07

E   |     |  


පාර්ලිමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අවශ්‍යතා හසුරුවනු ලබන්නේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසිනි.

පාර්ලිමේන්තුවේ මෙතෙක් පැවති දෙපාර්තමේන්තු හතට තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව එක් කරන ලද්දේ 2004 වර්ෂයේ අග භාගයේදීය. මෙවැනි දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීමේ අදහස ඇති වූයේ, ශ්‍රී ලංකා රජය විසින් පවත්වනු ලැබූ "ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය උදෙසා පාර්ලිමේන්තුව නවීකරණය කිරීමේ" ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව, පාර්ලිමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කටයුතු කළමනාකරණය කිරීමේ වගකීම දෙපාර්තමේන්තුවට පවරනු ලැබූ අතර "ඉ-පාර්ලිමේන්තුව" නම් වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපායමාර්ගයක් ක්‍රියාවට නැංවීමේ කාර්යයෙහි මේ වන විට නියැලී සිටී.

පිළිගත් උපදේශක ආයතනයක් වන "අර්නස්ට් සහ යන්ග්" සමාගම විසින් මුලින් නිර්මාණය කරන ලද "ඉ-පාර්ලිමේන්තු" උපායමාර්ගයේ පැතිකඩ කිහිපයක් අන්තර්ගත වේ: ආයතනික වර්ධනය, අභ්‍යන්තර ක්‍රියාවලි වැඩි දියුණු කිරීම, පාර්ශ්වකරුවන් තෘප්තිමත් කිරීම සහ පිරිවැය සඵලත්වය. පවත්නා සංස්කෘතික හා පරිපාටිමය භාවිතාවන් සහ විකාසනය වන තාක්ෂණික පරිස්ථිතිය හේතුවෙන් මෙම උපායමාර්ගය කිහිපවරක් සංශෝධනය කෙරුණි.

ගෙවුණු වසර කිහිපය තුළ “ඉ-පාර්ලිමේන්තුව” සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තිබේ.

දැක්ම

තොරතුරු පද්ධති මගින් පාර්ශ්වකරුවන් ශක්තිමත් කිරීම

මෙහෙවර

  • ඵලදායී තොරතුරු කළමනාකරණයක් මගින් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ කටයුතුවල කාර්යක්ෂමතාව හා ඵලදායීතාව උසස් මට්ටමකට ගෙන ඒම.
  • පාර්ලිමේන්තු තීරණ හා වැදගත් කාරණා සම්බන්ධ දැනුම සහ තොරතුරු මගින් පොදු ජනතාව සවිබලගැන්වීම.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට උපකාර කරනු වස්, ඔවුන්ට නිවැරදි සහ කාලෝචිත තොරතුරු සැපයීම.

 

මේ දක්වා, සිය දැක්ම යථාර්ථයක් කරගනු පිණිස තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් විවිධාකාර ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවා ඇත.

 

කාර්යයන්

  • පාර්ලිමේන්තුවේ රාජකාරි අවශ්‍යතා හඳුනාගෙන විශ්ලේෂණය කර ඒ සඳහා අවශ්‍ය තොරතුරු පද්ධති සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ස්ථාපනය කිරීම
  • සේවා අඛණ්ඩතාව ලබාදීම සඳහා ජාලය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම
  • සාධ්‍යතා අධ්‍යයන පැවැත්වීම, ව්‍යාපෘති යෝජනා හා තාක්ෂණික ලේඛන පිළියෙල කිරීම
  • ව්‍යාපෘති කළමනාකරණය
  • පාර්ලිමේන්තු වෙබ් අඩවිය, ජංගම යෙදුම සහ අන්තඃජාල බිහිදොර ඇතුළු තොරතුරු පද්ධති පවත්වාගෙන යාම
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට සහය කවුළු සේවාව සැපයීම
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඉල්ලීමක් කළ විට පුහුණුව ලබාදීම
  • අභ්‍යන්තර හා බාහිර තර්ජන වලින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්පත් ආරක්ෂා කිරීම සඳහා නිරන්තර පූර්ව ප්‍රතිචාර ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණ සහ සේවාවන් නඩත්තු කිරීම

 

සේවා

අන්තඃජාල බිහිදොර (iParliament)

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අතර තොරතුරු කළමනාකරණය කරගැනීම සඳහා පාර්ලිමේන්තුව විසින් ආයතනය තුළම සංවර්ධනය කරන ලද වෙබ් අඩවියක් වන අන්තඃජාල බිහිදොරක් නිර්මාණය කරන ලදී. පරිශීලකයන් (ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ මන්ත්‍රීවරුන්) හට සුරක්ෂිත අතථ්‍ය පෞද්ගලික ජාලයක් (VPN) හරහා ස්ථානීය හා දුරස්ථ වශයෙන් බිහිදොරට ප්‍රවේශ විය හැකිය.

මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සවිබල ගැන්වීම සහ සංගෘහිත තොරතුරු විසඳුමක් ලබාදීම මෙම බිහිදොරෙහි ප්‍රධාන අරමුණ වේ.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් අන්තඃජාල බිහිදොර සංකල්පීකරණය, නිර්මාණය හා සංවර්ධනය කරනු ලැබූ අතර, තවත් යෙදුම් හා කාර්යයන් ඇතුළත් කරනු වස් නිරතුරුව යාවත්කාලීන කරනු ලබයි. මේ වන විට එහි යෙදුම් 30 කට වඩා වැඩි ගණනක් ඇතුළත් වේ.

සන්නිවේදන යටිතල පහසුකම්

කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ස්ථායී තොරතුරු හුවමාරුවකට පහසුකම් සැලසීම සඳහා තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මුළුල්ලෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල සේවා සපයනු ලැබේ. අධිවේගී ප්‍රකාශ තන්තු පද්ධතිය, නවීන ස්විච් උපකරණ, රැහැන් රහිත සබඳතා, සුරක්ෂිත දුරස්ථ ප්‍රවේශය, සුරක්ෂිත සත්‍යාපනය සහ අධි අනවසර පිවිසුම් අනාවරණ යාන්ත්‍රණය මෙම සන්නිවේදන යටිතල පහසුකම් අංග අතර වේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුව

වරකට නිලධාරීන් 25 කට වැඩි පිරිසකට පුහුණුව ලබාදීමට සම්පත් ඇති ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානයක් පාර්ලිමේන්තුව සතුය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම නඟාසිටුවා ඒ මඟින් වඩාත් ප්‍රතිඵලදායී අයුරකින් පාර්ලිමේන්තු කටයුතු සඳහා ධනාත්මක දායකත්වයක් ලබාගැනීම පිණිස ඔවුන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුවත්කම හා පුහුණුව නිතර ලබාදෙනු ලැබේ.

වෙබ් අඩවිය

පොදු ජනතාව සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් සමඟ සන්නිවේදනය කිරීමේ සහ පාර්ලිමේන්තු තොරතුරු බෙදා ගැනීමේ අරමුණ ඇතිව 2006 වසරේ දී මුල් වරට පාර්ලිමේන්තු වෙබ් අඩවිය දියත් කරන ලදී. එහි බහු භාෂා සංස්කරණය 2008 වසරේ දී ආරම්භ කළ අතර, අන්තර් පාර්ලි‌මේන්තු සංගමය මඟින් ප්‍රකාශයට පත් කළ මාර්ගෝපදේශවලට අනුකූල නවතම සහ වැඩි දියුණු කළ අංග අඩංගු නවීකරණය කළ සංස්කරණයක් 2013 වසරේ දී දියත් කරන ලදී. 2009, 2010 සහ 2013 යන වර්ෂවල දී LK වසම් ලේඛකාධිකාරය මගින් සංවිධානය කළ තරඟයන්හි දී "රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය" ලෙස සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජංගම යෙදුම

ජංගම යෙදුම් වර්තමානයේ දී මහජනතාව අතර ජනප්‍රිය හා ඵලදායී සන්නිවේදන මාධ්‍යයක් බවට පත්වී තිබේ. මෙවන් පසුබිමක් තුළ, පාර්ලිමේන්තුව විසින් සිය නිල ජංගම යෙදුම 2016 ජනවාරි මාසයේ දී එළිදක්වන ලදී. සභාවේ කටයුතු සජීවී ව හෝ පටිගත කරන ලද ආකාරයෙන් හෝ නැරඹීමේ පහසුකම සමඟ වෙබ් අඩවියෙන් ලබාගන්නා පාර්ලිමේන්තු තොරතුරු ද ජංගම යෙදුම තුළින් ලබා දේ. එය ඇන්ඩ්‍රොයිඩ්, අයිඕඑස් (iOS) සහ වින්ඩෝස් ෆෝන් යන පද්ධති සඳහා නිකුත් කර ඇත.

සහය කවුළු ආධාරය සහ නඩත්තු සේවා

පාර්ලිමේන්තුවේ සියලු තොරතුරු තාක්ෂණ පරිශීලකයන් වෙත කාර්යාල වේලාව තුළ දී සහය කවුළු සේවාව ලබා දේ. සහය කවුළුව අමතා තාක්ෂණික සහය ලබාගැනීම මගින් පරිශීලකයන්ට තමන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගැටලු විසඳා ගත හැකිය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති අනුකූලතාව

තොරතුරුවල රහස්‍යභාවය, පූර්ණත්වය සහ උපයෝජ්‍යතාවය ඉහළ දැමීමේ අරමුණ ඇතිව මනාව ලේඛනගත කරන ලද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තියක් බලාත්මක කර ඇත.

 

සම්පත්

පාර්ලිමේන්තුව තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය - ප්‍රතිලාභ හා පිරිවැය විශ්ලේෂණය
පාර්ලිමේන්තුව තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය - ප්‍රතිලාභ හා පිරිවැය විශ්ලේෂණය (සැකෙවින්)



දෙපාර්තමේන්තු ප්‍රධානී

දුරකථනය

0112776451

ඊ-මේල් ලිපිනය

buddhika_n@parliament.lk




අදාළ සම්පත්

2014-07-01

පාර්ලිමේන්තුව තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය - ප්‍රතිලාභ හා පිරිවැය විශ්ලේෂණය




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks