්ඩත්වයට ලක් කරන ලද කාන්තාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙසත්, ප්‍රචණ්ඩකාරී අපරාධයක් පිළිබඳව ව්‍යාජ න්‍යායන් පැවසීමෙන් සහ ඒවා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත් අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. එවැනි සිදුවීම්වලට මුහුණ දුන් සියලුදෙනා එම කම්පනයනට එකම ආකාරයකින් ප්‍රතිචාර ලබා නොදෙන ලද අතර, කාන්තාවන්ට එරෙහි නිහඬ ප්‍රචණ්ඩත්වයේ තර්ජනයට එරෙහිව සටන් කිරීම අත්‍යවශ්‍ය බව අප මෙහි දී සඳහන් කරනු කැමැත්තෙමු. ඒ සඳහා, අපගේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය එවැනි තත්ත්වයන්ට මුහුණදෙන කාන්තාවන්ගේ සත්‍ය අත්දැකීම් මත කේන්ද්‍රගත කිරීම සිදු විය යුතුය. එබැවින්, කාන්තා හිංසනයන් මර්දනය වෙනුවෙන් සටන් කිරීම සඳහා වන අපගේ ආයතනික ව්‍යුහයන්හි ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා අපගේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට මෙන්ම මාධ්‍යයට ද අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කළ යුතු බව අපගේ ඉල්ලීමයි. කාන්තා හිංසනයන්ට එරෙහි අපරාධ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලීසිය, විනිසුරුවන් සහ මාධ්‍ය සඳහා පැහැදිලි සහ නිශ්චිත ප්‍රමිතීන් ක්‍රියාත්මක කළ යුතුය. අවසන් වශයෙන්, කාන්තා හිංසනයන් මර්දනය කිරීම සඳහා අපගේ නීති ක්‍රමය, මාධ්‍ය සහ පොලීසිය විශේෂ ප්‍රතිසංස්කරණයන්ට ලක් කළ යුතුය. සමාජයක් ලෙස, දිවි ගලවා ගත් කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින්, ඔවුන්ට තවත් පීඩනයක් එක් නොකර, ඒ පිළිබඳ පැමිණිලි කිරීමට හා තමන්ට සිදු වූ අගතියට සාධාරණයක් පතා ඉදිරියට එන කාන්තාවන් අධෛර්යයට පත් නොකොට, ඔවුනට යුක්තිය ඉටු කෙරෙන ප්‍රවාහයකට ආධාර කිරීම අපගේ වගකීම විය යුතු වන්නේය.   1.         ආචාර්ය හරිනි අමරසූරිය, අගමැතිනිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය                2.         හේමාලි වීරසේකර, නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය                  3.         සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය                     4.         නීතීඥ සාගරිකා ගංගානි අතාවුද, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                              5.         ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                  6.         ඔෂානි උමංගා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                                                       7.         ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                                         8.         නීතීඥ නිලන්ති කොට්ටහච්චිගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි   9.         එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                         10.     නිලූෂා ලක්මාලි ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                                          11.     සමන්මලී ගුණසිංහ, පර්ලිමේන්තු මන්ත්‍රීනි                                                             12.     නීතීඥ ජේ. කේ. ඩී. තුෂාරි ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                                      13.     නීතීඥ අනුෂ්කා දර්ශනී තිලකරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                                    14.     ඒ.එම්.එම්. මුතුමැණිකේ රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                        15.     නීතීඥ හසාරා ලියනගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                                         16.     දීප්ති නිරංජනී වාසලගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                                                     17.     නීතීඥ හිරුනි මධුෂා විජේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                                            18.     සාමිවේල් අම්බිකා. පාර්ලිමේන්තු මන්ත්‍රීනි                                                             19.     නීතීඥ ලක්මාලි කාන්චනා හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රීනි                                 20.     නීතීඥ ගීතා රත්න කුමාරි හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි            






සභාවේ කටයුතු




සියල්ල  

මාර්තු

21

පාර්ලිමේන්තු දින දර්ශනය

පුවත් හසුන සඳහා ලියාපදිංචි වන්න

පාර්ලිමේන්තු සිදුවීම්, ව්‍යවස්ථාදායක වර්ධනයන් සහ අදාළ පුවත් පිළිබඳව යාවත්කාලීනව සිටීම






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks