පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පාර්ලිමේන්තුවේ තාවකාලික විරාමයක් වන වාරාවසාන කිරීමක්, මාස තුනකට වඩා දීර්ඝ නොකළ යුතුය. කෙසේවෙතත්, එකී නව ප්‍රකාශයේ දින සිට දින තුනකට නොඅඩු දිනකදී පාර්ලිමේන්තුව කැඳවන්නේ නම්, පාර්ලිමේන්තුව කැඳවීමේ එකී දිනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන වෙනත් ප්‍රකාශයක් මගින් ඉදිරියට ගෙන ආ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (3) වන ඡේදය යටතේ පාර්ලිමේන්තුව වාරාවසාන කරනු ලබන අවස්ථාවකදී, වාරාවසාන කිරීමේ ප්‍රකාශය විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය දැනුම් දිය යුතුය.
(අ) මහජන මන්ත්‍රී මණ්ඩලයේ සම්ප්‍රදාය
ප්‍රකට බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා න්‍යායාචාර්යවරයකු වන අර්ස්කින් මේ විසින් රචිත `Parliamentary Practice’ (පාර්ලිමේන්තු ක්‍රියාවලිය) නම් ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වේ: “පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම කිරීටයේ පරමාධිකාරී ක්‍රියාවකි. රැජිනිය විසින් නියම කරනු ලබන වේලාවට පමණක් පාර්ලිමේන්තුවට සිය සාකච්ඡා ආරම්භ කිරීමට හැකි සේම ඇය කැමැත්තෙන් පසුවන කාලයට ඔබ්බෙන් ඊට සිය කටයුතු පවත්වා ගෙන යා නොහැකිය. එනමුත් සෑම මන්ත්‍රී මණ්ඩලයක් විසින්ම කිරීටයෙන් සහ අනෙක් මන්ත්‍රී මණ්ඩලයෙන් ස්වාධීනව සිය සභාව කල්තැබීමේ අයිතිය භුක්ති විඳී. මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ, සාමාන්‍යයෙන් එක් එක් දිනයේදී සිදුවන කල් තැබීමට පටහැනි ලෙස, කාලීන කල්තැබීමක් තීරණය කරනු ලබන්නේ යෝජනා සම්මතයක් මගිනි”.
24 වන සංස්කරණය තුල අර්ස්කින් මේ තවදුරටත් මෙසේ සඳහන් කරයි: “වාරාවසාන කිරීමක බලපෑම වන්නේ නැවත පාර්ලිමේන්තුව කැඳවනු ලබන තෙක් කාරක සභා ක්‍රියාවලි ඇතුළු සියලු කටයුතු එක්වරම අත්හිටුවීම සහ පාර්ලිමේන්තු රැස්වීම් අවසන් තිරීමයි. මෑතක් වනතුරු, සාමි මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ ඇති මහජන මන්ත්‍රීවරුන් විසින් ගෙන එනු ලබන දෝෂාභියෝග සහ අධිකරණ කටයුතු සහ එක් සැසිවාරයක සිට අනෙක් සැසිවාරය තෙක් අත්හිටවිය හැකි පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ දෙමුහුන් යෝජනා හැර වාරාවසාන කිරීම සිදුවන අවස්ථාව වන විට අවසන්ව නොමැති සෙසු සියලු ක්‍රියාවලි අවලංගු කරනු ලැබේ. මහජන මන්ත්‍රී මණඩලයේ නවීකරණ පිළිබඳ විශේෂ කාරක සභාවේ නිර්දේෂ වල ප්‍රතිඵලයක් ලෙස, ඇතැම් සීමාවන්ට යටත්ව මහජන පනත්කෙටුම්පත්, නියමයක් මගින් එක් සැසිවාරයක සිට තවත් සැසිවාරයක් වෙත රැගෙන යාමට අවසර ලබා දෙනු ලබන ස්ථාවර නියෝගයක් මහජන මන්ත්‍රී වරුන් විසින් සම්මත කරන ලදී. ඇතැම් අවස්ථාවලදී මහජන පනත් කෙටුම්පත් ඉදිරියට රැගෙන යාම සාමිවරුන් විසින්ද අනුමත කොට ඇත.”
කොමිෂන් සභාවක් විසින් (ප්‍රකාශයකට පූර්වයෙහි සිදුවන) හෝ ප්‍රකාශයක් පමණක් මගින් පාර්ලිමේන්තුව වාරාවසාන කරනු ලැබේ. සාමාන්‍ය ක්‍රියාවලියට අනුව, සැසිවාරයක් අවසානයේදී, පාර්ලිමේන්තුව වාරාවසාන කළ යුතු බව රාජකීය කොමිෂන් සභාවේ එක් කොමසාරිස්වරයකු විසින් මන්ත්‍රී මණ්ඩල දෙක වෙතම දැනුම් දීමෙන් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සිදු කරනු ලැබේ.
2004 සිවිල් හදිසි අවස්ථා පනතට අනුව, හදිසිනීති රෙගුලාසි සාදනු ලැබ පාර්ලිමේන්තුව දින පහකට වඩා වැඩි කාලයක් සඳහා වාරාවසාන කොට පවතින විටදී, එම කාල සීමාව තුල නිශ්චිත දිනයකදී පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට රැජිනිය විසින් ප්‍රකාශයක් නිකුත් කළ යුතුය.
(ආ) ඉන්දියානු පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය
එම්. ඒන්. කාවුල් සහ එස්.එල්. ශාක්ඩර් විසින් රචිත ` Practice and Procedure of Parliament ‘ (පී.ඩී.ටී.ආචාරි විසින් සංස්කරණය කරන ලද) ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වේ “ ඉන්දියානු ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 85(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කිරීම වාරාවසාන කිරීම ලෙස හැඳින්වේ. පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සඳහා වන බලතල ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුය. ජනාධිපතිවරයා වෙත උපදෙස් ලබා දීමට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අදහස් ලබා ගත යුතුය. වාරාවසාන කිරීමක් පාර්ලිමේන්තුව රැස්ව සිටින විටදී ද ඇතුළුව ඕනෑම අවස්ථාවක දී සිදු විය හැකිය. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන්, වාරාවසාන කිරීමක් සිදුවන්නේ දින නියමයකින් තොරව පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුවයි.
ඉන්දියාවේ ලොක් සභාව දින නියමයකින් තොරව කල් තැබීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හෝ පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල්තැබීම අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍යවරයා විසින් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත දැනුම් දෙනු ලැබේ.
කථානායකවරයාගේ එකඟත්වය ලද පසු මහ ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ. ජනාධිපතිවරයා විසින් නියමය සිදු කළ පසු, එම නියමය ලේකම් කාර්යාලය වෙත ලද දිනයේදී එය අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබේ. එසේම, ඊට සමගාමීව, ලෝක් සභාව වාරාවසාන කොට ඇති බව මන්ත්‍රීවරුන්හට දන්වමින් බුලටිනයක් මගින් ඡේදයක් නිකුත් කරනු ලැබේ. එයට අමතරව පුවත්පත් නිවේදනයක් නිකුත් කරනු ලැබේ. එම පුවත දැනුම් දෙන ලෙස සමස්ත ඉන්දියන් ගුවන් විදුලි, දූර්දර්ශන් සහ රුපවාහිනි නාලිකා වෙතින් ඉල්ලා සිටිනු ලැබේ.
ඉන්දියාවේ වාරාවසාන කිරීමක් තුලින් සිදුවන්නේ සැසිවාරය නිම වීම පමණි. ලෝක් සභාවේ කටයුතු වලට ඉන් බාධා ඇති නොවේ. එම කටයුතු නිම වනුයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හොත් පමණි.
ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (3) ව්‍යවස්ථාව යටතේ, පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පනත් වාරාවසාන කිරීමකදී කල් ඉකුත් වී අවලංගු වීමෙන් විශේෂයෙන් ආරක්ෂා කොට ඇත. විශේෂ හෝ ඒකාබද්ධ කාරක සභා හමුවේ ඇති පනත් කෙටුම්පත්ද ආරක්ෂා වේ. ක්‍රියාවලි නීති යටතේ දැනටමත් ඉදිරිපත් කොට ඇති සහ පාර්ලිමේන්තුව අභිමුව ඇති යොජනා, යෝජනා සම්මතයන් සහ සංශෝධනයන් කල් ඉකුත් වී අවලංගු නොවන අතර ඒවා ඊළඟ සැසිය දක්වා රැගෙන යනු ලැබේ. කාරක සභාවක් අභිමුව ඇති කවර හෝ කටයුත්තක් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හේතුවෙන් පමණක් කල් ඉකුත්ව අවලංගු නොවන බවට සහ එවන් වාරාවසාන කිරීමක් තිබියදීත් කාරක සභා විසින් ස්වකීය කටයුතු පවත්වා ගෙන යා යුතු බවට නීති සහ ක්‍රියාවලිය විසින් විශේෂයෙන් විධිවිධාන සලස්වා ඇත.
ව්‍යවස්ථානුකූල විධිවිධාන
වාරාවසාන කිරීමක් අතරතුරදී, කථානායකවරයා අඛණ්ඩව සිය කාර්යයන් ඉටුකරන අතර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි නොවූවද ඔවුන් සිය ධූරයේ රැඳී සිටී. වාරාවසාන කිරීමක බලපෑම වන්නේ පාර්ලිමේන්තුව අභිමුව ඇති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභාව අභිමුව ඇති සියලු ක්‍රියාවලි අවලංගු වීමයි. එකම කරුණ හා සම්බන්ධ පනත් කෙටුම්පතක්, යෝජනාවක් හෝ ප්‍රශ්නයක් එම සැසිවාරය තුළම දෙවැනි වතාවට ඉදිරිපත් කළ නොහැකිය. කෙසේ වෙතත්, එය වාරාවසාන කිරීමකින් අනතුරුව එළැඹෙන සැසිවාරය දක්වා ගෙනයා හැකිය.
ඉදිරියේදී ගැනීමට නියමිත සභාවේ කටයුතු
“යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එනු ලැබ, පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයතු නිම කරනු නොලැබ ඇති යම් කාරණා ඇත්තේ ද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේ දී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය.” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 4 වන පරිච්ඡේදයේ සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම ප්‍රතිපාදනය තුළ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා ඉදිරියේදී ගැනීමට නියමිත කටයුතු අහෝසි වීමක් සිදු නොවේ. එහිදී, ඉදිරියට ගැනීමට නියමිත කටයුතු පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වූ වහාම එය පැවති තත්ත්වයේ සිට ඉදිරි කටයුතු සිදු කිරීමට හැකියාව තිබේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආරම්භ වන අවස්ථාවේ න්‍යාය පත්‍රයේ පෙළ ගස්වා තිබෙන සභාවේ කටයුතු පිළිබඳ විෂයයන් අඛණ්ඩව පවත්වාගැනීම අවශ්‍ය වන්නේ නම් ඒවා නැවත ලැයිස්තුගත කළ යුතු වේ.
පාර්ලිමේන්තුවේ කාරක සභා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 114 අනුව තේරීම් කාරක සභාව පත් කළ යුතු අතර , විශේෂ කාර්යයන් සඳහා වන පහත සඳහන් සියලු කාරක සභා පාර්ලිමේන්තුවේ විරාම කාලය හෝ වාර අවසන් කිරීමකදී අහෝසි වේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 124(5), 111(2), සහ 109 අනුව පිළිවෙලින් උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර අන් සියල්ල පාර්ලිමේන්තුවේ සැසිවාරය නැවත ආරම්භ වන අවස්ථාවේ නැවත ස්ථාපිත කිරීමත් කළ යුතු ය.
සභාපති නාමාවලිය
නියෝජ්‍ය කථානායකවරයාගේ හෝ නියෝජ්‍ය කථානායකවරයා පැමිණ නොසිටින අවස්ථාවක දී , නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාගේ ඉල්ලීම මත කාරක සභාවල තාවකාලික සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට මන්ත්‍රීවරයන් සිවු දෙනෙකුට නොඅඩු ගණනකින් සමන්විත සභාපති නාමාවලියක් සෑම සභාවාරයක් ආරම්භයේ දීම කථානායකවරයා විසින් නම් කරනු ලැබිය යුතු ය.
නව සැසිවාරය ආරම්භ කිරීම
පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමක් අවසානයේ දී නව සැසිවාරය ආරම්භ වන අතර එය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබේ. පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරිමටත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2) පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයාට බලතල ඇත්තේ ය.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සැසිවාරයන් ආරම්භ වීම
පාර්ලිමේන්තු වාර්තා අනුව අනාවරණය වනුයේ පාර්ලිමේන්තුව 1947 සිට 60 වරකට වඩා වාරාවසාන කර ඇති බවයි. 1978 සිට සැසිවාර 30 කට වඩා පවත්වනු ලැබ තිබේ. එනම්,
වාරාවසාන කර තිබූ කාල සීමාව තුළ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා විසින් 1958 මැයි 27 දින පාර්ලිමේන්තුව කැඳවන ලදී. ඒ ජනවාර්ගික කෝලාහල පැන නැගුණු බැවින් හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත්කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම සඳහා ය. ඒ අනුව 1958 ජූනි 04 වැනි දින පාර්ලිමේන්තුව රැස්විය. එය සුවිශේෂී අවස්ථාවකි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය
නව සැසිවාරයක් ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අතීතයේ එය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමිනි. එය ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසිනි.
1960 අප්‍රේල් 22 දින ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුව පරාජය වී ඇත. අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා විසින් 1960 අප්‍රේල් 06 වන දින රාජාසන කථාව ඉදිරිපත් කරන ලදී. එයට ස්තුතිය පළ කිරීමේ යෝජනාවට විපක්ෂය විසින් ගෙන එන ලද සංශෝධනයට පක්ෂව ඡන්ද 86 ක් ද විරුද්ධව ඡන්ද 61 ක් ද ලැබුණ අතර මන්ත්‍රීවරු 08 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නැවත වරක් ස්තුති යෝජනාව සංශෝධනය කරමින් ගෙන එන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 93 ක් ද විපක්ෂව ඡන්ද 61 ක් ද ලැබුණ අතර එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.
1978 සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ප්‍රකාශ විවාදයට ලක් කිරීමක් හෝ ඡන්ද විමසීමකට භාජනය කිරීමක් සිදු නොවේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks