E   |     |  

2021-08-06

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

කොවිඩ් තත්ත්වය නිසා ප්‍රමාද වී ඇති කොරියානු රැකියා අවස්ථා ලබා දීම සඳහා කඩිනමින් කටයුතු කරනවා - විදේශ කටයුතු අමාත්‍ය ‍දිනේෂ් ගුණවර්ධන මහතා

පවතින කොවිඩ් තත්ත්වය මත ප්‍රමාදවී ඇති  කොරියා‍නු රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීම කඩිනම් කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බව විදේශ අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා (04) පාර්ලිමේන්න්තුවේ පැවති විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කළ බවත් ශ්‍රී ලාංකිකයන්හට කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා කොරියානු තානාපතිවරයා විශේෂ යෝජනාවක් කළ බවත් අමාත්‍යවරයා පැවසීය. එහෙත් පවතින කොවිඩ් තත්ත්වය තුළ මේ කටයුතු ප්‍රමාද වී ඇති බැවින් මේ සඳහා දැනටමත් අදාළ සියලු පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමිණි ව‍ලේබොඩ මහතා විසින් කොරියාවේ සේවය සඳහා මේ වන විට ශ්‍රී ලාංකිකයන් සඳහා අවස්ථාව ඇති බැවින් මේ සඳහා වැඩපිළිවෙලක් සකස් විය යුතු බවට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

කාරක සභාවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පෙන්වා දුන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ දැනට සම්මත වී ඇති විදේශ මෙහෙයුම් පනත මගින් එරට යුධ සෙබලුන්  විදේශ ර‍ටවලදී  වසර 05කට ඉහතදී සිදුකරන ලද යුධ අපරාධවලින් නිදහස්කොට ඇති බවයි.  එවැනි පසුබිමක  ශ්‍රී ලාංකේය හමුදාව සිය මවුබිමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියදී පවා මානව හිමිකම් සම්බන්ධව චෝදනා නැගීම යුක්ති සහගත නොවන බැවින් මෙරට හමුදාව සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් පිළිබඳ සළකා බලන ලෙස මන්ත්‍රීවරයා  ඉල්ලා සිටියේය. මානව හිමිකම් යන කාරණය ජාතික රාජ්‍යයන්ගේ ස්වාධීනත්වයට එරෙහිව යොදා ගැනීමට එරෙහිව හඬ නැගිය යුතු බවත් පෙන්වා දුන් ඔහු මානුෂීය මෙහෙයු‍ම දියත් කරමින් ලෝකයටම ආදර්ශයක් සැපයූ  මෙරට හමුදාව පිළිබඳවත් ස්ථාවරයක් ලෝකයට ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
   
මෙහිදී අදහස් දක්වමින් විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශකර සිටියේ මේ පිළිබඳ කරුණු අධ්‍යයනය කරමින් යන බවයි. මෙරට උතුරු නැගෙනහිර ජනතාවට ඔවුන්ගේ ඉඩම් නැවත පවරා දීම ඇතුළු කටයුතු හැකි උපරිමයෙන් සිදුකරන බැවින් මේ සියලු කාරණා පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමටද කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ මේ පිළිබඳව පසුගිය ජිනීවා මානව හිමිකම් සැසියේදී ද ශ්‍රී ලංකාව පාර්ශවයෙන් අදහස් දැක්වූ බවයි. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක්ද පත්කළ බවත් එමගින් මේ පිළිබඳව සාක්ෂි එක්රැස් කිරීම සිදුකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහි අතුරු වාර්තාවක් මේ වන විට  ජනාධිපතිවරයාට භාර දී ඇති බවත් මේ පිළිබඳව මෙරට සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී  චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේ කොවිඩ් තත්ත්වය තුළ බොහෝ රටවල් ලංකාව “රතු රටක්“ ලෙස හදුන්වා ඇති බැවින්  ලංකාව කෙරෙහි මෙම ආකල්පය වෙනස් කිරීමට වෙන වෙනම අදාළ රටවල් සමග සම්බන්ධතා පැවැත්විය යුතු බවයි.  එසේම ඉන්දියාවේ ශ්‍රී ලාංකේය මහ කොමසාරිස්වරයෙක් පත් කිරීම වසර දෙකක සිට ප්‍රමාදවී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. මෙහිදී රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසා සිටියේ මේ සඳහා උපායමාර්ගික වැඩපිළිවෙලක් අදාළ පාර්ශවයන් සමග සකස්කර ඇති බවයි. ඇතැම් රටවල පවතින තත්ත්වය සමග මෙය ප්‍රායෝගිකව අසීරු වුවද මේ සඳහා සියලු පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිළි කළේය. එසේම ඉන්දියාව සඳහා මහ කොමසාරිස්වරයෙකු මෙම මස 15 වනදා වැඩ බාර ගන්නා බවද මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාසමානික්කම් මහතා පෙන්වා දුන්නේ විදේශ කටයුතුවලට අදාළ මහජනතාවගේ  ගැටලු බොහෝමයක් මහජන නියෝජිතයන්ට පැමිණෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් ඒ සඳහා සම්බන්ධීකරණ නිලධාරි‍වරයෙක් පත් කරන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

තමිල්නාඩුවේ රාමේශ්වරන් සහ තලෙයි මන්නාරම අතර තොටුපළ සේවාවක් ආරම්භ කිරීම පිළිබඳවද රාසමානික්කම් මහතා විමසා සිටි අතර මෙහිදී විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියේ ඉන්දියාව පාර්ශවයෙන් මීට කැමැත්ත පළවී තිබුණද ආරක්ෂක අමාත්‍යාංශය සහ වරාය අමාත්‍යාංශය මේ පිළිබඳව අවසාන තීරණයකට නොපැමිණ ඇති බවයි.

තවද විදේශ සේවා විභාග පැවැත්වීම  ප්‍රමාදවී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා පෙන්වා දුන්නේය. පවතින කොවිඩ් තත්ත්වය තුළ විභාගය පැවැත්වීම ප්‍රමාද වී ඇති බවත්  විභාග දෙපාර්තමේන්තුව  ඉදිරියේදී මේ සඳහා කඩිනමින් කටයුතු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය. අවසන් වරට මෙම විභාගය පවත්වා ඇත්තේ 2018 වසරේදී බවත් මේ වන විට නිලධාරීන්ගේද පුරප්පාඩු පවතින බවත් මෙහිදී අනාවරණය විය. එබැවින්   විභාග දෙපාර්තමේන්තුව මගින් විභාගය පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කොට ඇති බවත් ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ පවත්වා අදාළ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් රාසමානික්කම්, ගාමිණී වලේබොඩ, ආචාර්ය සුරේන් රාඝවන්, ඩිලාන් පෙරේරා , යදාමිණි ගුණවර්ධන සහ සුදත් මංජුල යන මහත්වරුද විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මේ අවස්ථාවට සහභාගී වූ අතර අනෙකුත් නිලධාරීහු  මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ විය.

 

1 2



සම්බන්ධිත පුවත්

2025-10-29

ශ්‍රී ලංකාවේ තේ, කෝපි සහ දුම්කොළ වගාව සංවර්ධනය කිරීම පිළිබඳ චීන දූත පිරිසක් සමඟ සාකච්ඡා

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (ඔක්. 24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.කෘෂිකර්ම හා පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම හමුවේදී තේ, කෝපි සහ දුම්කොළ වගා ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ අමාත්‍යාංශ මට්ටමින් මූලික සාකච්ඡාවක් දැනටමත් පවත්වා ඇති බවත්, මෙම හමුව මගින් මෙම දූත පිරිස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙම ක්ෂේත්‍ර සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කිරීම අරමුණු කළ බවත්ය. එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට විවිධ අවධීන්හිදී චීනයෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගය අගය කළ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය. තවද මෙවැනි සම්බන්ධතා දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණයට හා පුළුල් කිරීමටත් දායක වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.තේ, කෝපි සහ දුම්කොළ කර්මාන්ත සංවර්ධනය පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කරගත් අතර, නවීන තාක්ෂණික යෙදුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. අඩුවීගෙන යන ශ්‍රම බලකාය හේතුවෙන් පැන නගින අභියෝග ජය ගැනීමටත්, තේ වගාවේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමටත් නව තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා විය. එසේම පසෙහි සාරවත් බව වැඩි දියුණු කිරීමට සහ බෝග අස්වැන්න වැඩි කිරීමට හතරවන පරම්පරාවේ පොහොර (fourth-generation fertilizers) භාවිත කරීම යෝග්‍ය බව චීන දූත පිරිස යෝජනා කළේය.කෝපි වගාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය පසුගිය දශකය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මෙහිදී සඳහන් වූ අතර කෝපි වගාවන් සඳහා ඉඩම් වෙන් කිරීම පුළුල් කිරීමේ අවශ්‍යතාවයද සාකච්ඡා කරන ලදී. දැනට හෙක්ටයාර් 5,000 කට අධික ප්‍රමාණයක කෝපි වගා කරන බවත්, ඉදිරි වසර දෙක තුළ එය හෙක්ටයාර් 10,000 දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර, දුම්කොළ අමුද්‍රව්‍ය වෙනුවට වෙළඳපොළට සැකසූ අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශ විය හැකි බවද මෙහිදී මන්ත්‍රීවරු සඳහන් කළහ. එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය තවමත් කුඩා ප්‍රමාණයේ කර්මාන්තයක් ලෙස පවතින බවත්, කර්මාන්ත ශාලා කේන්ද්‍ර කරගත් මහා පරිමාණ කර්මාන්තයක් ලෙස එය සංවර්ධනය කිරීමේ වැදගත්කමත් චීන නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.මෙම රැස්වීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, චීන නියෝජිත පිරිස සහ පාර්ලිමේන්තු සහ අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වූහ.


2025-10-29

වයඹ පළාත් සභාව ‘කෝපා’ කමිටුව හමුවට කැඳවයි...

සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් ‘කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය’ තෝරාගෙන -  ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගෙනත් නෑ - කෝපා කමිටුව ප්‍රශ්න කරයි. වයඹ පළාත් සභාව සහ කුරුණෑගල මහනගර සභාව එකාබද්ධව සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා ලංසු කැඳවා කොන්ත්‍රාත්කරුවෙකු සමඟ ගිවිසුම් ගත වුවද, ඒ සම්බන්ධයෙන් පවත්නා අධීක්ෂණ කටයුත්තක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නැවතී ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණ විය. මෙවැනි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ප්‍රථම, ශක්‍යතා අධ්‍යන  වාර්තාවක් ලබාගත යුතු වුවත් එය ලබාගෙන නොමැති බවත් මෙහිදී හෙළි විය. තවද, විශේෂිත ස්වරූපයේ ඉදිකිරීමක් නොවන සයමහල් සමාන්‍ය කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෝරාගෙන තිබීම ගැටලු සහගත බව ද කෝපා කමිටුව විසින් අවධාරණය කරන ලදී.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ වයඹ පළාත් සභාවේ 2023, 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2025.10.23 වන දින රැස්වී  අදාළ නිලධාරින්  කැඳවූ අවස්ථාවේදීය.ඒ අනුව, මෙම ඉදිකිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට නැවත කැඳවීමක් කරනු ලබන බවත්, මාසයක්  ඇතුළත මේ ගොඩනැගිල්ලේ ව්‍යාපෘතියට අදාළ නිර්දේශ, ප්‍රසම්පාදන, තාක්ෂණික, කමිටු අදාළ සියලු වාර්තා සහ ලේඛන විගණකාධිපති වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.තවද, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා හාල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති වෙත ලබා දී තිබෙන ණය මුදල් සහ ප්‍රමාද ගාස්තු අය කර ගැනීම සම්බන්ධයෙන්ද විමසා සිටි අතර, මෙම මුදල් අය කරගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින වකවානු සමඟ දෙමසක් ඇතුළත කෝපා කමිටුවට ලබා දෙන ලෙසට  නිර්දේශ කෙරිණි.පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට රජයේ ඉඩම් පිළිබඳව විධිමත් ලේඛනයක් සකස් කරන ලෙසට නිර්දේශ කර තිබුනද අදාළ ලේඛන මගින් රජයේ ඉඩම් සියල්ල හඳුනාගැනීම, දීර්ඝකාලීන බදු ලබාදීමට ඇති ඉඩම් සඳහා අනුමතිය ලබාදී ඇති හා නොමැති, හිඟ බදු වාරික ලැබීම යනාදී විස්තර ලබා ගත හැකි පරිදි ලේඛන පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් කෝපා කමිටුව කරණු විමසා සිටියේය. නිලධාරීන් ලෙස මැලි නොවී රජයට අයවිය යුතු මුදල් අය කරගැනීමට කටයුතු කළ යුතු බවත්  ඒ සඳහා කෝපා කමිටුව අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් කමිටුව විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ඒ අනුව, මේ වර්ෂය අවසන් වන විට එකතු කිරීමට නියමිත මුලු මුදල සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසට නිර්දේශ කරනු ලැබීය. තවද, අධීක්ෂණ කටයුතු හේතුවෙන් රු. මිලියන 85 පමණ වන අය කර ගත නොහැකි බදු මුදලක් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කමිටුවට යොමු කරන ලෙසත් කෝපා කමිටුව විසින් මෙහිදී නිර්දේශ කරන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද සෙනරත්, මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී.කේ. ජයසුන්දර, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ සාගරිකා අතාවුද,  සුනිල් රත්නසිරි, සහභාගී විය.


2025-10-27

අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍යයි - ලෝක බැංකු නියෝජිතයින් පවසයි

"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ  නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය  ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම්  ලබාදීමට සුදානම් බවද ඔවුහු  ප්‍රකාශ කළහ.මේ පිළිබඳ  අදහස් පළවුයේ "අස්වැසුම වැඩසටහන" පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ  සාමාජික  ගරු  මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් ගරු මන්ත්‍රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා (ඔක්. 22) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධව පැවැත්වූ රැස්වීමේදීය.ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ  සහ  ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීම සඳහා ලෝක බැංකුවේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සෙස්කා ලමන්නා (Francesca Lamanna) මහත්මිය හා ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ  ශ්‍රීනිවාස් වරදන් (Srinivas Varadan) යන මහත්ම මහත්මීහු  ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.මෙහිදී කරුණු දක්වමින් ලෝක බැංකු නියෝජිත පිරිස සමාජ ආරක්ෂණය සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම ඔස්සේ  සැබෑ ලෙසම  දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින  පිරිස් හා පවුල් හඳුනාගත හැකි බව පැවැසුහ. සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියකට පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කළ  පමණින් ඔවුන් අස්වැසුම හෝ අදාළ වෙනත් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලත් පිරිසක් නොවන බවත්, එම ඇතුළත් කර ඇති දත්ත පරික්ෂා කර බලා අදාළ ප්‍රතිලාභ අවශ්‍ය පිරිස් නිවැරදිව හඳුනාගැනීම සිදු කළ හැකි බව එම නියෝජිත පිරිස අදහස් දක්වමින් අවධාරණය කළහ. එමෙන්ම  මෙම සමාජ ආරක්ෂණ පද්ධතිය රටකට ඵලදායී ආයෝජනයක් බවත් ඒ හේතුවෙන් එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයද ඔවුහු තවදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  "අස්වැසුම" ප්‍රතිලාභ ලබාදීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව අදහස් දැක්වූහ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් ග්‍රාමීය කමිටුවක් මගින්  තෝරා ගැනීමටත්, තෝරාගත්  ප්‍රතිලාභීන්ගේ  නම් අදාළ  ග්‍රාමය තුළ  ප්‍රදර්ශනය කිරීම තුළින්  මෙහි පවතින විනිවිද භාවය  තහවුරු කල හැකි බව ගරු මන්ත්‍රීවරයන් අදහස් දක්වමින් පැවසුහ. මෙහිදී අදහස් දක්වමින් " අස්වැසුම " ක්‍රියාත්මක කරන නිලධාරීහු ,ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්වරුන්ට මෙම වැඩසටහන පිළිබඳව  ප්‍රමාණවත් තොරතුරු නොලැබීම මත යම් බාධාවන් මතුව තිබු බවත් වර්තමානය වන විට ඔවුන්ගේ භූමිකව පිළිබඳව නිසි ලෙස දැනුවත් කරමින්  වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය සහාය  ඔවුන්ගෙන් ලබාගන්නා බවත් පැවසුහ. මේ අවස්ථාව සඳහා  ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ලෝක බැංකුවේ  උපදේශක ශාලිකා සුබසිංහ මහත්මිය ඇතුළු  මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. 


2025-10-24

2026 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (ඔක්. 23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීහු 2026 වර්ෂට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව කරුණු කාරක සභාවට දැනුම් දුන්හ. අදාළ කරුණු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව විසින් මෙම අනුමතිය ලබා දෙන ලදී.  2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks