E   |     |  

2023-10-31

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) ‘කෝප්’ කමිටුව හමුවට

  • ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය සම්බන්ධයෙන් කමිටුව ප්‍රශ්න කරයි
  • විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් බැංකුවට වූ පාඩුව පිළිබඳ කමිටුවේ අවධානය
  • කොළඹ 13 ශ්‍රී සංඝරාජ මාවතේ පවතින ඉඩමක තක්සේරු වාර්තාව සම්බන්ධයෙන් අවධානය
  • බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් අවධානය
  • ණය පද්ධතියෙන් මකා දැමීම හේතුවෙන් සේවක අර්තසාධක අරමුදල් වාර්තා නැතිවීම පිළිබඳ අවධානය

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) කැඳවා තිබිණි.

මෙහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු විය. එසේම මෙම බැංකුව 2014 නොවැම්බර් මස අවසන් වරට කෝප් කමිටුවට කැඳවා තිබුණි.

මෙහිදී පහත සදහන් කරුණු පිළිබඳ අවධානය යොමුවිය.

 

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය සම්බන්ධයෙන් කමිටුව ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය සම්බන්ධයෙන් කෝප් කමිටුව ප්‍රශ්න කිරීම මෙහිදී සිදු විය. මේ අනුව මේ සම්බන්ධයෙන් පැහැදිලිතාවක් නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය වූ අතර බැංකුවේ වැඩි කොටස් ප්‍රමාණයක් රාජ්‍ය පාර්ශ්වය සතුව තිබියදීත් බැංකුව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන්ද පැහැදිලිතාවයක් නොපවතින බව මෙහිදී කමිටුව පෙන්වා දුන්නේය. මේ අනුව මාස 6ක් ඇතුළත මෙම සංකීර්ණතාව විසදීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව උපදෙස් ලබා දුන්නේය.

 

විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් බැංකුවට වූ පාඩුව පිළිබඳ කමිටුවේ අවධානය.

විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් බැංකුවට වූ පාඩුව පිළිබඳ කමිටුවේ අවධානය යොමු වීම මෙහිදී සිදු විය. 2014 නොවැම්බර් 04 දින පැවති කෝප් සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබූ අතර සාමාන්‍ය පොලී අනුපාතය ඉක්මවා සිදු වූ මෙම ගෙවීම මගින් බැංකුවට සිදු වී තිබූ පාඩුව රුපියල් මිලියන 69කි. මෙහිදී තැරැවුකාර සමාගමක් තුන්වෙනි පාර්ශ්වයක් ලෙස සම්බන්ධවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මෙම තැරැවුකරු බැංකුව පාර්ශ්වයෙන් පැමිණි පුද්ගලයෙක් බව මෙහිදී අනාවරණය විය. එසේම මේ සම්බන්ධයෙන් මැදිහත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත්කර තිබීම පිළිබඳ මෙහිදී කමිටුව පෙන්වා දීම සිදු විය. මේ අනුව මුදල් අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විශේෂ පරීක්ෂණයක් සිදු කොට මේ සඳහා මැදිහත් වූ තැරැවුකරු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව නිර්දේශ කළේය.

 

කොළඹ 13 ශ්‍රී සංඝරාජ මාවතේ පවතින ඉඩමක තක්සේරු වාර්තාව සම්බන්ධයෙන් අවධානය.

කොළඹ 13 ශ්‍රී සංඝරාජ මාවතේ පවතින ඉඩමක තක්සේරු වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. මෙහිදී සඳහන් වූයේ කාලානුරූපීව රටේ ආර්ථිකයත් සමගින් මෙම ඉඩම විකිණීම සම්බන්ධයෙන් සලකා බැලෙන බවයි. එසේම මෙය කොළඹ දිස්ත්‍රික්කයේ පවතින වටිනා ඉඩමක් බවද මෙහිදී සඳහන් විය. මේ අනුව මෙවැනි කරුණු සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ අවධානය යොමු කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය.

 

බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් අවධානය

බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් අවධානය යොමු වීමද මෙහිදී සිදු විය. විශේෂයෙන්ම 2018 ජූලි 18 දින මෙම සමාගම වෙත රුපියල් මිලියන 350 ක මුදලක් ලබාදී ඇතත් මෙම සමාගමේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලුවක් පවතින බව මෙහිදී අනාවරණය විය. මේ අනුව මෙම ණය ලබාදීමේදී සම්බන්ධවූ ඇපකරුවන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මේ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව නිර්දේශ කරන ලදි. එසේම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කොට සති තුනක් ඇතුළත කෝප් කමිටුවට වාර්තාවක් ලබා දෙන ලෙසද මෙහිදී කිමිටුව නිර්දේශ කළේය. තවද මෙම කරුණ පිළිබඳ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කෝප් කමිටුව මෙහිදී සඳහන් කළේය. එසේම මෙම ගැටලුව අල්ලස් හා දූෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කෝප් කමිටුව මෙහිදී සඳහන් කළේය.

 

ණය පද්ධතියෙන් මකා දැමීම හේතුවෙන් සේවක අර්තසාධක අරමුදල් වාර්තා නැතිවීම පිළිබඳ අවධානය

ණය පද්ධතියෙන් මකා දැමීම හේතුවෙන් සේවක අර්තසාධක අරමුදල් වාර්තා නැතිවීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් පවත්වාගෙන යන බවත් ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටුයතු කරන බවත් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මෙහිදී සඳහන් කළේය.

 

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු (නීතීඥ) ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නිමල් ලන්සා, ගරු ජයන්ත සමරවීර, ගරු සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු(මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම් රාමේෂ්වරන් සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

 

1 2

3 4

5



සම්බන්ධිත පුවත්

2025-07-28

ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා  පාර්ලිමේන්තුවේදී   රැස්වූ අතර  එහිදී  ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින්  2026 වසරේදී  දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු   කාරක සභාවට  සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද  ඔවුහු වැඩිදුරටත්  අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී  කාරක සභාව  විසින්  ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි  නිලධාරීන්ගෙන්  විමසා සිටි අතර එයට   ප්‍රතිචාර දක්වමින්  අමාත්‍යාංශ නිලධාරීහු  දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත්  නිරාකරණය නොවූ  විගණන විමසුම් පිළිබඳව  කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත  කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම  මහත්මීහු  මෙන්ම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු  පිඑඉසක්  සහභාගි වූහ. 


2025-07-28

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම  පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු  සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ  අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු  අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු   පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු  කාරක සභාවට  දීර්ඝ  ලෙස  කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු  ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල  විශේෂඥයින්  සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව  පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්  පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2025-07-28

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවේ

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක්  පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ  නම  උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත. එමෙන්ම  බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන්  යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද  අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා  ජිනසේන  මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන  කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 


2025-07-28

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරේ

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks