E   |     |  

2023-10-31

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

දූෂණ සිදු කළ සේවකයන් සඳහා දැඩි ක්‍රියාමාර්ග කඩිනමින් නොගැනීම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම ගෞරවයට හානියක් - සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වල පරිපාලනය පිළිබඳව ‘කෝපා’ අනුකමිටුවේ දැඩි අප්‍රසාදය

  • ජාතික රෝහලේ ශල්‍ය උපකරණ වංචාවට හසුවූ නිලධාරිනිය වසර 10ක් තිස්සේ එය සිදු කරලා
  • රෝහල්වල උපකරණ හා ද්‍රව්‍ය නිකුත් කිරීමේ නිසි අධීක්ෂණ ක්‍රමවේදයක් (Cross check)  ක්‍රියාත්මක නොවීම  බරපතල ගැටලුවක් - සෑම රෝහලකම කඩිනමින් නිසි කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් නිර්දේශ

 

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණනයෙන් හෙළි වූ කරුණු අනුව දූෂණ වංචා සිදු කළ සෞඛ්‍ය සේවකයන්ට එරෙහිව විමර්ශන කටයුතු කඩිනමින් නිසි පරිදි සිදු නොවීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මේජර් ප්‍රදීප් උදුගොඩ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (ඔක්. 25) පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) මගින් පත්කළ අනුකමිටුවේ දැඩි අප්‍රසාදය පළ විය.

තවදුරටත් මෙම ක්ෂේත්‍රයේ දූෂණ අක්‍රමිකතා සිදුවීමට එය අනුබලදීමක් බවත් කිහිපදෙනෙකුගේ ක්‍රියාවන් නිසා සමස්ත වෘත්තීය ගරුත්වයට ද හානියක් බැවින් ඉදිරියේදී මෙවැනි ක්‍රියා වැළැක්වීමට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් අනුකමිටුව විසින් අවධාරණය කරන ලදී.

2022 වසරේදී සිදුකළ විගණනකදී කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමක සගවා තිබියදී සොයාගත් ශල්‍ය පරිභෝජන ද්‍රව්‍යවලට අදාළ සිද්ධි‍යට සම්බන්ධ සේවකයන්ට අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබදව කමිටුවේ අවධානය යොමු වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.

මීට අදාළව ජාතික රෝහලෙන් කමිටුවක් පත් කර විමර්ශනයක් සිදු කරගෙන යන බවත් ඒ අනුව චූදිත නිලධාරිනියක වැඩ තහනමකට ලක් කර ඇති බවත් නිලධාරීන් පැවසුව ද මීට සම්බන්ධ අනෙකුත් නිලධාරිනියගේ වැඩ තහනම් කිරීම ප්‍රමාද වීම, තොග පොත් එම සිද්ධිය වූ වහාම සිය භාරයට ගෙන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බරපතල ගැටලුවක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්නේය. එම තත්ත්වයන් නිසා විමර්ශනයකදී හෝ අධිකරණයකදී ඔවුන් නැවත නිවැරදිකරුවන් බවට පත්වීමේ වැඩි ඉඩක් පවතින බවත්, දූෂණ අක්‍රමිකතා නැවැත්වීම සදහා මෙම තත්ත්වය බාධාවක් බවත් ඔවුහු අවධාරණය කළහ.

වසර 10 ක් මුළුල්ලේ මෙම නිලධාරිනිය විසින් මෙලෙස වංචාවන් සිදුකර ඇති බවටත් මෙහිදී අනාවරණය වූ අතර මෙපමණ කාලයක් මෙවැනි චංචාවන් සිදුවිය හැකිවන ලෙස පවතින පරිපාලනයේ දුර්වලතා වහාම මගහරවා ගැනීමේ අවශ්‍යතාවත් අවධාරණය කෙරිණි. රෝහල්වල උපකරණ හා ද්‍රව්‍ය නිකුත් කිරීමේ නිසි අධීක්ෂණ  ක්‍රමවේදයක් (Cross check)  ක්‍රියාත්මක නොවීම නිසා මෙවැනි දීර්ඝ කාලීන වංචාවන් සිදුවී ඇති බව පෙන්වා දුන් අනුකමිටුව ඉදිරි‍යේදී තවත් රෝහල්වලත් මෙවැනි චංචා සිදුවීම වළක්වා ගැනීම සදහා නිසි කළමනාකරණ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.

මේ සදහා චෝදනා ලබා ඇති විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් පිළිබද විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ කටයුතු ඇරඹීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමුකොට ඇතිබව නිලධාරීහු පැවසුහ. එම කටයුතු කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී.

මේ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර මෙම චංචාව සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මාස දෙකක් තුළ ලබා දෙන ලෙස අනුකමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

මෙම කෝපා අනුකමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා  ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කැදවා තිබූ අතර 2019/2020/2021 වසරවල රෝහල් කළමනාකරණට අදාළ විගණන විමසුම් පිළිබද විමර්ශනය කිරීම සිදුවිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිණුම්වලට අදාළව පරිගණක පද්ධතියේ මගහැරුණු වත්කම් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. ‍මීට පෙර ද මේ සම්බන්ධ විගණන නිර්දේශ ඇති බැවින් මූල්‍ය නොවන වත්කම් ගිණුම් පද්ධතිය තුළ නිවැරදි ලෙස යාවත්කාලීන වීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී. ඒ අනුව ලබන දෙසැම්බර් 25 වැනිදාට පෙර මේ සම්බන්ධ ප්‍රගතිය කමිටුවට දැනුම් දෙන ලෙස නියෝග කෙරිණි.

කුරුණෑගල, අනුරාධපුර ආදී රෝහල්වල ආපන ශාලා බදුදීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා, මාතර මහරෝහලේ පවිත්‍රතා සේවය ලබා ගැනීම, රෝහල් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ආදියට අදාළ විගණන විමසුම් පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.

රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගරු මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

16 2

 



සම්බන්ධිත පුවත්

2025-07-28

ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා  පාර්ලිමේන්තුවේදී   රැස්වූ අතර  එහිදී  ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින්  2026 වසරේදී  දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු   කාරක සභාවට  සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද  ඔවුහු වැඩිදුරටත්  අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී  කාරක සභාව  විසින්  ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි  නිලධාරීන්ගෙන්  විමසා සිටි අතර එයට   ප්‍රතිචාර දක්වමින්  අමාත්‍යාංශ නිලධාරීහු  දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත්  නිරාකරණය නොවූ  විගණන විමසුම් පිළිබඳව  කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත  කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම  මහත්මීහු  මෙන්ම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු  පිඑඉසක්  සහභාගි වූහ. 


2025-07-28

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම  පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු  සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ  අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු  අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු   පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු  කාරක සභාවට  දීර්ඝ  ලෙස  කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු  ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල  විශේෂඥයින්  සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව  පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්  පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2025-07-28

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවේ

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක්  පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ  නම  උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත. එමෙන්ම  බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන්  යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද  අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා  ජිනසේන  මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන  කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 


2025-07-28

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරේ

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks