E   |     |  

2024-05-15

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන් වෙත ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලයි

  • ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දරුවන්ගේ පාසල් පැමිණීම වැඩිවී ඇති බව අනාවරණය වෙයි
  • පාසල් ළමුන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රු. බිලියන 16.6 ක් වැයවෙයි
  • පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසට කමිටුවෙන් උපදෙස්

 

දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙල සමග ප්‍රාථමික පාසල්වල සහ සිසුන් 100 ට අඩු පාසැල්වල සිසුන් පාසැලට පැමිණීමේ වර්ධනයක් සිදුවී ඇත්දැයි සොයාබලා වාර්තාවක් හා ආහාර ලබා දෙන ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් ප්‍රමාණය හා සිසුන් 100 ට අඩු පාසැල්වලට අදාළව ආහාර ලබා දෙන සිසුන් ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය. එයට අමතරව සමස්ථ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක්ද ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

ඉහත කරුණු සාකච්ඡා වූවේ ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේදීය.

පාසල් ළමුන්ට ලබාදෙන දිවා ආහාර වේල සම්බන්ධ අවධානය යොමු කළ ක්‍රම හා  විධි පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වූයේ රජයේ පාසල්වක ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා ආහාර ලබා දීම 2024 වසරේදී ලක්ෂ 11 සිට ලක්ෂ 16 දක්වා ඉහළ ගොස් ඇති බව ය. ඒ අනුව එක් දරුවෙකු සඳහා මෙහිදී වෙන් කෙරෙන මුදල රු. 80 සිට රු. 110 ක් දක්වා වැඩි කර තිබේ.

මිට අදාළ ආහාර වේලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ද නිර්ණායක සකස් කර ඇති අතර ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධ පසු විපරම් සිදු කිරීම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කොට්ඨාස නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙතින් සිදුකෙරෙන බව ද කාරක සභාවේ දී අනාවරණය විය.

පසුගිය සමයෙහි දී පාසල් සිසුන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව වාර්තා වූ බවත්, මෙම ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දරුවන්ගේ පාසල් පැමිණීම වැඩිවී ඇති බවත් ප්‍රකාශ විය.

පාසල් ළමුන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රු. බිලියන 16.6 ක් වැයවන නමුත් තවත් රු. බිලියන 4 ක පමණ අඩුවක් පවතින බව ද ප්‍රකාශ විය. පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල කැමැත්තකින් පසුවන නමුත්, සෘජුව රජය වෙත මෙම ආධාර ලබාදීමට ඔවුන් නොකැමැත්තක් දක්වන බව සභාපතිවරයා මෙහිදී පැවසීය. ගුරුදෙගුරු සමිති, පාසල් සංවර්ධන සමිති වැනි පාර්ශවයක් වෙත එම ආධාර ලබාදීම සඳහා නීතිමය බාධාවක් තිබේද යන්න සොයාබලන ලෙස ද හෙතෙම උපදෙස් දුන්නේ ය. එසේම, සමාජ මාධ්‍ය පාදක කරගෙන පැමිණිලි භාර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස උපදෙස් දුන් සභාපතිවරයා වට්ස්ඇප් මගින් ලබා දෙන ආහාර වේලේ ප්‍රමිතිය පිළිබඳ නිතිපතා වාර්තා කිරීම වැනි ක්‍රමවේදයක් භාවිතා කරන ලෙස ද, ප්‍රකාශ කළේ ය.

එයට අමතරව අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ 2024 මැයි මස පවුල් 1,000,000ට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ ගෙවා ඇති බවත්, මෙයින් අන්ත දිළිඳු  හා දිළිඳු යන වර්ගීකරණය යටතේ පවුල් 313,947 ක් හා 653,047 ට ප්‍රතිලාභ ගෙවා ඇති බවත් කාරක සභා සභාපතිවරයාගේ විමසුමට පිළිතුරු දෙමින් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.

සුදුසුකම් ලැබූ 200,000 ට ජාතික හැඳුනුම්පත් හා ගිණුම්වල ගැටළු වැනි විවිධ හේතු මත ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබුවද ප්‍රතිලාභ ගෙවීමට නොහැකි වී ඇති බවත් මෙහිදී අනාවරණය විය. තවද, අභියාචනා විසඳීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව විසින් විමසන ලදී.

මේ වසරේ මැයි මස එක් එක් කාණ්ඩය යටතේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවූ මුදල් ප්‍රමාණය, ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව, ඉදිරිපත් කර ඇති අභියාචනා ප්‍රමාණය, අලුතින් තෝරා ගැනීමට නියමිත ප්‍රතිලාභීන් ප්‍රමාණය ආදිය පිළිබඳ නිවැරදි තොරතුරු හා 2024 වසරේ ජුලි මස සිට ලක්ෂ 24ට ප්‍රතිලාභ ගෙවීමට නියමිත බැවින් සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය හා නිර්ණායක පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත නිර්දේශ කළේය.

එමෙන්ම, ග්‍රාම නිලධාරී වසමක අස්වැසුම ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ කවර නිලධාරී කාණ්ඩයද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බැවින් ඒ පිළිබඳ වාර්තාවක්ද,  විශාල පිරිසක් සාවද්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගෙන ඇති බව හෙළිදරව් වී ඇති බැවින් ප්‍රතිලාභ ලබා ගැනීමට අසත්‍ය තොරතුරු සැපයූ අයගේ සංඛ්‍යාලේඛන පිළිබඳ වාර්තාවක්ද කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත නිර්දේශ කළේය.

විදාතා මධ්‍යස්ථාන සහ වාණිජ බැංකුවල සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වූ ණය යෝජනා ක්‍රමය මේ වැඩපිළිවෙළට සම්බන්ධ කරගන්නා ලෙස ක්‍රම හා  විධි කාරක සභාව මගින් මින් පෙර ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක වී ඇති ආකාරය කාරක සභා සභාපතිවරයා විසින් විමසන ලදී. මෙහිදී යෝජිත පවුල් බලාත්මක කිරීමේ වැඩසටහන පිළිබඳ අදාළ කාල සීමාවන් සමග තොරතුරු වාර්තාවක් තම කාරක සභාව වෙත ලබා දෙන ලෙස සභාපතිවරයා පැවසීය.

වැඩිහිටියන් සඳහා ලබා දෙන මාසික දීමනාව සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් කෙරුණු අතර වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන මාසික දීමනාව සළකා බැලීමේ දී මේ සඳහා වැය වන වියදම පිළිබඳ සවිස්තර වාර්තාවක් ක්‍රම හා  විධි පිළිබඳ කාරක සභාව වෙත ලබාදෙන ලෙස මෙහිදී සභාපතිවරයා විසින් උපදෙස් දෙන ලදී.

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සඳහා එහි සාමාජික රාජ්‍ය අමාත්‍ය ගරු නීතීඥ සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු දයාසිරි ජයසේකර, ගරු එස්.එම්.එම්. මුෂාරෆ්, ගරු සංජීව එදිරිමාන්න, ගරු උදයන කිරිඳිගොඩ හා ගරු සුදත් මංජුල යන මහත්වරුන් ද එක්ව සිටියහ.

 

1 2

 



සම්බන්ධිත පුවත්

2025-07-28

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම  පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු  සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ  අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු  අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු   පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු  කාරක සභාවට  දීර්ඝ  ලෙස  කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු  ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල  විශේෂඥයින්  සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව  පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්  පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2025-07-28

ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා  පාර්ලිමේන්තුවේදී   රැස්වූ අතර  එහිදී  ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින්  2026 වසරේදී  දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු   කාරක සභාවට  සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද  ඔවුහු වැඩිදුරටත්  අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී  කාරක සභාව  විසින්  ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි  නිලධාරීන්ගෙන්  විමසා සිටි අතර එයට   ප්‍රතිචාර දක්වමින්  අමාත්‍යාංශ නිලධාරීහු  දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත්  නිරාකරණය නොවූ  විගණන විමසුම් පිළිබඳව  කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත  කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම  මහත්මීහු  මෙන්ම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු  පිඑඉසක්  සහභාගි වූහ. 


2025-07-28

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවේ

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක්  පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ  නම  උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත. එමෙන්ම  බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන්  යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද  අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා  ජිනසේන  මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන  කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 


2025-07-28

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරේ

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks