පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022-11-10
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ වූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කළ බවත් ඒ අනුව භාණ්ඩාගාර අනුමතිය ලබා ගෙන කොටස් දෙකක් වශයෙන් මෙම ගෙවීම් සිදුකිරීම සඳහා කටයුතු සලසන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (නොවැ. 08) පාර්ලිමේන්තුවේදී පැවති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මේ බව අනාවරණ කළේ, විශ්‍රාමික පාරිතෝෂික දීමනා ප්‍රමාද වීම පිළිබද මන්ත්‍රීවරු විමසා සිටි අවස්ථාවේදීය.
මෙරට පවතින ආර්ථික අර්බුදය මත භාණ්ඩාගාරය මගින් මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය. මේ වන විට 2022 ජනවාරි දක්වා සියලු ගෙවීම් සිදු කර ඇති බවද ඒ මහතා මෙහිදී සදහන් කළේය. එසේම 2022 ජනවාරි සිට ඉතිරි කාලය දක්වා ගෙවීම් සදහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය මේවන විට එකඟතාව පළ කර ඇති බවත් ඒ අනුව එම මුදල් ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.
එසේම විශ්‍රාම ගැන්වීමේ වයස අවු 60 දක්වා අඩුකිරීම නිසා මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසු නව අයදුම්පත් ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය. ඔවුන් සියලු දෙනාට ම මූලික විශ්‍රාම වැටුප කඩිනමින් ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද ඒ මහතා පැවසීය.
පළාත් පාලන ආයතනවල දීර්ඝ කාලයක් සේවය කළ සේවකයන්ගේ ගැටලු විසදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය. මේ අනුව ඒ සදහා ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසා සිටියේය.
එසේම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ, දැනට ප්‍රමාද වී ඇති රාජ්‍ය ආයතන වාර්ෂික වාර්තා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. තවද අනෙකුත් රාජ්‍ය ආයතනවලටද මේ බව දන්වා යවා ඒවායේ ප්‍රමාද වී ඇති වාර්තා පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණි.
නගර සභා ගණනාවක් මහනගර සභා බවට පත් කරන අග්‍රාමාත්‍යවරයාගේ වැඩපිළිවෙළ ගැනද මෙහිදී සාකච්ඡාවට ලක්විය. අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස උතුරු පළාතේද එම වැඩපිළිවෙළ සිදුකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ප්‍රසාදය පළ කරමින් ඉල්ලා සිටියේ, මන්නාරම ද මහ නගර සභාවක් බවට පත් කිරීමේදී මන්නාරම ප්‍රාදේශිය සභාව අහෝසි නොවන ලෙස එම කටයුතු සිදු කරන ලෙසය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වැඩිකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මෙහිදී ඉල්ලීමක් කළේය. එහිදී මේ සම්බන්ධව සාකච්ඡා කර කරුණු කාරක සභාවට වාර්තා කරන බවට අමාත්‍යංශ නිලධාරීහු එකඟතාව පළ කළහ.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත,රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, ඉන්දික අනුරුද්ධ, අනුප පැස්කුවල් යන මහත්වරුද කමිටු සාමාජික මන්ත්‍රිවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, ජේ.සී අලවතුවල, ජයන්ත කැටගොඩ, සුදත් මංජුල යන මහත්වරු ද මනෝ ගනේෂන්, චන්දිම වීරක්කොඩි, යදාමිණි ගුණවර්ධන, එච්.එම්.එම් හරිස්, රෝහණ බණ්ඩාර, මධුර විතානගේ, චාල්ස් නිර්මලනාදන්, ගුණතිලක රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද අමාත්‍යාංශය සහ අදාළ ආයතනයන්හි රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025-10-29
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (ඔක්. 24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.කෘෂිකර්ම හා පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම හමුවේදී තේ, කෝපි සහ දුම්කොළ වගා ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ අමාත්‍යාංශ මට්ටමින් මූලික සාකච්ඡාවක් දැනටමත් පවත්වා ඇති බවත්, මෙම හමුව මගින් මෙම දූත පිරිස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙම ක්ෂේත්‍ර සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කිරීම අරමුණු කළ බවත්ය. එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට විවිධ අවධීන්හිදී චීනයෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගය අගය කළ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය. තවද මෙවැනි සම්බන්ධතා දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණයට හා පුළුල් කිරීමටත් දායක වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.තේ, කෝපි සහ දුම්කොළ කර්මාන්ත සංවර්ධනය පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කරගත් අතර, නවීන තාක්ෂණික යෙදුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. අඩුවීගෙන යන ශ්‍රම බලකාය හේතුවෙන් පැන නගින අභියෝග ජය ගැනීමටත්, තේ වගාවේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමටත් නව තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා විය. එසේම පසෙහි සාරවත් බව වැඩි දියුණු කිරීමට සහ බෝග අස්වැන්න වැඩි කිරීමට හතරවන පරම්පරාවේ පොහොර (fourth-generation fertilizers) භාවිත කරීම යෝග්‍ය බව චීන දූත පිරිස යෝජනා කළේය.කෝපි වගාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය පසුගිය දශකය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මෙහිදී සඳහන් වූ අතර කෝපි වගාවන් සඳහා ඉඩම් වෙන් කිරීම පුළුල් කිරීමේ අවශ්‍යතාවයද සාකච්ඡා කරන ලදී. දැනට හෙක්ටයාර් 5,000 කට අධික ප්‍රමාණයක කෝපි වගා කරන බවත්, ඉදිරි වසර දෙක තුළ එය හෙක්ටයාර් 10,000 දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර, දුම්කොළ අමුද්‍රව්‍ය වෙනුවට වෙළඳපොළට සැකසූ අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශ විය හැකි බවද මෙහිදී මන්ත්‍රීවරු සඳහන් කළහ. එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය තවමත් කුඩා ප්‍රමාණයේ කර්මාන්තයක් ලෙස පවතින බවත්, කර්මාන්ත ශාලා කේන්ද්‍ර කරගත් මහා පරිමාණ කර්මාන්තයක් ලෙස එය සංවර්ධනය කිරීමේ වැදගත්කමත් චීන නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.මෙම රැස්වීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, චීන නියෝජිත පිරිස සහ පාර්ලිමේන්තු සහ අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වූහ.
2025-10-29
සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් ‘කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය’ තෝරාගෙන - ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගෙනත් නෑ - කෝපා කමිටුව ප්‍රශ්න කරයි. වයඹ පළාත් සභාව සහ කුරුණෑගල මහනගර සභාව එකාබද්ධව සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා ලංසු කැඳවා කොන්ත්‍රාත්කරුවෙකු සමඟ ගිවිසුම් ගත වුවද, ඒ සම්බන්ධයෙන් පවත්නා අධීක්ෂණ කටයුත්තක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නැවතී ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණ විය. මෙවැනි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ප්‍රථම, ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගත යුතු වුවත් එය ලබාගෙන නොමැති බවත් මෙහිදී හෙළි විය. තවද, විශේෂිත ස්වරූපයේ ඉදිකිරීමක් නොවන සයමහල් සමාන්‍ය කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෝරාගෙන තිබීම ගැටලු සහගත බව ද කෝපා කමිටුව විසින් අවධාරණය කරන ලදී.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ වයඹ පළාත් සභාවේ 2023, 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2025.10.23 වන දින රැස්වී අදාළ නිලධාරින් කැඳවූ අවස්ථාවේදීය.ඒ අනුව, මෙම ඉදිකිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට නැවත කැඳවීමක් කරනු ලබන බවත්, මාසයක් ඇතුළත මේ ගොඩනැගිල්ලේ ව්‍යාපෘතියට අදාළ නිර්දේශ, ප්‍රසම්පාදන, තාක්ෂණික, කමිටු අදාළ සියලු වාර්තා සහ ලේඛන විගණකාධිපති වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.තවද, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා හාල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති වෙත ලබා දී තිබෙන ණය මුදල් සහ ප්‍රමාද ගාස්තු අය කර ගැනීම සම්බන්ධයෙන්ද විමසා සිටි අතර, මෙම මුදල් අය කරගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින වකවානු සමඟ දෙමසක් ඇතුළත කෝපා කමිටුවට ලබා දෙන ලෙසට නිර්දේශ කෙරිණි.පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට රජයේ ඉඩම් පිළිබඳව විධිමත් ලේඛනයක් සකස් කරන ලෙසට නිර්දේශ කර තිබුනද අදාළ ලේඛන මගින් රජයේ ඉඩම් සියල්ල හඳුනාගැනීම, දීර්ඝකාලීන බදු ලබාදීමට ඇති ඉඩම් සඳහා අනුමතිය ලබාදී ඇති හා නොමැති, හිඟ බදු වාරික ලැබීම යනාදී විස්තර ලබා ගත හැකි පරිදි ලේඛන පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් කෝපා කමිටුව කරණු විමසා සිටියේය. නිලධාරීන් ලෙස මැලි නොවී රජයට අයවිය යුතු මුදල් අය කරගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා කෝපා කමිටුව අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් කමිටුව විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ඒ අනුව, මේ වර්ෂය අවසන් වන විට එකතු කිරීමට නියමිත මුලු මුදල සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසට නිර්දේශ කරනු ලැබීය. තවද, අධීක්ෂණ කටයුතු හේතුවෙන් රු. මිලියන 85 පමණ වන අය කර ගත නොහැකි බදු මුදලක් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කමිටුවට යොමු කරන ලෙසත් කෝපා කමිටුව විසින් මෙහිදී නිර්දේශ කරන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද සෙනරත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී.කේ. ජයසුන්දර, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ සාගරිකා අතාවුද, සුනිල් රත්නසිරි, සහභාගී විය.
2025-10-27
"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ.මේ පිළිබඳ අදහස් පළවුයේ "අස්වැසුම වැඩසටහන" පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් ගරු මන්ත්‍රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා (ඔක්. 22) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධව පැවැත්වූ රැස්වීමේදීය.ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ සහ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීම සඳහා ලෝක බැංකුවේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සෙස්කා ලමන්නා (Francesca Lamanna) මහත්මිය හා ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ ශ්‍රීනිවාස් වරදන් (Srinivas Varadan) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.මෙහිදී කරුණු දක්වමින් ලෝක බැංකු නියෝජිත පිරිස සමාජ ආරක්ෂණය සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම ඔස්සේ සැබෑ ලෙසම දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින පිරිස් හා පවුල් හඳුනාගත හැකි බව පැවැසුහ. සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියකට පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කළ පමණින් ඔවුන් අස්වැසුම හෝ අදාළ වෙනත් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලත් පිරිසක් නොවන බවත්, එම ඇතුළත් කර ඇති දත්ත පරික්ෂා කර බලා අදාළ ප්‍රතිලාභ අවශ්‍ය පිරිස් නිවැරදිව හඳුනාගැනීම සිදු කළ හැකි බව එම නියෝජිත පිරිස අදහස් දක්වමින් අවධාරණය කළහ. එමෙන්ම මෙම සමාජ ආරක්ෂණ පද්ධතිය රටකට ඵලදායී ආයෝජනයක් බවත් ඒ හේතුවෙන් එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයද ඔවුහු තවදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් "අස්වැසුම" ප්‍රතිලාභ ලබාදීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව අදහස් දැක්වූහ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් ග්‍රාමීය කමිටුවක් මගින් තෝරා ගැනීමටත්, තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නම් අදාළ ග්‍රාමය තුළ ප්‍රදර්ශනය කිරීම තුළින් මෙහි පවතින විනිවිද භාවය තහවුරු කල හැකි බව ගරු මන්ත්‍රීවරයන් අදහස් දක්වමින් පැවසුහ. මෙහිදී අදහස් දක්වමින් " අස්වැසුම " ක්‍රියාත්මක කරන නිලධාරීහු ,ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්වරුන්ට මෙම වැඩසටහන පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොලැබීම මත යම් බාධාවන් මතුව තිබු බවත් වර්තමානය වන විට ඔවුන්ගේ භූමිකව පිළිබඳව නිසි ලෙස දැනුවත් කරමින් වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය සහාය ඔවුන්ගෙන් ලබාගන්නා බවත් පැවසුහ. මේ අවස්ථාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ලෝක බැංකුවේ උපදේශක ශාලිකා සුබසිංහ මහත්මිය ඇතුළු මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
2025-10-24
2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (ඔක්. 23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීහු 2026 වර්ෂට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව කරුණු කාරක සභාවට දැනුම් දුන්හ. අදාළ කරුණු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව විසින් මෙම අනුමතිය ලබා දෙන ලදී. 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



