පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-03-09
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ප්‍රේම්නාත් සී. දොළවත්ත සහ ගරු ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්වරු විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා සමඟ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි.
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.
ස්ථාවර නියෝග 53(4) ප්‍රකාරව “පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීවරයාගේ මූලික අභිලාෂයට අනුකූල නොවන කිසි වගන්තියක් පනත් කෙටුම්පතකට ඇතුළත් කරනු ලැබීමට ඉඩ නොදෙනු ලැබිය යුතු ය” යන විධිවිධානයට අනුව පනත් කෙටුම්පත්හි අන්තර්ගතය සලකා බැලීම මෙහිදී සිදුවිය. ඒ අනුව ගරු ඉමිතියාස් බාකීර් මාකර් මහතා විසින් ඉදිරිපත් කර තිබූ (126) පනත් කෙටුම්පතේ තරුණ නියෝජනයක් පිළිබඳව වන බව සලකා බලමින් නැවත කෙටුම්පත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් දෙන ලදී.
තවද ගරු ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා විසින් ඉදිරිපත් කර තිබූ (160) පනත් කෙටුම්පතෙහි කාන්තා නියෝජනයක් පිළිබඳව සඳහන් වුව ද, දැනටමත් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කාන්තා නියෝජනය පිළිබඳව සඳහන් වන බැවින් ඒ පිළිබඳව වූ කොටස ඉවත් කර 25%ක සමස්ත තරුණ නියෝජනයක් පිළිබඳව අන්තර්ගත විය යුතු යැයි කාරක සභාව විසින් අදහස් කරන ලදී. එබැවින් 160 වන පනත් කෙටුම්පතෙහි අනුග්‍රාහක මන්ත්‍රීවරයාගේ ද එකඟතාවය මත එකී පනත් කෙටුම්පත ද නැවත කෙටුම්පත් කරමින් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද කාරක සභාව නිලධාරීන්හට දැනුම් දුන්නේය.
අමාත්‍යවරුන් වන ගරු නිමල් සිරිපාල ද සිල්වා, ගරු අලි සබ්රි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජානක වක්කුඹුර, ගරු සිසිර ජයකොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රාජිත සේනාරත්න, ගරු (මහාචාර්ය) චන්න ජයසුමන, ගරු අජිත් මාන්නප්පෙරුම, ගරු සාරතී දුෂ්මන්ත, ගරු කෝකිලා ගුණවර්ධන, ගරු මිලාන් ජයතිලක, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු මධුර විතානගේ, ගරු සාගර කාරියවසම්, ගරු මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.
2024-09-20
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 18) රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී. රත්නායක මහතාගේ පත් කිරීම කිරීම, උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කර ඇත.කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වෛද්‍ය ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2024-09-09
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සැප්තැම්බර් 04 වැනිදා එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු වඩිවේල් සුරේෂ් මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අඩු බර, මිටිභාවය, කෘෂභාවය, සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම - වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. ග්‍රෑම් 2500 ක් හෝ ඊට අඩු උපත් බරක් සහිතව උපදින දරුවන් අඩු උපත් බරක් ඇති දරුවන් ලෙස සැලකෙන අතර 2022 දී සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව, ජාතික වශයෙන් නියෝජනය වන නියැදියක් මගින් අඩු උපත් බර ව්‍යාප්තිය 15.9%ක අගයක පැවති බව මෙම වාර්තාවෙන් පෙන්වාදී ඇති අතර 2023 ජූනි පෝෂණ මස තක්සේරුවෙන් හඳුනාගෙන ඇත්තේ 2022 වසරට සාපේක්ෂව ළදරුවන් සහ අවුරුදු දෙක දක්වා වන ළමුන් අතර අඩු බර සහ මිටිභාවය වැඩි වී ඇති බවයි. වඩාත්ම තැති ගන්වන සුළු ඉහළම අඩු බර අනුපාතය වූ 24.6% නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ඒ අනුව සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මධ්‍යස්ථ හෝ දැඩි ලෙස අඩු බර සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බව මෙම වාර්තාවේ සඳහන් වන්නේ. 2023 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ කෘෂභාවයට ලක් වූ දරුවන්ගේ අනුපාතය 10% ක් ලෙස මෙම වාර්තාවේ දැක්වෙන අතර අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2% ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති අතර සංඛ්‍යාත්මකව ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳ ඇත. 2023 පෝෂණ මාසයේ වාර්තාව මගින් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටි බව 10.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පෙර වසරට වඩා 9.2% ක වැඩිවීමක් බව අනාවරණය වී ඇත. සම වයසේ දරුවන් හා සැසඳීමේ දී දක්නට ලැබෙන මිටිවීම හෝ උස අඩු වීම, නිදන්තගත මන්දපෝෂණය හේතුවන් කාලයක් පුරා සිදුවන බව හඳුනාගෙන ඇතැයි වාර්තාව මගින් අනාවරණය කර තිබේ. මේ අතර 2022 දී සිදු කරන සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 5-18 අතර ළමුන්ගේ ජාතික වශයෙන් නියෝජනීය නියැදියක දී වයසත් සමග මිටි භාවය, අධික බර සහ තරබාරුකම වැඩි වන බව අනාවරණය වී ඇත. ගෘහස්ථ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව නිසි පරිදි නොපැවතීම ද මන්දපෝෂණ තත්ත්වය ඇතිවීමට බලපා ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. 2022 වර්ෂයේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් සමස්ත ජනගහනයෙන් 98% ක් ආහාර මිල ඉහළ යාම නිසා පීඩාවට පත් වී ඇති අතර ඒ හේතුවෙන් එම වර්ෂයේ අවසාන මාස හය තුළදී අධ්‍යයනය කරන ලද කුටුම්බ වලින් 74% ක ප්‍රමාණයකට ආහාර හෝ දෛනික අත්‍යවශ්‍ය ද්‍රවය මිලදී ගැනීමට හැකියාව නොතිබූ බවයි වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. ආහාර අනාරක්ෂිත කුටුම්බ ප්‍රමාණය 2023 මාර්තු මාසයේ පැවති 17% ක ප්‍රමාණයට සාපේක්ෂව 2023 වර්ෂයේ තුන්වන කාර්තුවේදී 24% ක් දක්වා ඉහළ ගොස් ඇත. සමස්ත පවුල් වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩු කර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති අතර හතරෙන් එකක් අසල්වැසියන්ගෙන් ලැබෙන අහාර මත ජීවත් වෙන බවද මෙහි දක්වා තිබේ. ළමුන්ගේ පෝෂණය වැඩි දියුණු කිරීම සඳහා නිගමන හා නිර්දේශ මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. එහිදී දරුවන් නිදන්ගත මන්දපෝෂණයට පත්වීමට පෙර එම ළමුන් කෙරෙහි ක්ෂණික අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. තවද මාතෘ හා ළමා සෞඛ්‍ය (MCH) වැඩසටහන් සඳහා ගුණාත්මක මාතෘ හා ළමා පෝෂණ (MCN) සේවාවන් සැපයීම සඳහා ප්‍රමාණවත් පරිදි නිපුණතාවය සහිත ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පැවතීමේ අවශ්‍යතාවයද වාර්තාව මගින් අවධාරණය කර තිබේ. පාසල් ළමුන් සඳහා විටමින් A අතිරේකය සැපයීම නවතා දමා ඇති බැවින් මෙය නැවත ගැටලුවක් බවට පත්වීමට ප්‍රථම විටමින් A අතිරේකය නැවත ලබාදීම පිළිබඳව සලකා බැලිය යුතු බව ද මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත. වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින පවුල්වල ආහාර සුරක්ෂිතතා තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයද පෙන්වා දී ඇත. මන්දපෝෂණය විසඳීම සඳහා වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් සහ හේතු සාධක හඳුනාගැනීම සඳහා ළමුන් තුළ මන්දපෝෂණයේ කේන්ද්‍රීය ස්ථාන හඳුනා ගැනීම සහ අවදානම් සිතියම ගත කිරීම සඳහා දැනට පවතින සෞඛ්‍ය කළමනාකරණ තොරතුරු පද්ධති භාවිතා කිරීමටද මෙම වාර්තාවෙන් නිදේශ ලබා දී ඇත. ගැබිනි මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට බාධාවකින් තොරව පෝෂණ අතිරේක සැපයීම, සෞඛ්‍ය සම්පන්න හා අඩු වියදම් ආහාර වේලක් සඳහා දැරිය හැකි මිලකට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා එම ද්‍රව්‍ය වල මිල පාලනය කිරීම, ගුණාත්මක ආහාර සැපයීම සඳහා පෙර පාසල් ආහාර වැඩසටහන, පාසල් ආහාර වැඩසටහන සහ පාසල් ආපනශාලා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම හා ඒවා අධීක්ෂණය කිරීම ඇතුළු කෙටි, මධ්‍ය හා දිගු කාලීන නිර්දේශ රැසක් මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත.
2024-09-06
පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වනු සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය අගෝස්තු 28 වැනිදා ගම්පහ (මිනුවන්ගොඩ) ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පරිසර හිතකාමී පොහොර මෙරට කෘෂිකර්මාන්තයට සාර්ථකව හඳුන්වාදීම කාරක සභාවේ ප්‍රධාන අරමුණ වූ අතර එම පොහොර නිෂ්පාදන ප්‍රධාන වී වගා කරන ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කළ යුතු බවට මෙම කාරක සභාවේදී තීරණය විය. 2023/2024 මහ කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිත කරමින් වැලිකන්ද සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල වී යාය ආදර්ශන වල සාර්ථක ප්‍රතිපළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම කාරක සභාවේ සභාපති ගරු ඩී. වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ 2024 යල කන්නයේදී පළාත් 7ක සහ බී, සී සහ එච් යන මහවැලි කලාපවල පරිසර හිතකාමී පොහොර භාවිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. ඒ අනුව මෙම නිරීක්ෂණ චාරිකාව සිදු විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නිලධාරීන් සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ සහ පුහුණු ආයතනය, කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා සහභාගී විය. ඉහත වැඩසටහන යටතේ බස්නාහිර පළාතට අදාළ වැඩසටහන බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි අධීක්ෂණය යටතේ පවත්වන ලද අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් අස්වනු සමීක්ෂණය සිදු කරන ලදී. වැඩසටහනේ සමස්ත සම්බන්ධීකරණය ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලදී.
2024-08-22
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් 2024.08.08 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාට පිළිගන්වන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් යුතුව කාන්තාව හා මාධ්‍ය සාමූහිකය (Women and Media Collective) ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් මෙම වාර්තාව සකස්කරන ලදී. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනි ගරු රෝහිණි කුමාරි විජේරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට එක්වූහ. මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මෙම වැටුප් අසමානතා වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය සහ නව ප්‍රතිපත්ති සකස් කිරීම වැදගත්වන බවයි. එසේම මෙම අයිතීන් තහවුරු වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රතිපාදන ඇතුළත්විය යුතු බවට මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සංසදයේ සභාපතිවරිය පෙන්වා දුන්නේ මෙම ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා සමාජයේ පුද්ගලයින් තුළ ආකල්පමය වෙනසක්ද සිදුවිය යුතු බවයි. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙම කාර්ය සාර්ථක කර ගැනීමට දායකත්වය දැක්වූ සැමට ස්තූතිය පුද කර සිටියාය. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම මෙම පර්යේෂණ වාර්තාව පිළිබඳව අදහස් පළ කරමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොලේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය මූලිකවම වැටුප් නොලබන සත්කාර සේවා සමඟ සමීපව බැඳී ඇති බවයි. ඉහළ වැටුප් ලබන කර්මාන්තවල කාන්තා නියෝජනය අඩු වන අතර අඩු වැටුප් සහිත සේවා භූමිකාවන් වෙත කාන්තාවන් සංකේන්ද්‍රණය වී ඇති බවත් කාන්තාවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අර්ධකාලීන රැකියා සහ වැටුප් රහිත ගෘහාශ්‍රිත සත්කාර සේවා වල නියැලෙන බවත් එම පර්යේෂකයින් අවධාරණය කරන ලදී. මේ අවස්ථාව සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය (Women and Media Collective), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks