E   |     |  

2023-11-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සීනි කර්මාන්ත ශාලාවල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් වල අතිරික්තයක් - ප්‍රමිතියක් සහිතව අපනයනය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි - නිලධාරීන් කාරක සභාවට දන්වයි

  • 2024 වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට ක්‍රියාකාරී සැළැස්මක් ලබා දෙන්න - කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්
  • නිවැරදි සීනි පරිභෝජන රටාව ගැන මෙරට ජනතාව දැනුවත් කළයුතුයි - කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්

 

සීනි කර්මාන්ත ශාලා වල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වනවිට අතිරික්තයක් ලෙස පවතින බව භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  අනාවරණය විය.ඒ  අනුව එම එතනෝල් ප්‍රමිතියක් සහිතව අපනයනය  කිරීමට වැඩපිළිවෙලක්  සැකසීම පිළිබඳව  නිලධාරීහු විසින් කාරක සභාවේ අවධානයට යොමුකළහ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බුද්ධික පතිරණ මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.21 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එතනෝල් ආනයනය තහනම්  කිරීම හේතුවෙන්  සීනි කර්මාන්ත ශාලා  මේ  වනවිට  ලාහ  ලබමින් පවතින බව කාරක සභාවේදී අනාවරණය විය. සීනි නිෂ්පාදනයයේදී අතුරු නිෂ්පාදනයක් වන මෙම එතනෝල්,  මත්පැන්  නිෂ්පාදනය සඳහා භාවිත කරන බැවින් එම සීනි  කර්මාන්ත ශාලාවලට මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබාදීම වඩාත් ඵලදායී බව නිලධාරීහු කරුණු දක්වමින් පැවසුහ.

මෙරට සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 06 පමණ වන බව නිලධාරීහු කාරක සභාවට පෙන්නවා දුන්හ. කෙසේ වෙතත් එම අවශ්‍යතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කෙරෙනුයේ 10% ක ප්‍රමාණයක් නොඑසේනම් මෙට්‍රික් ටොන් හැට දහසක් පමණක් බව  කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව 2024 වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට  අවශ්‍ය   ක්‍රියාකාරී සැළැස්මක්  මාස  තුනක් තුළ සකසා භාර දෙන ලෙස කාරක සභාව විසින්  නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

එමෙන්ම සීනි පරිභෝජන පිළිබඳ මෙරට ජනතාව තුළ පවත්නා දැනුම ඉතාමත් අල්ප හෙයින්  නිවැරදි සිනී පරිභෝජන රටාව පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කිරීමටද ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස්  කරන ලෙසද  කාරක සභාවෙන්  නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

තල් අරක්කු ඇතුළු ලංකාවේ නිෂ්පාදිත අනෙකුත් මත්පැන් වර්ග සඳහා විදේශයන්හි හොඳ ඉල්ලුමක් පැවතියද ප්‍රමිතියන්හි පවතින දුර්වලතා හේතුවෙන් වෙළඳපොළ පුළුල් කරගත නොහැකි වී ඇති බව නිලධාරීන් මෙහදී පැවසුහ. ඒ අනුව නිසි ප්‍රමිතීන්ට අනුකූලව මෙරට  මත්පැන් වර්ග අපනයනය සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කමද නිලධාරීහු මෙහිදී සිහිපත් කළහ.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බී. වයි. ජී. රත්නසේකර , ගරු කේ. සුජිත් සංජය පෙරේරා  යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

 

1 4

 



සම්බන්ධිත පුවත්

2025-11-22

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල තුන්වැනි කාර්තුවේ ප්‍රගතිය පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවලවල 2025 සැප්තැම්බර් මස දක්වා සමස්ත මූල්‍ය කාරය සාධනය පිළිබඳ සලකා බැලීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සිදු විය.මේ සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා (නොවැ. 20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් එ් ඒ ආයතනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදු විය. එසේම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් 2026-2030 කාලසීමාවට අදාළ  මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය සහ 2026 වර්ෂයට අදාළ ණය ගැනීමේ සැලැස්ම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද මෙහිදී සිදු විය.එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් එම ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද සිදු විය. මෙහිදී විදේශීය සෘජු ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර  නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 827 විදේශීය සෘජු ආයෝජන ලෙස ලැබි ඇති බවයි. මේ අනුව කාරක සභාව පෙනවා දුන්නේ ඉදිරි වසර කිහිපය තුළ විදේශ ආයෝජන අඛණ්ඩව වැඩි දියුණු වන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් ආයතන විසින් ඵලදායී පියවර ගත යතු බවයි.  මීට අමතරව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදු විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2025-11-22

ශ්‍රී ලංකා ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිළිබඳ යෝජිත පනත් කෙටුම්පත් ලියවිල්ල පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවන්හි අවධානය

ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමතිය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳවූ ලියවිල්ල සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් හා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය එක්ව දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කරන ලදී.ඒ එම කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතිඥ) ලක්මාලි හේමවන්ද්‍ර මෙනවිය සහ සමන්මලී ගුණසිංහ මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.මෙහිදී අදහස් දක්වමින් නිලධාරීන් පැවසුවේ, මෙම යෝජිත පනත් කෙටුම්පතට අදාළ මුල් කෙටුම්පත 2024 ජනවාරි මාසයේදී පල කරන ලද බවයි. එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම කෙටුම්පතට පෙත්සම් ගොනු වූ බවත්, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතුළත් කළ යුතු යැයි නියෝග කරන ලද සංශෝධන, මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් වූ කාරක සභා අවස්ථා සංශෝධන සහ ප්‍රතිපත්තිමය වශයෙන් ඇතුළත් විය යුතු වෙනත් සංශෝධන ඇතුළත් කරමින් නව කෙටුම්පත සකස් කර ගැසට් පත්‍රය සකස් කර ඇති බව නිලධාරිහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. ඒ අනුව මෙම කෙටුම්පත දසවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරීහු පැවසූහ.ඒ අනුව, මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, ඒවායේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සහ 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීමට ද බලාපොරොත්තු වන බව නිලධාරීන් පැවසූහ.මෙම නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය තුළ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් නියෝජනය වන ආකාරයේ සාමාජිකයෙකු ඇතුළත් නොවීම ප්‍රශ්නයක් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය නියාමනයක් නොමැති වීම තුළ විශාල වශයෙන් පීඩාවට පත්ව සිටින්නේ කාන්තාවන් බවත්, ඔවුන්ව නියෝජනය වන ලෙසට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු සිටීමේ වැදගත්කම ගරු මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ හෝ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයෙක් හෝ එම විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් හෝ මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සිටීම යෝග්‍ය බව ගරු මන්ත්‍රීවරුන්ගේ මතය විය.මේ අතර, මෙම කෙටුම්පත් ලියවිල්ලේ අන්තර්ගත අනෙකුත් කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය කිසිදු නියාමානයක් නොමැතිව බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල සමාජ අර්බුදයක් ඇති වී තිබෙන බව පෙන්වා දුන් කාරක සභා මෙහි පරමාර්ථය විය යුත්තේ අදාළ සමාජ අර්බුදය සහ හානිය වළක්වා ගැනීම බව අවධාරණය කරන ලදී. ඒ අනුව ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත පනත් කෙටුම්පතට අදාළ සංශෝධනය ඇතුළත් කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, එම සංශෝධන, පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළහැකි බව නිලධාරීහු පැවසුහ. මෙම රැස්වීම සඳහා ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ මන්ත්‍රීවරියන්, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංගයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 


2025-11-21

මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම අප‍ෙග් දේශපාලනයේ අරමුණයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ දේශපාලනයේ අරමුණ වන බව  කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්  මහත්මිය නැගෙනහිර සමාජ සංවර්ධන පදනමේ නියෝජිතයින් හමුවෙමින් පැවසීය.ඇය මේ බව සඳහන් කළේ  ප්‍රාදේශීය දේශපාලනය තුළ නියෝජනයක් නොමැති කාන්තා කණ්ඩායම් දේශපාලනික වශයෙන් අන්තර්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය නොවැ. 17 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදීය.රට තුළ වෙසෙන  විශේෂ ජන කණ්ඩායම් නියෝජනය වන  පරිදි නාමයෝජනා ලබා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් හැකියාව පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය.තවද, නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 10 දින දක්වා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නියෝජිතයන් සමඟද මෙහිදී සකච්ඡා විය.සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන් වන නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සමන්මලී ගුණසිංහ, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ හසාරා ලියනගේ, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත්,  සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.


2025-11-20

පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කැඳවයි

පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් දෙන ලද  නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව විමසීම සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ සොයාබලා නිර්දේශ ලබාදීම සඳහා පත්කළ කාරක සභාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පසුගියදා කැඳවා තිබිණි. පසුගිය 13 වන දා මෙම කාරක සභාව  එහි සභාපති  ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සළකා බැලිණි. ඒ අනුව මෙම ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. එසේම ඇතැම් නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් කාරක සභාවට දන්වන ලදී. කෙසේ වෙතත් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලුවලට අදාළව පෙත්සම්කරුගේ ද අදහස් විමසීමට අවශ්‍ය බව මෙහිදී තීරණය වූ අතර ඒ අනුව  ඒ සඳහා නැවත දිනයකදී පෙත්සම්කරුවන් ද කාරක සභාවට කැඳවීමට  තීරණය විය. මෙම රැස්වීම සඳහා  ගරු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් පී. පෙරේරා සහ ඔෂානි උමංගා  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks