E   |     |  

2021-11-29

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සමබන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්

රජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සමබන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා (27) දැනුම් දුන්නේය.

ඇතැම් රෝහල් වල වෛද්‍යවරුන් අතිරික්තව සිටින අතර, ඇතැම් ග්‍රාමීය රෝහල් වල වෛද්‍ය හිඟයක් පවතින බව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මූලික රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීම මඟින් සෞඛ්‍ය පහසුකම් වඩා ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට හැකි වුවත්, පළාත් සභා යටතේ ඇති විෂයන් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීම  13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලිය සමඟ ගැටෙන බැවින් එය ගැටලු සහගත බව හෙතෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධව විමර්ශනය කර වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සුදුසු බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාලය තුළ විටින් විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන රැල්ලක් ඇති වූ බැවින්, වැටුප් ඉහළ නැංවීමේදී පොදු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

ඉකුත් වසර කිහිපය තුළ මෙරටට ඖෂධ වර්ග රැසක් වැඩියෙන් ආනයනය කර තිබීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු වූ අතර, ඇතැම් වර්ෂවල අධි ප්‍රතිශතයන්ගෙන් මෙරටට ඖෂධ ආනයනය කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන මහතා කීවේය.

ඖෂධ වලට අදාළව ජාතික තොරතුරු පද්ධතියක් ආරම්භ කරන බවත්, දිවයිනේ සියලු රෝහල් ඊට සම්බන්ධ කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇල්පිටිය මූලික රෝහලේ මේ වන විට අඩුපාඩු රැසක් පවතින බවත්, එම අඩුපාඩු සම්පූර්ණ කිරීමට ක්‍රියා කළ යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී පැවසුවාය.

පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකර විවෘත කළද එය මෙතෙක් නිසි පරිදි  ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් ඇතැම් පුද්ගලයින්ගේ තොරතුරු ඊට අදාළව ක්‍රියාත්මක දත්ත පද්ධතියට ඇතුළත් නොවීම සම්බන්ධ ගැටළුවක්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කාරක සභාවට ඉදිරිපත් කළේය. පවතින එම තත්ත්වය කඩිනමින් විසඳීම සඳහා කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට දැනුම් දුන්නේය.

ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට 1990 සුව සැරිය ගිලන් රථ සේවයට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව හතලිස් හය ලක්ෂ තිස්තුන් දහසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා කාරක සභාවේදී පැවසීය. එම සේවය සඳහා 2022 වසර වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 1800 ක් බවත්, එය ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා ඉල්ලුම් කළ පරිදි අවම වශයෙන් තවත් මිලියන 1200 කින් වත් එම මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ජා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කාරක සභාවට දැනුම් දුන්නේය.

එමෙන්ම ආයුර්වේද උපාධිධාරින් 719 ක් රැකියා විරහිතව සිටින බව ද මෙම කාරක සභාවේදී අනාවරණය විය. ප්‍රාදේශීය වශයෙන් ආයුර්වේද බෙහෙත් ශාලා ආරම්භ කර, ඔවුන්ට පත්වීම් ලබා දීමට සැලසුමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කාරක සභාවේදී කීවේය.

මෙම කාරක සභාවට ගරු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 20 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට  අදාළ නිලධාරිහු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ.

 

1 2

3 4

56

7

 



සම්බන්ධිත පුවත්

2025-09-15

මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම පිළිබඳ ‘කෝප්’ කමිටුවේ අවධානය

මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ගත යුතු නිර්දේශ නිකුත් කිරීම සිදු විය.  මෙම නිර්දේශ නිකුත් කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 10 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මාගම්පුර වරාය කළමනාකරණ සමාගම 2013 ජූලි 05 වන දින සංස්ථාපනය කර තිබූ බවත් එම සමාගම විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් බලපත්‍රයක් මගින් හම්බන්තොට වරායේ ඉන්ධන සැපයුම්කරුවෙකු ලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් 2014 වර්ෂයේදී පෞද්ගලික බැංකුවකින් වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයක් (Corporate Guarantee) මගින් ඩොලර් මිලියන 24ක ණයක් ලබාගෙන තිබූ බවත් මෙහිදී අනාවරණය විය. නමුත් මෙම මුදලෙන් ඩොලර් මිලියන 18.82ක් (රු. මිලියන 6836) ක් 2023 දෙසැම්බර් වන විටත් පියවා නොතිබූ බවත් මෙම ණය මුදල අයකරගැනීම සඳහා අදාළ බැංකුව විසින් 2019 වර්ෂයේදී පරිපාලිත සමාගමට සහ අධිකාරියට විරුද්ධව නඩු දෙකක් පවරා ඇති බවත් මෙහිදී අනාවරණය විය. පැමිණි නිලධාරීන් මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂන කොම්ෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් ඊට අදාළ පරීක්ෂණය සිදු වෙමින් පවතින බවත්ය. එසේම 2022 ජුනි මස සිට ඈවරකරුවෙකු පත් කර මාගම්පුර වරාය කළමනාකරණ සමාගම ඈවර කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවත්ය. මේ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝව කාරක සභාව විසින් සාකච්ඡා කරන ලද අතර එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවයි. එසේම සමාගම ඈවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දුන් කාරක සභාව ණය ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට නිර්දේශ කරන ලදි. එසේම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර ඊට අදාළ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි. මේ අනුව මෙම සියලු කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද නිර්දේශ කරන ලදි.මීට අමතරව අධිකාරියේ සංයුක්ත සැලැස්ම පිළිබඳවද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන දයාසිරි ජයසේකර, ඩී.වී.චානක, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, දිලිත් ජයවීර, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.


2025-09-12

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (සැප්. 11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍යමය ස්වාධීනත්වයක් පවතින බවත් එම ආයතන මෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවටත් වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මූල්‍ය ස්වාධීනත්වයක් ලබාදීම වැදගත් බවයි. එමගින් පවතින දේශපාලන අධිකාරියෙන් බැහැරව ඕනෑම රජයක් යටතේ වඩාත් ස්වාධීනව කටයුතු කිරීමට එම ආයතන වලට හැකි බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය. මේ නිසා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කාරක සභාව තීරණය කිරීමද මෙහිදී සිදු විය.එසේම කොමිෂන් සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ කමිටු සාමාජිකයින්ගේ පාරිශ්‍රමිකය අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකයට අනුරූප සකස් විය යුතු බවට මෙම කාරක සභාව පෙන්වා දුන් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පවසන ලදි. ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකය සංශෝධනය වන ආකාරයෙන් මෙම නිලධාරීන්ගේ පාරිශ්‍රමිකය ද සංශෝධනය විය යුතු බව කාරක සභාවේ සභාපතිරයා පෙන්වා දුන් අතර ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද හෙතෙම පැවසීය.   මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, නිමල් පලිහේන, තිළින සමරකෝන් සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.


2025-09-12

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපති ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා තේරී පත්වෙයි

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා)  අභිනව සභාපතිවරයා ලෙස  ගරු පාර්ලිමේන්තු කබීර් හෂීම්  මහතා තේරී පත්විය. ඒ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස  කටයුතු කළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා 2025.08.06 දින ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද (සැප්. 12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.සභාපතිධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරන ලදී.අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා, දේශපාලන මතවාදවලින් තොරව  මධ්‍යස්ථව  කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන්  සිය ධුරයේ කටයුතු  කිරීමට අපේක්ෂා කරන බව  පැවසුවේය.  එමෙන්ම  කාරක සභාවේ හිටපු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා සිදුකළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ අතර ඔහු කළ කාර්ය භාරය  ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බවද  අභිනව සභාපතිවරයා  ප්‍රකාශ කළේය. තවද  නව සැළසුම්  සකස් කොට කෝපා කමිටුවේ කාර්යභාරය තවදුරටත් විධිමත් කරමින් පවත්වාගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමින් පසුවන බව අභිනව සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය  සුගත් තිලකරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන   (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් ,රෝහිත අබේගුණවර්ධන, ජේ.සී. අලවතුවල, චාමර සම්පත් දසනායක, හෙක්ටර් අප්පුහාමි,  (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ඔෂානි උමංගා,  රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ,  එම්. ඒ. එම්. තාහිර්, ලාල් ප්‍රේමනාත්, චානක මාදුගොඩ යන මහත්ම මහත්මීන් මෙන්ම අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා  සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා  මහතා ඇතුළු  පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.


2025-09-11

2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම , වියදම සහ ණය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලේ

2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු අදායමට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගය සඳහා ශ්‍රී ලංකා රජය ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තාකරමින් වසර මැද ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැන්වුහ. 2025 ජනවාරි සිට ජුනි දක්වා අර්ධ වාර්ෂික ඇස්තමේන්තු ගත අදායම වූ රුපියල් බිලියන 2,241න් එකතු කරන ලද මුළු ආදායම රුපියල් බිලියන 2,318 ක් වූ අතර එය අර්ධ වාර්ෂික ඇස්තමේන්තුව 3% කින් ඉක්මවා ගොස් ඇති බව දත්ත ඉදිරි පත්කරමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ..මේ අතර 2025 පළමු භාගයේදී රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,467ක් වී ඇති අතර එම මුදල 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු වියදමට සාපේක්ෂව රුපියල් බිලයන 367කින් වැඩිවී ඇත.මෙම වැඩිවීමේ ප්‍රධාන සාධයක් ලෙස ණය සේවාකරණය මුලික වී ඇති අතර 2025 පළමු භාගයේදී එය රුපියල් බිලියන 1,984 ක් ව ඇත.රාජ්‍ය අංශයේ වැටුප්, විශ්‍රාම වැටුප්, අස්වැසුම සහ සමෘද්ධි වැනි සමාජ ආරක්ෂණ ශුද්ධ වැඩසටහන් ඇතුළු අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් සඳහා පුනරාවර්තන වියදම් ද ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.තවද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වර්ෂයට සාපේක්ෂව (ජනවාරි - ජුනි) 47% ක වර්ධනයක් වාර්තා කරමින් 2025 ජනවාරි සිට ජුනි අතර කාලය තුළ රුපියල් බිලියන 996 ක අදායමක් වාර්තා කර ඇත.මෝටර් රථ ආනයනයෙන් ලැබුණු ආදායම මෙම වර්ධනයට සැලකිය යුතු ලෙස හේතු වී අතර එමඟින් රුපියල් බිලියන 429 ක් ලැබී තිබුණි. වාහන ආනයනය සඳහා විවෘත කළ පසු මේ දක්වා ශ්‍රී ලංකාවට වාහන 220,026 ආනයනය කර ඇති අතර ඉන් වාහන 154,537ක් ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශන කටයුතු අවසන් කර ඇති බවද මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ.තවද බහාලුම් නිෂ්කාශන කටයුතු සඳහා රේගුවේදී දින 9 - 10 අතර කාලයක් ගත වීම හේතුවෙන් ආනයනකරුවන් මුහුණ දෙන ගැටලුවක් පිළිබඳව ද කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් විමසීය. ඒ අනුව එම ගැටලුවට පිළියම් සකස් කරමින් දින 2 - 3 වැනි කාලසීමාවකදී අදාළ භාණ්ඩවල නිෂ්කාශන සිදුකර අවසන් කිරීමට ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවද එම දෙපාර්තමේන්තු නිලධාරීහු කාරක සභවට දැනුම් දුන්හ.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ද (IRD) වර්ධනයක් වාර්තා කළ අතර,2025 පළමු භාගයේදී ඇස්තමේන්තු ගත අදායම වූ රුපියල් මිලියන 1,022,691 න් රුපියල් මිලියන 1,040,388කක අදායමක් වාර්තාකර තිබුණි. මෙහිදී එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වයස 18 වැඩි ශ්‍රී ලාංකිකයින් මිලියන 1.3 පමණ පිරිසකට අදාළව TIN අංකය ( Tax Identification number ) නිකුත් කර ඇති බවද පෙන්වා දුන්හ.මෙහිදී සභාපතිවරයා, මෙම දත්ත අනුව මෙම වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කයට ගමන් කළ හැකිද යන්න කරුණු විමසමින් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් මේ වසරේ ආර්ථික වර්ධනය 3.1% පමණ වනු ඇති බවට උපකල්පනය කළ හැකි බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.එමෙන්ම දුම්වැටි සඳහා භාවිතා වන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයේන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳවද කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.වර්ෂ අවසානයේ මෙරට විදේශ සංචිත පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය මගින් කර ඇති පුරෝකතනයන් වල පරස්පරතාව පිළිබඳවද කාරක සභාවේදී සාකච්ජා විය. මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, චම්පික හෙට්ටිආරච්චි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks