පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-01-18
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
විෂමාචාර සහ විවිධ දුෂණ අක්‍රමිකතා වල නිරත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදීම ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සහාවේ (COPA) දැඩි අප්‍රසාදය පළවිය.
ඒ එම කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 10 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙදින කාරක සභාව හමුවට ලෙස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් කැඳවා තිබුනහ.
මෙහිදී අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජිවනෝපාය සඳහා සමෘද්ධිලාභීන් වෙත මාළු දැල් ලබාදීමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවයක් සඳහා වග කිවයුතු නිලධාරීන්ට එරෙහිව අනුගමනය කර ඇති විනයානුකුල ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේදී විමසන ලදී. ඒ අනුව ඒ සඳහා අනුගමනය කර විනයානුකූල ක්‍රියාමාර්ග ගැන සිය අප්‍රසාදය පළකරමින් එම සිදුවීම සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙස ලෙස කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය වෙත උපදස් ලබා දෙන ලදී. ඒ අනුව මින් ඉදිරියට එලෙස විෂමාචාර ක්‍රියාවන්හි නිරතවන නිලධාරීන්ට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසට කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
මේ අතර සමෘද්ධි ප්‍රතිලාභීන් රැකගැනීමට වහාම වැඩපිළිවෙලක් සකස් කරන ලෙස කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන ලදී. අස්වැසුම නොලබන සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර ඔවුන් සවිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය. එහිදී දැනට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව භාරේ පවතින අරමුදල් හතේ පවතින මුදල් ප්‍රමාණයන්, එම අරමුදල් මගින් සිදුවන සේවාන් පිළිබඳ විස්තර ඇතුලත් වාර්තාවක් ද කාරක සභාවට යොමු කරන ලෙසටද උපදෙස් ලබාදෙන ලදී.
සමෘද්ධි බැංකු පද්ධතිය පරිගණක ගත කිරීමේ ප්‍රගතියද කාරක සභාව තුළදී විමසා බැලිණි. ඒ අනුව දැනට සමෘද්ධි බැංකු 1089ක් ජාල ගත කර අවසන් බව නිලධාරීහු දැනුම් දුන්හ. කෙසේ වෙතත් තවමත් පුර්ණ ලෙස පරිගණක ගත කිරීම් ඔස්සේ සියලුම බැංකු, සේවා කටයුතු පත්වාගෙන නොයන බැවින් එක් එක් බැංකු සඳහා පද්ධති ගතවීම සඳහා දින වක වානු ලබා දී අවසානයේ සියලු බැංකු එක් පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන ආකාරයට රැගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව කාර්ය මණ්ඩලය සඳහා අනුමැතිය ලැබී ඇති බව ප්‍රකාශ කල සභාපතිවරයා ඒ අනුව කාර්යමණ්ඩලය සම්බන්ධව දැනට පවතින ගැටලු විසඳා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට අපේක්ෂිත කාර්යයන් පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසට ද උපදස් ලබා දුන් අතර එම නව සේවකයින් හැකි ඉක්මනින් බඳවා ගැනීමටද උපදෙස් ලබා දුන්නේය.
මේ අවස්ථාව සඳහා රාඡ්‍ය අමාත්‍ය ගරු ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක, ගරු ජේ. සී. අලවතුවල, ගරු අශෝක් අබේසිංහ, ගරු සිවඥානම් ශ්‍රීතරන්, ගරු ඩී. වීරසිංහ, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු වීරසුමන වීරසිංහ, ගරු මංජුලා දිසානායක, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ද මහත්මීන් ඇතුළු රාඡ්‍ය නිළධාරීහු පිරිසක් සහභාගීවී සිටියහ.
2025-09-15
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ගත යුතු නිර්දේශ නිකුත් කිරීම සිදු විය. මෙම නිර්දේශ නිකුත් කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 10 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මාගම්පුර වරාය කළමනාකරණ සමාගම 2013 ජූලි 05 වන දින සංස්ථාපනය කර තිබූ බවත් එම සමාගම විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් බලපත්‍රයක් මගින් හම්බන්තොට වරායේ ඉන්ධන සැපයුම්කරුවෙකු ලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් 2014 වර්ෂයේදී පෞද්ගලික බැංකුවකින් වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයක් (Corporate Guarantee) මගින් ඩොලර් මිලියන 24ක ණයක් ලබාගෙන තිබූ බවත් මෙහිදී අනාවරණය විය. නමුත් මෙම මුදලෙන් ඩොලර් මිලියන 18.82ක් (රු. මිලියන 6836) ක් 2023 දෙසැම්බර් වන විටත් පියවා නොතිබූ බවත් මෙම ණය මුදල අයකරගැනීම සඳහා අදාළ බැංකුව විසින් 2019 වර්ෂයේදී පරිපාලිත සමාගමට සහ අධිකාරියට විරුද්ධව නඩු දෙකක් පවරා ඇති බවත් මෙහිදී අනාවරණය විය. පැමිණි නිලධාරීන් මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂන කොම්ෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් ඊට අදාළ පරීක්ෂණය සිදු වෙමින් පවතින බවත්ය. එසේම 2022 ජුනි මස සිට ඈවරකරුවෙකු පත් කර මාගම්පුර වරාය කළමනාකරණ සමාගම ඈවර කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවත්ය. මේ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝව කාරක සභාව විසින් සාකච්ඡා කරන ලද අතර එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවයි. එසේම සමාගම ඈවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දුන් කාරක සභාව ණය ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට නිර්දේශ කරන ලදි. එසේම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර ඊට අදාළ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි. මේ අනුව මෙම සියලු කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද නිර්දේශ කරන ලදි.මීට අමතරව අධිකාරියේ සංයුක්ත සැලැස්ම පිළිබඳවද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන දයාසිරි ජයසේකර, ඩී.වී.චානක, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, දිලිත් ජයවීර, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
2025-09-12
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්විය. ඒ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා 2025.08.06 දින ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද (සැප්. 12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.සභාපතිධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරන ලදී.අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා, දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධුරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය. එමෙන්ම කාරක සභාවේ හිටපු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා සිදුකළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ අතර ඔහු කළ කාර්ය භාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බවද අභිනව සභාපතිවරයා ප්‍රකාශ කළේය. තවද නව සැළසුම් සකස් කොට කෝපා කමිටුවේ කාර්යභාරය තවදුරටත් විධිමත් කරමින් පවත්වාගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමින් පසුවන බව අභිනව සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් ,රෝහිත අබේගුණවර්ධන, ජේ.සී. අලවතුවල, චාමර සම්පත් දසනායක, හෙක්ටර් අප්පුහාමි, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, එම්. ඒ. එම්. තාහිර්, ලාල් ප්‍රේමනාත්, චානක මාදුගොඩ යන මහත්ම මහත්මීන් මෙන්ම අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-09-12
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (සැප්. 11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍යමය ස්වාධීනත්වයක් පවතින බවත් එම ආයතන මෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවටත් වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මූල්‍ය ස්වාධීනත්වයක් ලබාදීම වැදගත් බවයි. එමගින් පවතින දේශපාලන අධිකාරියෙන් බැහැරව ඕනෑම රජයක් යටතේ වඩාත් ස්වාධීනව කටයුතු කිරීමට එම ආයතන වලට හැකි බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය. මේ නිසා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කාරක සභාව තීරණය කිරීමද මෙහිදී සිදු විය.එසේම කොමිෂන් සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ කමිටු සාමාජිකයින්ගේ පාරිශ්‍රමිකය අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකයට අනුරූප සකස් විය යුතු බවට මෙම කාරක සභාව පෙන්වා දුන් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පවසන ලදි. ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකය සංශෝධනය වන ආකාරයෙන් මෙම නිලධාරීන්ගේ පාරිශ්‍රමිකය ද සංශෝධනය විය යුතු බව කාරක සභාවේ සභාපතිරයා පෙන්වා දුන් අතර ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද හෙතෙම පැවසීය. මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, නිමල් පලිහේන, තිළින සමරකෝන් සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
2025-09-11
2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු අදායමට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගය සඳහා ශ්‍රී ලංකා රජය ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තාකරමින් වසර මැද ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැන්වුහ. 2025 ජනවාරි සිට ජුනි දක්වා අර්ධ වාර්ෂික ඇස්තමේන්තු ගත අදායම වූ රුපියල් බිලියන 2,241න් එකතු කරන ලද මුළු ආදායම රුපියල් බිලියන 2,318 ක් වූ අතර එය අර්ධ වාර්ෂික ඇස්තමේන්තුව 3% කින් ඉක්මවා ගොස් ඇති බව දත්ත ඉදිරි පත්කරමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ..මේ අතර 2025 පළමු භාගයේදී රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,467ක් වී ඇති අතර එම මුදල 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු වියදමට සාපේක්ෂව රුපියල් බිලයන 367කින් වැඩිවී ඇත.මෙම වැඩිවීමේ ප්‍රධාන සාධයක් ලෙස ණය සේවාකරණය මුලික වී ඇති අතර 2025 පළමු භාගයේදී එය රුපියල් බිලියන 1,984 ක් ව ඇත.රාජ්‍ය අංශයේ වැටුප්, විශ්‍රාම වැටුප්, අස්වැසුම සහ සමෘද්ධි වැනි සමාජ ආරක්ෂණ ශුද්ධ වැඩසටහන් ඇතුළු අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් සඳහා පුනරාවර්තන වියදම් ද ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.තවද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වර්ෂයට සාපේක්ෂව (ජනවාරි - ජුනි) 47% ක වර්ධනයක් වාර්තා කරමින් 2025 ජනවාරි සිට ජුනි අතර කාලය තුළ රුපියල් බිලියන 996 ක අදායමක් වාර්තා කර ඇත.මෝටර් රථ ආනයනයෙන් ලැබුණු ආදායම මෙම වර්ධනයට සැලකිය යුතු ලෙස හේතු වී අතර එමඟින් රුපියල් බිලියන 429 ක් ලැබී තිබුණි. වාහන ආනයනය සඳහා විවෘත කළ පසු මේ දක්වා ශ්‍රී ලංකාවට වාහන 220,026 ආනයනය කර ඇති අතර ඉන් වාහන 154,537ක් ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශන කටයුතු අවසන් කර ඇති බවද මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ.තවද බහාලුම් නිෂ්කාශන කටයුතු සඳහා රේගුවේදී දින 9 - 10 අතර කාලයක් ගත වීම හේතුවෙන් ආනයනකරුවන් මුහුණ දෙන ගැටලුවක් පිළිබඳව ද කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් විමසීය. ඒ අනුව එම ගැටලුවට පිළියම් සකස් කරමින් දින 2 - 3 වැනි කාලසීමාවකදී අදාළ භාණ්ඩවල නිෂ්කාශන සිදුකර අවසන් කිරීමට ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවද එම දෙපාර්තමේන්තු නිලධාරීහු කාරක සභවට දැනුම් දුන්හ.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ද (IRD) වර්ධනයක් වාර්තා කළ අතර,2025 පළමු භාගයේදී ඇස්තමේන්තු ගත අදායම වූ රුපියල් මිලියන 1,022,691 න් රුපියල් මිලියන 1,040,388කක අදායමක් වාර්තාකර තිබුණි. මෙහිදී එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වයස 18 වැඩි ශ්‍රී ලාංකිකයින් මිලියන 1.3 පමණ පිරිසකට අදාළව TIN අංකය ( Tax Identification number ) නිකුත් කර ඇති බවද පෙන්වා දුන්හ.මෙහිදී සභාපතිවරයා, මෙම දත්ත අනුව මෙම වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කයට ගමන් කළ හැකිද යන්න කරුණු විමසමින් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් මේ වසරේ ආර්ථික වර්ධනය 3.1% පමණ වනු ඇති බවට උපකල්පනය කළ හැකි බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.එමෙන්ම දුම්වැටි සඳහා භාවිතා වන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයේන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳවද කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.වර්ෂ අවසානයේ මෙරට විදේශ සංචිත පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය මගින් කර ඇති පුරෝකතනයන් වල පරස්පරතාව පිළිබඳවද කාරක සභාවේදී සාකච්ජා විය. මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, චම්පික හෙට්ටිආරච්චි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks