පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022-03-29
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
කොවිඩ් 19 - බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම සහ උනන්දු කිරීම දිගටම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී පැවති සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා විසින් කරන ලද යෝජනාවක් සඳහා අදහස් දක්වමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කාලය පුරාම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම සිදු කළ බවයි. මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා දේශපාලන අධිකාරීයේ මැදිහත්වීම නිසා මුල් කාලයේ යම් ගැටළු මතුවූ නමුත් මේ වන විට ඇතැම් ප්‍රදේශ වල දේශපාලන අධිකාරීයේ සහයෝගය නිසා එන්නත්කරණය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වී ඇති බවද පෙන්වා දුන්නේය.
එයට අමතරව යම් සංවිධානාත්මක පිරිස් විසින් බූස්ටර් එන්නත නොගන්නා ලෙසට ගෙන යන මතය හේතුවෙන් ද එන්නත්කරණයේ යම් පසුබෑමක් සිදුවී ඇති බවද කියා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියලු මාධ්‍ය නාලිකා, රාජ්‍ය අංශය සහ දේශපාලන අධිකාරිය එකතු වී මේ පිළිබඳ කටයුතු කිරීමෙන් එන්නත්කරණය සාර්ථක කර ගත හැකි බවයි.
එක් නගර සභා බල ප්‍රදේශයක් තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක් පැවතීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ජ්‍යේෂ්ඨත්වය තීරණය කිරීම පිළිබඳ ගැටළුවක් පවතින බව මන්ත්‍රීවරයන් විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම එක් නගර සභා බල ප්‍රදේශයක් තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු සේවය කිරීමේදී
පොදු අවශ්‍යතාවන්හිදී තීරණ ගැනීමේ ගැටළුවක් පවතින බවද අවධාරණය විය.
බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස සංවර්ධනය කිරිම පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරයන් විසින් අදහස් දැක්වූ අතර අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළේ දියතලාව සහ බදුල්ල රෝහල් දෙකක් තිබියදී බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ ගැටළුවක් පවතින බවයි. ඒ වෙනුවට දියතලාව රෝහලේ පිහිටුවා නොමැති ඒකක පමණක් බණ්ඩාරවෙල රෝහලෙහි පිහිටුවීමට අවධානය යොමු වී ඇති බවද තවදුරටත් හෙතෙම සඳහන් කළේය. මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමා බණ්ඩාරවෙල රෝහල වෙත ගොස් පරීක්ෂා කර බලා ඒ පිළිබඳ තීරණයක් ලබා දෙන බවයි.
මාතර මහ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය භාවිතයට ගත නොහැකි තත්ත්වයෙන් අබලන්ව පැවතීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එහිදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ඒ පිළිබඳ කඩිනමින් කටයුතු කරන බවයි.
බණ්ඩාරගම ඔසුසලෙහි ඉහළ මාලය බණ්ඩාරගම රෝහල විසින් භාවිත කිරිම නිසා ඔසුසලෙහි ඖෂධ ගබඩා කිරීමේ ගැටළුවක් මතුවී ඇති බව මෙහිදී සාකච්ඡා විය. රෝහල විසින් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් අනතුරුව නැවත භාරදෙන බවට එකඟ වී ලබා ගත් අදාළ ගොඩනැගිල්ලේ ඉහළ මාලය නැවත ඔසුසල වෙත ලබා දෙන ලෙස මන්ත්‍රීවරු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. මෙහිදී අමාත්‍යවරයා එකඟ වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා සමග සාකච්ඡා කොට ඒ සඳහා විසඳුමක් ලබා දෙන බවයි.
යාපනේ ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ විශාල හිඟයක් පවතින බවද මෙහිදී සාකච්ඡා විය. හෙද කාර්ය මණ්ඩල සඳහා පුද්ගලයන් බඳවා ගැනීමේදී පවතින පුරප්පාඩු පිරවීම සහ නව පුරප්පාඩු ඇති කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම රැස්වීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) ගරු චන්න ජයසුමන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් මෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
2025-07-28
අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින් 2026 වසරේදී දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු කාරක සභාවට සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී කාරක සභාව විසින් ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශ නිලධාරීහු දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත් නිරාකරණය නොවූ විගණන විමසුම් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම මහත්මීහු මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු පිඑඉසක් සහභාගි වූහ.
2025-07-28
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ.
2025-07-28
නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත. එමෙන්ම බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන් යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025-07-28
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල විශේෂඥයින් සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks