E   |     |  

2021-03-10

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට රු. මිලියන 10,000ක මුදලක් - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා

සමෘද්ධිලාභීන් ආදායම්ලාභීන් බවට පත්කිරීම සදහා වන වැඩපිළිවෙළ යටතේ රු. මිලියන 10,000ක මුදලක් සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම සදහා මේ වන විට වෙන්කොට ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා  පවසා සිටියේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදී  මෙම මුදල වෙන්කොට  ඇති බවයි.

එසේම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු රාජ්‍ය සේවයේ අයිතිවාසිකම් ඔවුනට ලබා දීමට කටයුතු කරන බවද  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා  මෙහිදී පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී  අග්‍රාමාත්‍යවරයා විසින් ඉහත ගැටලුවලට විසදුම් ලබාදීමේ ප්‍රගතිය විමසා සිටි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින්   මේ බව පවසා සිටියේය.

සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී නිලධාරීන් සේවක අර්ථසාධක අරමුදල් කොටසක් හෝ සම්පූර්ණ වශයෙන් ඉල්ලා ඇති බැවින් ඒ සම්බන්ධව ඉදිරි තීරණ ගැනීම සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද මෙහිදී මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර්. ආටිගල මහතා අනාවරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මෙහිදී පෙන්වා දුන්නේ සමෘද්ධි දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී නව සේවකයන්ගේ වැටුප් අඩු නොකරන බවට එවකට සහතික වුවද පසුගිය රජය මගින් වැටුප් අඩු කිරීමට කටයුතු කර ඇති බවයි. තවද දෙපාර්තමේන්තුවක් බවට පත්වීමේදී සේවකයන්ගේ  උසස්වීම්වල පවතින ගැටලු විසදීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා විය. ඒඅනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කඩිනමින් විසඳීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

තවද සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සඳහා මුහුණ දීමට අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. එහිදී ගරු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එය වඩාත් විධිමත් ක්‍රමවේදයකට අනුව පමණක් සිදුවිය යුතු බවයි.

එසේම සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩි නොකර ඔවුන් සවිබල ගැන්වීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා වූ අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ කි‍සිසේත්ම දැනට සිටින සමෘද්ධිලාභීන් සංඛ්‍යාව වැඩිනොකරන බවත් කිසිදු ආකාරයකට දේශපාලන මැදිහත්වීමෙන් තොරව මනා විනිවිදබවකින් සමෘද්ධි සහනාධාරය ලබා දීමට  කටයුතු කරන බවත්ය.

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය  ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා , පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් , හර්ෂ ද සිල්වා , ජගත් කුමාර , මහාචාර්ය රංජිත් බණ්ඩාර , සුදත් මංජුල , සහන් ප්‍රදීප් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරමින් , මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරික ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.

 

1 2



සම්බන්ධිත පුවත්

2025-02-16

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.මේ සඳහා අනුමතිය හිමි වූයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් අද (පෙබ. 14)  පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී ය.එසේම මෙහිදී 2021 සහ 2022 යන වර්ෂ සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාවද කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමි විය.මෙම කාරක සභාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරු, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.


2025-02-13

ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා - ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සභාපති

සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක්...උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් - කාරක සභා සභාපති ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය.එම අදහස් පළවූයේ ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය පෙබ. 07 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාද එක්ව සිටියේය.ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව විසඳීම සඳහා තමිල්නාඩුව සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය. ගැටුම් මාර්ගයෙන් තොරව මෙරට ධීවරයින්ට බලපා ඇති මෙම ගැටලුව සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අතර සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා විය. මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, සතොස වෙළඳසැල් ජාලය ඉදිරියේදී පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව එම වෙළඳසැල් ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට හැකි බව පැවසුවේය. ලංකා ධීවර සංස්ථාවේ නිලධාරීහු මෙහිදී අදහස් දක්වමින් සතොස වෙළඳසැල් ජාලය හරහා මාළු අලෙවි කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට බලාපොත්තු වන බව පැවසුහ. ඒ අනුව පරිභෝගිකයාට වඩාත් පහසුවෙන් පිසීමට හැකිවන පරිදි අදාළ මාළු වර්ග ඇසුරුම් කර ලබාදීමට ද සැලසුම් කරන බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.මෙම රැස්වීමේදී දිවයිනපුරා ධීවර කර්මාන්තය ආශ්‍රිතව පවතින විවිධ ගැටලු පිළිබඳව ගරු මන්ත්‍රීවරයන් විසින් අදාළ නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. තහනම් දැල් හා ඩයිනමයිට් භාවිතයෙන් මසුන් ඇල්ලීම , මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත පවතින ගැටලු, මෙරට වරායන් සම්බන්ධව පවතින ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස කාරක සභාව තුළ සාකච්ඡා විය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාතේ පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් යොමුකරමින් අවශ්‍ය ගැටලු විසඳීමට කටයුතු කරන බවත් මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය.මේ අතර 2021 වර්ෂය සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ද කාරක සභාව තුළ සලකා බලා අනුමත කරන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2025-02-13

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ගරු අග්‍රාමාත්‍යවරි‍යගේ ප්‍රධානත්වයෙන් ඉදිරි ක්‍රියාකාරී සැලසුම් පිළිබඳ සාකච්ඡා කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සහ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025.02.07 දින පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙහිදී පළාත් මට්ටමින් 25% ක කාන්තා නියෝජනයක් ලැබෙන ආකාරයෙන් කාන්තා නියෝජනය වැඩි කිරීමේ හැකියාව පිළිබඳව සංසදය විසින් සාකච්ඡා කරන ලදි. ඒ අනුව, ඉදිරි මැතිවරණයේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පවතින නීති සඳහා අවශ්‍ය සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳවද සංසදයේ අවධානය යොමු විය.එසේම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට කාන්තාවන් පත් කිරීම සම්බන්ධයෙන් සහ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටීමට දේශපාලන පක්ෂ සහ පක්ෂ ලේකම්වරුන් හමුවීමට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කළේය.තවද රැකියා ස්ථානයේ ලිංගික හිංසන තුරන් කිරීම සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (SGBV) තුරන් කිරීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.මීට අමතරව මාර්තු 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ සැලසුම් පිළිබඳව ද සංසද‍යේ අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමීන්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලිී ගුණසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ සාගරිකා අතාවුද, (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී. එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, ඒ. එම්. එම්. එම්. රත්වත්තේ, දීප්ති වාසලගේ, නීතිඥ හිරුණි විජේසිංහ, අම්බිකා සාමිවේල් සහ නීතිඥ ලක්මාලි හේමවන්ද්‍ර යන මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


2025-02-07

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඒකාබද්ධව රැස්වෙයි

මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව විධිමත් ලෙස ලබාදීමට පියවර - ශිෂ්‍යාධාර මුදල වැඩිකිරීමටත් යෝජනා…මිලියන 1100 වැය කොට මහපොළ අරමුදලෙන් SLIIT ආයතන ඉදි කිරීම පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකරන බව ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි ගරු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පැවති දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වය යටතේ පවතින රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සමඟ ඒකාබද්ධ රැස්වීමක් ලෙස පසුගියදා (පෙබ. 05) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙහිදී 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 160අ, 162ආ, 161ඇ, 161ඈ, 161ඉ, 161ඊ, 161උ, 161එ, 161ඔ, සහ 161ඕ වගන්ති සමඟ කියවිය යුතු 204 වගන්තිය යටතේ එවකට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ඔක්තෝබර් 22 දිනැති අංක 2407/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සලකා බලනු  ලැබූ අතර  කාරක සභා දෙකේම අනුමතිය ඒ සඳහා හිමි විය.තවද මෙහිදී 2023 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව  සලකා බලනු ලැබූ අතර කාර්ය සාධන වාර්තා ප්‍රමාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව අමාත්‍යවරයා විසින් අවධාරණය කරමින්  මෙම වාර්තාව අනුමත කරන ලදී.මහපොළ භාරකාර අරමුදල අවභාවිතා කොට SLIIT  ආයතනය ඉදි කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් මෙහිදී කරුණු විමසන ලදි.  මේ අනුව රු.මිලියන 1100 වැය කොට SLIIT ආයතනය ඉදි කොට ඇත්තේ මහපොළ භාරකාර අරමුදලට අයත් ඉඩමක බව ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළ අතර පසුගිය කාල වකවානුව තුළ වෝහාරික විගණනයක් කළ බවට සඳහන් වුවද එම වාර්තා සහ තොරතුරු සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නොමැති  බව පැවසීය. මේ නිසා මේ සම්බන්ධයෙන්  නැවත වෝහාරික විගණනයක් සිදු කොට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවට අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.  තවද දේශපාලන තීන්දු තීරණ මත මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 97ක් ලබාගෙන ඉන් රුපියල් මිලියන 37ක් නැවත භාරදී නොමැති බවත් ඒ පිළිබඳව ද  විමර්ශන සිදු කරමින් පවතින  බවත් අමාත්‍යවරයා පැවසීය.විශ්වවිද්යාල ශිෂ්යයන්ට ශිෂ්‍යාධාර ලබා දීමේදී රුපියල් 2650.00 ක මුදලක් මහපොළ භාරකාර අරමුදල මගින් ද රුපියල් 2450.00 ක මුදලක්  විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව මගින් ද  ලබා දෙන බවත් මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා මෙහිදී පැවසීය. එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා  මෙම මුදල් ලබා දෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්  බවත්,  රුපියල් මිලියන 563ක පමණ මුදලක් තවමත් ලැබීමට නියමිතව ඇති බවත් සභාපතිවරයා මෙහිදී තවදුරත් පැවසීය. ඉදිරි වර්ෂ 2-3 තුළදී මහපොළ අරමුදල මගින් ප්‍රතිලාභ ලබාදීමට නම් මහා භාණ්ඩාගාරය මගින් ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලැබීම අත්‍යවශ්‍ය බව මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.තවද මෙහිදී ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කර සිටියේ ගෙවීමට ඇති මහපොළ ශිෂ්‍යධාර හිඟ මුදල් ඉදිරි මාස තුන ඇතුළත ගෙවීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි. එසේම අප්‍රේල් මස සිට මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව විධිමත් ලෙස ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩිකිරීමට ද මේ වන විට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳව ගරු ජනාධිපතිවරයා ඉදිරි අයවැය තුළින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.සතොස සහ සමුපකාර ව්‍යාපාරයට අදාළ ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර  මහජනතාවට වඩාත් කාර්‍යක්ෂම සේවාවක් සැපයිමට සුදුසු  තත්ත්වයකට සතොස සහ සමුපකාර ව්‍යාපාරය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභාව සඳහා ගරු සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා ඇතුළු ගරු මන්ත්‍රීවරයන් ද   වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද  සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks