E   |     |  

2022-06-20

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

රටේ ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුවක් පිහිටුවීමට ‘කෝපා’ කමිටුවෙන් යෝජනා

  • ඉදිරි කාලය සඳහා ආනයනය කළයුතු සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 800,000 ක්
  • 'සාර්ක්' ආහාර බැංකුව සහ ලෝක ආහාර වැඩසටහනේ සහයෝගය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා

 

රට තුළ පවත්නා ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහා සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වී ආහාර සුරක්ෂිතතා කැබිනට් අනු කමිටුවක් පිහිටුවිය යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී තීරණය විය. පවත්නා ආහාර අර්බුදයට මුහුණදීම සඳහා වගකිවයුතු ආයතන සියල්ල ඒකරාශි කර ගනිමින් ඉක්මන් තීන්දු තීරණ ගැනිම සහ ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුවිපරම් කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීමට මෙම කමිටුව පිහිටුවීම වැදගත් වන බව කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.

මෙම තීරණය ගනු ලැබුවේ කෝපා කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා (10) රැස්වූ අවස්ථාවේදීය. ආහාර අර්බුදය පිටුදැකීම සඳහා සාර්ක් ආහාර බැංකුව (SAARC Food Bank) සහ ලෝක ආහාර වැඩසටහනේ (World Food Program) සහයෝගය ලංකාවට ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිනි.

රජය රට තුළ ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීමෙන් ඉවත්වීම මත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දැරිය නොහැකි තරම් ඉහළ යාම පිළිබඳ කෝපා කමිටු සභාපතිවරයා විසින් දීර්ඝ වශයෙන් කරුණු දක්වන ලදී. වෙළඳපොළේ පවතින ආහාර ද්‍රව්‍යවල මිල අධික බැවින් රජයේ මැදිහත්වීම මත සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය සැපයීමේ හැකියාව සොයාබලන ලෙසද කෝපා කමිටු සභපතිවරයා දැනුම් දුන්නේය. මේ අනුව ආහාර කොමසාරිස් දේපාර්තමේන්තුව, ලංකා සතොස සමාගම, සමූපකාර තොග වෙළඳ සංස්ථාව, ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සහ විවිධ සේවා සමූපකාර සමිති හරහා අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් ආහාර සැපයීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිනි.

මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශගුණික විපර්යාස, රුසියානු සහ යුක්රේන යුද්ධය ලෝකයේ තිරිඟු නිශ්පාදනය, බඩඉරිඟු නිශ්පාදනය මෙන්ම පොහොර නිශ්පාදනයද අර්බුදයට ලක්වීම හේතුවෙන් ඛණිජ තෙල් මිල ඉහළ යාම නිසා ආහාර නිශ්පාදනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. මෙම තත්ත්වය තුළ ලංකාවේ ‍පසුගිය කාලයේ ඇතිවූ පොහොර අර්බුදය සහ විදේශ විනිමය සංචිත වල හිගකම සහ කෘමිනාශක භාවිතය සම්බන්ධයේන් ප්‍රතිපත්තිමය අර්බුදයක් ඇතිවීම යන කරුණු මත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල නිශ්පාදනය පහත වැටී ඇති බවයි. ශ්‍රී ලංකා රේගුව හා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ දත්ත අනුව වෙළඳ අමාත්‍යාංශය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස සම්බා සහල්, නාඩු සහල්, කැකුළු සහල්, සීනි, රතු ඇට පරිප්පු, තිරිඟු පිටි (ඇට), ලොකු ළුූණු, අර්තාපල්, ටින් මාළු, කිරි පිටි, වියලි හාල්මැස්සන්, වියලි මිරිස්, කඩල, කුකුළු මස්, මාළු, බිත්තර යන ආහාර වර්ග 16 ක් හදුනාගෙන තිබේ.

මෙහිදී මෙම වර්ෂයේදී රටතුළ යල කන්නයේ සහ මහ කන්නයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිශ්පාදන ප්‍රමාණය සහ රටෙහි අවශ්‍යතාවය සපුරාලීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණය පිළිබඳව නිලධාරින් විසින් කරුණු දක්වන ලදී. මෙහිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නේ නව රජය යටතේ මේ පිළිබඳ පිහිටුවා ඇති ගරු නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වන බවයි. එහිදී ලේකම්වරයා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ඉදිරි ජනවාරි මාසය තෙක් රටෙහි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ අනෙකුත් ශක්තිජනක අවශ්‍යතා ඉටු කර ගන්නා ආකාරය පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට ඇති බවයි. එය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දැනගැනීම පිණිස ඊමේල් මගින් එවීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසීය.  

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (මහාචාර්ය) ගරු රංජිත් බණ්ඩාර, ගරු තිස්ස අත්තනායක, ගරු උදය ගම්මන්පිල, ගරු ලසන්ත අලගියවන්න, ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, (ආචාර්ය) ගරු හරිනි අමරසූරිය, ගරු නිරෝෂන් පෙරේරා, ගරු ප්‍රසන්න රණවීර, ගරු වීරසුමන වීරසිංහ, සහ කෘෂිකර්ම අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය, සතොස ආයතනය ඇතුළු ආයතන ගණනාවකට අයත් නිලධාරිහු පිරිසක් සහභාගී වූහ.

 

1 2

3 6

 



සම්බන්ධිත පුවත්

2025-11-22

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල තුන්වැනි කාර්තුවේ ප්‍රගතිය පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවලවල 2025 සැප්තැම්බර් මස දක්වා සමස්ත මූල්‍ය කාරය සාධනය පිළිබඳ සලකා බැලීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සිදු විය.මේ සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා (නොවැ. 20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් එ් ඒ ආයතනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදු විය. එසේම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් 2026-2030 කාලසීමාවට අදාළ  මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය සහ 2026 වර්ෂයට අදාළ ණය ගැනීමේ සැලැස්ම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද මෙහිදී සිදු විය.එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් එම ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද සිදු විය. මෙහිදී විදේශීය සෘජු ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර  නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 827 විදේශීය සෘජු ආයෝජන ලෙස ලැබි ඇති බවයි. මේ අනුව කාරක සභාව පෙනවා දුන්නේ ඉදිරි වසර කිහිපය තුළ විදේශ ආයෝජන අඛණ්ඩව වැඩි දියුණු වන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් ආයතන විසින් ඵලදායී පියවර ගත යතු බවයි.  මීට අමතරව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදු විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2025-11-22

ශ්‍රී ලංකා ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිළිබඳ යෝජිත පනත් කෙටුම්පත් ලියවිල්ල පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවන්හි අවධානය

ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමතිය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳවූ ලියවිල්ල සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් හා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය එක්ව දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කරන ලදී.ඒ එම කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතිඥ) ලක්මාලි හේමවන්ද්‍ර මෙනවිය සහ සමන්මලී ගුණසිංහ මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.මෙහිදී අදහස් දක්වමින් නිලධාරීන් පැවසුවේ, මෙම යෝජිත පනත් කෙටුම්පතට අදාළ මුල් කෙටුම්පත 2024 ජනවාරි මාසයේදී පල කරන ලද බවයි. එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම කෙටුම්පතට පෙත්සම් ගොනු වූ බවත්, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතුළත් කළ යුතු යැයි නියෝග කරන ලද සංශෝධන, මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් වූ කාරක සභා අවස්ථා සංශෝධන සහ ප්‍රතිපත්තිමය වශයෙන් ඇතුළත් විය යුතු වෙනත් සංශෝධන ඇතුළත් කරමින් නව කෙටුම්පත සකස් කර ගැසට් පත්‍රය සකස් කර ඇති බව නිලධාරිහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. ඒ අනුව මෙම කෙටුම්පත දසවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරීහු පැවසූහ.ඒ අනුව, මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, ඒවායේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සහ 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීමට ද බලාපොරොත්තු වන බව නිලධාරීන් පැවසූහ.මෙම නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය තුළ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් නියෝජනය වන ආකාරයේ සාමාජිකයෙකු ඇතුළත් නොවීම ප්‍රශ්නයක් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය නියාමනයක් නොමැති වීම තුළ විශාල වශයෙන් පීඩාවට පත්ව සිටින්නේ කාන්තාවන් බවත්, ඔවුන්ව නියෝජනය වන ලෙසට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු සිටීමේ වැදගත්කම ගරු මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ හෝ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයෙක් හෝ එම විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් හෝ මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සිටීම යෝග්‍ය බව ගරු මන්ත්‍රීවරුන්ගේ මතය විය.මේ අතර, මෙම කෙටුම්පත් ලියවිල්ලේ අන්තර්ගත අනෙකුත් කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය කිසිදු නියාමානයක් නොමැතිව බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල සමාජ අර්බුදයක් ඇති වී තිබෙන බව පෙන්වා දුන් කාරක සභා මෙහි පරමාර්ථය විය යුත්තේ අදාළ සමාජ අර්බුදය සහ හානිය වළක්වා ගැනීම බව අවධාරණය කරන ලදී. ඒ අනුව ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත පනත් කෙටුම්පතට අදාළ සංශෝධනය ඇතුළත් කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, එම සංශෝධන, පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළහැකි බව නිලධාරීහු පැවසුහ. මෙම රැස්වීම සඳහා ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ මන්ත්‍රීවරියන්, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංගයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 


2025-11-21

මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම අප‍ෙග් දේශපාලනයේ අරමුණයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ දේශපාලනයේ අරමුණ වන බව  කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්  මහත්මිය නැගෙනහිර සමාජ සංවර්ධන පදනමේ නියෝජිතයින් හමුවෙමින් පැවසීය.ඇය මේ බව සඳහන් කළේ  ප්‍රාදේශීය දේශපාලනය තුළ නියෝජනයක් නොමැති කාන්තා කණ්ඩායම් දේශපාලනික වශයෙන් අන්තර්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය නොවැ. 17 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදීය.රට තුළ වෙසෙන  විශේෂ ජන කණ්ඩායම් නියෝජනය වන  පරිදි නාමයෝජනා ලබා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් හැකියාව පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය.තවද, නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 10 දින දක්වා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නියෝජිතයන් සමඟද මෙහිදී සකච්ඡා විය.සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන් වන නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සමන්මලී ගුණසිංහ, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ හසාරා ලියනගේ, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත්,  සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.


2025-11-20

පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කැඳවයි

පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් දෙන ලද  නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව විමසීම සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ සොයාබලා නිර්දේශ ලබාදීම සඳහා පත්කළ කාරක සභාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පසුගියදා කැඳවා තිබිණි. පසුගිය 13 වන දා මෙම කාරක සභාව  එහි සභාපති  ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සළකා බැලිණි. ඒ අනුව මෙම ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. එසේම ඇතැම් නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් කාරක සභාවට දන්වන ලදී. කෙසේ වෙතත් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලුවලට අදාළව පෙත්සම්කරුගේ ද අදහස් විමසීමට අවශ්‍ය බව මෙහිදී තීරණය වූ අතර ඒ අනුව  ඒ සඳහා නැවත දිනයකදී පෙත්සම්කරුවන් ද කාරක සභාවට කැඳවීමට  තීරණය විය. මෙම රැස්වීම සඳහා  ගරු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් පී. පෙරේරා සහ ඔෂානි උමංගා  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks