පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-11-26
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධ ගැටළුව නිරාකරණය සඳහා වූ කැබිනට් අනු කමිටු වාර්තාව අනුව, අග්‍රාමාත්‍යතුමා, ගරු මුදල් අමාත්‍යතුමා හා ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා මෙවර අයවැය ලේඛනයට අතිරේක රුපියල් මිලියන 31ක් ඇතුළත් කොට ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පසුගියදා (24) රැස්වූ අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.
එමෙන්ම, උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ z score අගය මේ වන විට නිකුත් කර ඇති බව නිවේදනය කළ අමාත්‍යවරයා ගුරු විදුහල්පති වැටුප් විෂමතා අර්බුදය පවතින අතරතුර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ප්‍රතිඵල නිකුත් කිරිමට පැවති අවහිරතා ඉවත්ව ඇති බවද සඳහන් කළේය.
එයට අමතරව පැවති කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීම සිදුවූ අ.පො.ස. (උසස් පෙළ), 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අදාළ දින මේ වන විට තීරණ කොට ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව 2022 ජනවාරි මස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමටත්, පෙබවාරී මස පළමු සතියේදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වීමටත්, මැයි මස 23 වැනිදා අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පැවැත්වීමටත් මේ වන විට කටයුතු සූදානම් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත්කළ තාක්ෂණික කමිටුවේ වාර්තාව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදේශක කාරක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දැනට පාසල් විෂය මාලාව තුළ 6 වැනි ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයක්ව පවතින පුරවැසි අධ්‍යාපනය විෂය මෙම ප්‍රතිසංස්කරණ වලින් පසුව නීතිය සහ පුරවැසි අධ්‍යාපනය ලෙස වෙනස් කිරීමට යෝජනා කෙරෙන බවයි.
මෙම තාක්ෂණික කමිටු වාර්තාවට අනුව නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම මඟින් දරුවන් තුල නීතිය පිළිබඳ දැනිමක් ඇති කිරීම, නීතියට අවනත නොවීමේ විපාක හා දඬුවම් ගැන දැනුම්වත්භාවයක් ඇති කිරීම, නීතියෙන් ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් ලබා දීම, නීති සම්පාදනය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ගැන අවබෝධයක් ලබා දීම, ශිෂ්ට සම්පන්න සමාජයක නීතියෙන් තහවුරු කර ඇති යුතුකම් සහ වගකීම් ගැන අවබෝධයක් ලබාදීම ආදී කුසලතා වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
අපේක්ෂිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාලව පූර්ව ළමා වියේ සිට උසස් පෙළ දක්වා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෘත්තීය අධ්‍යපනයට අදාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ උසස් අධ්‍යාපනයට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වශයෙන් කොටස් තුනක් ඔස්සේ සකසන ලද ප්‍රතිපත්ති රාමුවට අදාල අවසාන වාර්තාව 2020 අගෝස්තු මාසයේදී නිකුත් කොට ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. එහි සාමාන්‍ය අධ්‍යපනයට අදාළව ඕනෑම අයෙකුට අදහස් දැක්විය හැකි ඩිජිටල් වේදිකාවක් ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 28 වැනිදා ප්‍රකාශයට පත් කළ බවද හෙතෙම සඳහන් කළේය. ඒ සඳහා ලැබුණු අදහස් හා යෝජනා 2400 ක් විමර්ශනය කොටගෙන සකසන ලද වාර්තාවක් ජාතික අධ්‍යාපන කොමිසම වෙත යොමු කොට ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවේ ජාතික විශ්ව විද්‍යාලක් නොමැති හැම දිස්ත්‍රික්කයකටම නගර විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි ආරම්භ කොට
මෙම රැස්වීමට කාරක සභාවේ සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරයන් වන ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, සීතා අරඹේපොල, පියල් නිශාන්ත, විජිත බේරුගොඩ සහ මන්ත්‍රීවරයන් වන රාවුෆ් හකීම්, ටී. කලෙයි අරසන්, සුදත් මංජුල, ශාන්ත බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, ප්‍රේම්නාත් සී. දොලවත්ත, කාදර් මස්තාන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, යදාමිණී ගුණවර්ධන, අනුප පැස්කුවෙල්, චාර්ල්ස් නිර්මලනාදන්, නිමල් පියතිස්ස, චාමර සම්පත් දසනායක, වී. රාධක්‍රිෂ්ණන්, උදයකාන්ත ගුණතිලක, අජිත් රාජපක්ෂ, සිවඥාණම් ශ්‍රීතරන්, ඩයනා ගමගේ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ශාන්ත බණ්ඩාර, ගීතා කුමාරසිංහ, ගුණතිලක රාජපක්ෂ, මහාචාර්ය චරිත හේරත්, මධුර විතානගේ, මංජුලා දිසානායක, රෝහණ දිසානායක, කෝකිලා ගුණවර්ධන, මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.
2025-07-28
නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත. එමෙන්ම බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන් යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025-07-28
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ.
2025-07-28
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල විශේෂඥයින් සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2025-07-28
අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින් 2026 වසරේදී දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු කාරක සභාවට සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී කාරක සභාව විසින් ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශ නිලධාරීහු දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත් නිරාකරණය නොවූ විගණන විමසුම් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම මහත්මීහු මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු පිඑඉසක් සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks