E   |     |  

2021-03-17

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කාර්යභාරය වඩාත් පුළුල් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය

පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කාර්යභාරය වඩාත් ඵලදායි ලෙස ඉටු කිරීම සඳහා ඒවායේ කටයුතු වඩාත් සංවාදශීලීව පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

මේ අනුව නීති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී  ඒ පිළිබද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මෙන්ම ඔවුන් සමග වඩාත්  සංවාදශීලි හා ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට මෙම උපදේශක කාරක සභා ක්‍රමය හරහා හැකියාව ලැබෙනු ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.

මෙම රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ලේකම් මඩුල්ල වෙනුවෙන් අදහස් දැක්වූ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා  ප්‍රකාශ කර සිටියේ මෙම උපදේශක කාරක සභා, ඒවාට ලැබී ඇති බලතල සහ වපසරිය තුළ මෙතෙක් පැවති  සාම්ප්‍රදායික ක්‍රමය වන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරනු ලබන ජනතා ගැටලුවලට විධායකය මගින් විසදුම් ලබා ගැනීමෙන් ඔබ්බට ගොස් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස ඉදිරියේදී පවත්වාගෙන යාමේ හැකියාව ඇති බවයි.

එසේම විධායකය සහ ව්‍යවස්ථාදායකය සමීපව කටයුතු කරන දෙමුහුන් ආණ්ඩුක්‍රමයක් අප රට තුළ පවතින පසුබිමක ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරු විධායකය සමග මනා සහසම්බන්ධයක් ඇති වීමටත් මෙය හේතුවන බවත් ඒ තුළින් අප පාර්ලිමේන්තුවේ මට්ටම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළට ඔසවා තැබීමට හැකිවන  බවත් ජයතිලක මහතා පෙන්වා දුන්නේය.  

තවද ඇතැම් විෂය කාරණා සම්බන්ධයෙන් කාරක සභාව සාකච්ඡා කරන අවස්ථාවේදී  එම විෂයට අදාළ පාර්ශව කැඳවා නිලධාරීන් සහ මහජන නියෝජිතයන් අතර වඩාත් පුළුල් සංවාදයක් පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සහකාර මහලේකම්වරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට මෙහිදී යෝජනා කර සිටියේය.

වර්තමාන ලෝකයේ වෙනස්කම්වලට අවධානය යොමු කරමින් අමාත්‍ය උපදේශක කාරක සභා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී ගරු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන   රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු මෙන්ම, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, හර්ෂ ද සිල්වා, ජගත් කුමාර, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සුදත් මංජුල, සහන් ප්‍රදීප් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරමින්, මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරික ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.

 

1 2

 



සම්බන්ධිත පුවත්

2025-03-24

උසස් නිලතල පිළිබඳ කාරක සභාව නව තානාපතිවරුන් දෙදෙනෙකුගේ සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ නාමයෝජනා අනුමත කරයි

නව තානාපතිවරුන් දෙදෙනෙකු නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා  වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. ඒ එම කාරක සභාව පසුගියදා  (මාර්තු 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයෙකු පත් කිරීම සඳහා වන නාමයෝජනාවද කාරක සභාව අනුමත කළේය.ඒ අනුව, කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආර්.එම්. මහින්ද දාස රත්නායක මහතා පත්කිරීමටත්,  ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පත් කිරීමටත්  උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දුන්නේය.එක්සත් රාජධානියට අයත් මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. ඩී. නිමල් උපාලි සේනාධීර මහතා පත් කිරීම සඳහා වන  නාමයෝජනාව ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළේය.තවද, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු  ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමයෝජනාවද  උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.ගරු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ  උසස් නිලතල පිළිබඳ කාරක සභාවට සභානායක ගරු අමාත්‍ය බිමල් රත්නායක, ගරු අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  නීතිඥ දයාසිරි ජයසේකර සහ  නීතිඥ චමින්ද්‍රනී කිරිඇල්ල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2025-03-24

“ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම් කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම වැඩි මිල ගණන් ඉදිරිපත් කරලා” - ‘කෝප්’ අනුකාරක සභාවේදී අනාවරණය වෙයි

ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්  මාලාව,  සමීක්ෂණ වර්තාවකින්  අනතුරුව සිදුකළ  බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වාර්තාවක් සභාව සතුව නෑ - ජාතික තරුණ සේවා සභා නිලධාරීන් පවසයි.කැබිනට් තීරණයක් නොසලකා ,දේශපාලන  හේතුන් මත  ගැටලු  සඳහා මුහුණ දුන් නිලධාරීන්ට වන්දි ලබාදුන්  කමිටු 3ක් ගැන පුර්ණ වාර්තාවක්  ලබාදෙන්න - කෝප් අනුකාරක සභාව. ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම් කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති බව කෝප් අනුකාරක සභාවේදී අනාවරණය විය.මෙම කරුණු අනාවරණය වුයේ 2022 සහ  2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2025 පෙබරවාරි 18 සහ 20 යන  දිනවලදී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් වලදී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය පිණිස පත්කළ අනුකාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය මාර්තු 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාවේ තුරග තරඟ පිටියේ පැවති සංගීත ප්‍රසංගය ද ඇතුළත්ව මෙම වැඩසටහන සම්බන්ධයෙන්ද පවතින සියලු වීඩියෝ පට කාරක සභාවට ලබා දෙන ලෙස හිටපු සභාපති පසිඳු ගුණරත්න මහතාට ලබාදුන් නිර්දේශය  පිළිබඳව අනු කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. ඒ අනුව  එම වීඩියෝ පට තමන්ට ලබාදී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එහිදී ලක්ෂ 120ක මුදලක් මේ වෙනුවෙන් අදාළ නිෂ්පාදන ආයතන වෙත ලබාදීම පිළිබඳව කාරක සභාව දීර්ඝව කරුණු විමසීය. ඒ  අවස්ථාවේදී අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස අදාළ සැපයුම වැඩි මුදලකට ලබාගෙන එම සමාගම විසින් තවත් ආයතන ඔස්සේ එය  සිදුකර ඇති බවයි.තවද ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්  මාලාව සමීක්ෂණ වාර්තාවකින්  අනතුරුව  සිදුකළ  බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වර්තාවක් සභාව සතුව නොමැති බව ජාතික තරුණ සේවා සභා නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී අදහස් දැක්වූ කාරක සභා  සභාපතිවරයා ස්මාර්ට් යුත්  වැඩසටහන් මාලාව  තුළ  විශාල  මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර පුර්ණ වාර්තාවක් මාස 3ක් තුළ  කාරක සභාවට යොමු කරන ලෙසත්, ජාතික තරුණ සේවා සභාව මගින් ද පරීක්ෂණයක් සිදුකර නිත්‍යානුකූල  පියවරයන්  ගැනීමට  කටයුතු කරන ලෙසත්  නිලධාරීන්ට උපදෙස්  ලබාදුන්නේය.එමෙන්ම දේශපාලන  හේතුන් මත  ගැටලු  සඳහා මුහුණ දුන් නිලධාරීන් 40 දෙනෙකු  සඳහා වන්දි ලබාදීමට,  විශ්‍රාමික නිලධාරීන්ගෙන් යුත් කමිටුවක්  පත් කරන ලෙස ලබා දී තිබු  කැබිනට් තීරණයක් නොසලකා හරිමින් සභාව මගින් වෙනම කමිටු 3ක් පත්කර වන්දි  ලබාදීම පිළිබඳව ද කාරක සභාවේදී  සාකච්ජා විය. ඒ අනුව මෙලෙස වන්දි ලබාගත් නිලධාරීන්,ලබා දුන් වන්දි මුදල්  ප්‍රමාණයන්, මෙම උසස්වීම් ලබා දුන් දිනයන් ,ගෙවීම් කළ දිනයන් ,අනුමතිය ලබා දුන් දිනයන්  හා තීන්දු ලබා දුන් නිලධාරීන් පිළිබඳව පුර්ණ වාර්තාවක්   සති  2ක්  තුළ ලබාදීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.මේ අතර සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය (NYSCO) මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමාවක්  පිළිබඳව  ලැබුණු පැමිණිල්ලක්  කාරක සභාවේදී  දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි. එහිදී අනාවරණය වුයේ  NYSCO මගින් ක්‍රියාත්මක කරන එම ඩිප්ලෝමාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සම්බන්ධයක් නොමැති බවය. මෙහිදී  අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා NYSCO ආයතනය  වර්තමානය වනවිට තරුණ සේවා සභාවේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව පසුවේය. තවද  NYSCO ආයතනයේ මහා සභාවේ සාමාන්‍යාධිකාරිවරයා තෝරාගැනීමේ වයස අවුරුදු 35ක් ලෙස පැවතියද  එම වයස් සීමාව මේ වනවිට  අවුරුදු 50 දක්වා ඉහළ දමා  ඇති බව  ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුහ. ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ නාමය මෙ‍ෙලස අවභාවිත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මේ  පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් විමර්ශනයක් සිදුකර අවශ්‍ය තීරණ ගැනීමට  උපදෙස් දුන්නේය. එමෙන්ම  NYSCO හි  ප්‍රධාන නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට ද සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය. තවද මේ සම්බන්ධව කාරක සභාවේ නිර්දේශ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට යොමු කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.තවද ජාතික තරුණ සේවා සභාවේ  සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගමේ  වාර්ෂික වාර්තා සහ  මුල්‍ය වාර්තා නියමිත කාල රාමු තුලදී  පාර්ලිමේන්තුවට සභාගත කිරීම පිළිබඳව මෙන්ම විගණන හා කළමනාකරණ කමිටු නිසි පරිදි පැවැත්වීම පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ජගත් මනුවර්ණ, අසිත නිරෝෂණ එගොඩ විතාන,  නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද විගණකාධිපති  ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා  ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ.


2025-03-24

එන්ජින් ධාරිතාවය 201 සිට 450 කාණ්ඩයේ යතුරු පැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කර තිබීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 78.15ක අලාභයක් - ‘කෝපා’ කමිටුවේදී අනාවරණය වෙයි

පසුගිය කෝපා කමිටු නියෝග පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විගණන නිරීක්ෂණ 25 සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිගත නොහැකියි. ස්වාධීන කණ්ඩායමක් යොදවා නැවත විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න - කෝපා කමිටුවෙන් නිර්දේශයක්.භාවිතයට නොගත් හිස් අංක සඳහා වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබීම හේතුවෙන් රජයට මිලියන 6.2ක අලාභයක් - කෝපා කමිටුවේදී අනාවරණය වෙයිඅවලංගු කරන ලද විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක සඳහා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රුපියල් මිලියන 122ක පාඩුවක් - විගණකාධිපතිඑන්ජින් ධාරිතාවය 201 සිට 450 කාණ්ඩයේ යතුරු පැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කර තිබීම හේතුවෙන් රජයට  රුපියල් මිලියන 78.15ක අලාභයක් සිදුව තිබෙන අතර  කැබිනට් අනුමතියකින් තොරව හා ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය ලිපිලේඛන නොමැතිව යතුරුපැදි 3088 ක්  ලියාපදිංචි කර ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණය විය.මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 2025.03.10 දින  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට කැඳවා තිබුනද අදාළ නිලධාරීන්  නිසි සුදානමකින් නොපැමිණීම හේතුවෙන් නැවත හරවා යවනු ලැබ තිබුණි.තවද,  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 වසරේ පැවති කෝපා කමිටු රැස්වීම්වලදී ලබාදුන් නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් විමසා සිටින ලදි.  මෙහිදී රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධවීමට ප්‍රථම, සිදුවූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳ සිදුකළ පරීක්ෂණ හා එම කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගත් විනය ක්‍රියාමාර්ග ඇතුළු වර්තමාන තත්ත්වය සඳහන් වාර්තාව දීර්ඝ වශයෙන් සකච්ඡාවට ගනු ලැබීය.මෙහිදී දෙපාර්තමේන්තුව විසින් අදාළ නිලධාරීන්ට එරෙහිව කිසිඳු විනය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන් ද කිසිසේත්ම සැහීමකට පත්විය නොහැකි බව අවධාරණය කරන ලදී. ඒ අනුව මේ සම්බන්ධයෙන් නොපමාව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඊට අදාළ විමර්ශනය ස්වාධින නිලධාරීන් කණ්ඩායමක් මගින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසටත් සභාපතිවරයා නිර්දේශ කළේය.පුර්ව වාහන ලියාපදිංචි අංක යටතේ පද්ධති ගතවූ චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද වාහන වල එන්ජින් අංක හා චැසි අංක ඇතුළත් කර, වංචනික මෝටර් වාහන ලියාපදිංචි සහතික නිකුත් කර තිබීම පිළිබඳවද කෝපා කමිටුව අවධානය යොමු කරනු ලැබීය. එහිදී  රුපියල් බිලියන 1.2ක මුදලක් රජයට පාඩු වී තිබෙන බවට අනාවරණය විය.තවද, භාවිතයට නොගත් හිස් අංක සඳහා වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබීම හේතුවෙන් රජයට මිලියන 6.2ක් ද, විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක සඳහා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රුපියල් මිලියන 122ක පාඩුවක් ද සිදුව ඇති බවත්  මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් විය යුතු බවත් විගණකාධිපතිවරයා අවධාරණය කරන ලදී.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති දුෂණ, වංචා සහ අක්‍රමිකතා විමසා බැලීමෙන් අනතරුව මීට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම දෙපාර්තමේන්තුව මාසිකව කාරක සභාව හමුවට කැඳවා විමසීම් සිදුකිරීමටත් කාරක සභාව විසින් නිර්දේශ කරන  ලදී. තවද, මෙහිදී සිදුව තිබෙන අපරාධමය ක්‍රියාවන්  සම්බන්ධයෙන් අදාළ නිතිය බලාත්මක කරන ආයතන හරහා නිතීය ක්‍රියාත්මක කිරීමටද  කාරක සභාව විසින් නිර්දේශ  කරන ලදී .මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන සුන්දරලිංගම් ප්‍රදීප්, නලින් හේවගේ, ජේ.සී. අලවතුවල, රෝහිත අබේගුණවර්ධන, හෙක්ටර් අප්පුහාමි, කවීන්දිරන් කෝඩීස්වරන්, මංජුල සුරවීර ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, සුසන්ත කුමාර නවරත්න, චන්දන සූරියආරච්චි, (වෛද්‍ය) ජනක සේනාරත්න, චානක මාදුගොඩ, ටී.කේ. ජයසුන්දර, දිනිඳු සමන් සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.


2025-03-24

පාර්ලිමේන්තු කාරක සභා වලින් දෙනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව පළමු වරට රැස්වෙයි

‘කෝප්’ , ‘කෝපා’ ඇතුළු කාරක සභා 4ක ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ සෙවීමට ප්‍රමුඛත්වය පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ, අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව  පසුගිය මාර්තු 21 වන දා පළමුවරට, එහි සභාපති  ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.ඒ අනුව  කරක සභාව මගින්  ප්‍රමුඛතාවය ලබාදී සමාලෝචනය කළ යුතු, ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ මොනවාද යන්න පිළිබඳව  සාකච්ඡා කෙරිණි. එහිදී නව වැනි පාර්ලිමේන්තුවේ ලබාදුන් කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම් සොයා බැලීම කෙරෙහි  කාරක සහාවේ අවධානය යොමු විය.ඒ අතරින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (CoPE), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (CoPA) , රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CopF), සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව යන කාරක සභා හතරේ ක්‍රියාත්මක නොවුණු කාරක සභා  නිර්දේශ වලට ප්‍රමුඛතාව ලබා දී  ඒවා සමාලෝචනය කිරීමට  කාරක සභාව විසින් තීරණය කරන ලදී.ඒ අනුව අදාළ වග කිවයුතු නිලධාරීන් හා සම්බන්ධ වෙමින් මෙම කාරක සභාවල ක්‍රියාත්මක නොවුණු  කාරක සභා නිර්දේශ කඩිනමින්  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා පැවසුවේය.මෙම රැස්වීම සඳහා  ගරු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් පී. පෙරේරා, ඔෂානි උමංගා යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks