07

E   |     |  

පාර්ලිමේන්තු රැස්වීමකදී, එදිනට නියමිත ප්‍රධාන වැඩකටයුතු අවසාන වූ විට සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයකුට ඉදිරිපත් කළ හැකිය.

එවැනි සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවකට පැයක කාලයක් වෙන් කරන අතර එය හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණාවක් සම්බන්ධයෙන් විය යුතුය.

සභාව කල් තබන අවස්ථාවේ දී යෝජනාව වෙනුවට ප්‍රශ්න ඇසීමටද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ඇත.

එවැනි යෝජනාවක් හෝ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූල නොවේ නම් ඊට ඉඩ ලබා නොදීමට කථානායකවරයාට හැකිය.

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාද කාල සීමාවේදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් හෝ සභාව කල් තබන අවස්ථාවේ ප‍්‍රශ්න සඳහා මිනිත්තු 30 ක කාලයක් පමණක් වෙන්කරනු ලැබේ.

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරයා විසින් ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා හෝ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා මඟින් ඊට ‌පෙර දින මධ්‍යාහ්න 12.00 ට පෙර පාර්ලි‌මේන්තු‌‌වේ මහ‌ ලේකම්වරයා ‌වෙත ‌අදාළ යෝජනාව ලිඛිතව ඉදිරිපත් කළ යුතු ය.

පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්වරයා විසින් එහි පිටපතක් අදාළ අමාත්‍යාංශය වෙත යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සභානායක ලේකම්වරයා වෙත යොමු කරනු ලැ‌බේ.

කෙ‌සේ වෙතත් එවැනි ‌යෝජනාවක ඇතුළත් විෂය කරුණු අධිකරණයක විනිශ්චයට භාජනය වෙමින් පවතින්නේ නම් ‌හෝ පාර්ලිමේන්තු‌වේ එකම සභාවාර‌යකදී ඒ හා සමාන ‌යෝජනාවක් විවාද කර තිබේ නම් ඊට අවසර ‌දෙනු නොලැබේ.

යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සභාව කල් තබන අවස්ථාවේ ‌යෝජනාවක් ඉදිරිපත් කළ විට ‌වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් එය ස්ථිර කළ යුතු අතර විවාදය අවසාන‌යේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ඊට පිළිතුරු සපයන අතර විවාදයේදී ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය සඳහා මිනිත්තු 30 ක් බැගින් කාලය වෙන් කරනු ලැබේ.

සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පිළිබඳව ඡන්ද විමසීමකට අවස්ථාව ‌නොමැත.

පාර්ලි‌මේන්තු කටයුතු පිළිබඳ කාරක සභා‌වේ එකඟතාව අනුව සාකච්ඡාවට ගැ‌නෙන කල් තැබී‌මේ ‌යෝජනා

දේශපාලන පක්ෂ නායකයන් හෝ ඔවුන්ගේ නි‌යෝජිතයන් විසින් පාර්ලි‌මේන්තු‌ කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණය පරිදි දිනයක් හා වේලාවක් නියම ‌කර ගැනීමෙන් අනතුරුව පැයකට වඩා වැඩි කාලයක හෝ සම්පූර්ණ දිනක විවාදයක් වෙන් කර ගැනීමෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්විය හැකිය.

කල් තැබී‌මේ ‌යෝජනාවල උප‌යෝගිතාවය

පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හදිසි ‌පොදු වැදගත් නිශ්චිත කාරණයක් සම්බන්ධයෙන් කෙටි දැනුම් දීමකින් පාර්ලි‌මේන්තු‌වේත් අදාළ විෂයය භාර අමාත්‍යවරයාගේත් අවධානය ‌යොමු කිරීමට හැකි උපක්‍රමයකි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks