පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-05-17
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග, ගැටලු, පවතින අවස්ථා සහ ඒවාට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට ගත හැකි පියවර සහ යෝජනා පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ දෙවන සැසිය ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් පසුගියදා (මැයි 13) කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ සැසිය සදහා එම සංසදයේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ, වැඩබලන කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන්, උතුරු පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ ලේකම් ඇම් වාගීෂ්, කණ්ඩාවලෙයි, කරච්චි, පච්චිලෙයිපල්ලි, පූනකරි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) උපදේශිකා ශ්‍යාමා සල්ගාදු, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් සභාපති රසාංජලි පතිරගේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
කිලිනොච්චිය දිස්ත්‍රිකයේ ජීවත් වන ආබාධ සහිත තැනැත්තන්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධානවල නියෝජිතයන්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආබාධ සහිත දරුවන් සදහා ඉගැන්වීම් සිදුකරන ආයතන කිහිපයක නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ගේ සම්බන්ධිකරණ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආබාධ සහිත පුද්ගලයින් රටේ පාලන ව්‍යුහයට සහ සමාජයට අන්තර්කරණය කිරීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සහ යෝජනා රැස්කිරීම මෙහිදී සිදුවිය.
සාකච්ජාව සඳහා සහභාගිවී සිටි අබාධ සහිත පිරිස හා සංවිධාන තමන්ගේ අදහස්, යෝජනා හා ගැටලු මෙහිදී ඉදිපත් කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපති ගරු ඩලස් අලහප්පෙරුම මහතා උතුරු පළාතේ සෑම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවකටම සහ සහ සෑම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවකටම අදාළව ආබාධ සහිත පුද්ගල මෙහෙයුම් කමිටුවක් පිහිටුවන ලෙසත් එම සෑම සම්බන්ධීකරණ කමිටුවකදීම ආබාධිත ප්‍රජාවගේ ගැටළු සාකච්ඡා කිරීමට න්‍යාය පත්‍රයේ විශේෂ ස්ථානයක් වෙන් කරන ලෙසටත් ඉල්ලා සිටියේ. එමෙන්ම එම ක්‍රියාවලිය දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක වීමේ වටිනාකම ගැනද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම අවම වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රජයේ ආධාර ලබන එක පාසලක් හෝ තිබුනද උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ වෙනුවෙන්ම ඇත්තේ එක් පාසලක් පමණක් වීම බලවත් අසාධාරණයක් බව සංසදයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ඉඩමක් ලබා දෙන්නේ නම් එම පාසල ඉදිකිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ජීවත් වන රංජිත් චන්ද්‍රසේකර නමැති ශ්‍රී ලාංකික බුද්ධිමත් ත්‍යාගශීලයකු කැමැත්ත පළකර ඇති එබැවින් ඒ සඳහා ඉඩමක් වෙන් කිරීමට කටයුතු කරන්නයි දිසාපතිවරයාගෙන් හා සමාජ සේවා ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේය. එසේම දැනට අකර්මණ්‍යව පවතින කිලිනොච්චිය වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවන බවද සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
2012 වසරේ මෙරට සිදු කළ ජන සංගණනය අනුව සමස්ත ජන ගහනයෙන් 8.2% එනම් ලක්ෂ 17කට ආසන්න පිරිසක් අබාධ සහිත පිරිස් බව හඳුනාගෙන ඇති බව සභාපතිවරයා පැවසුවේය. කෙසේ වෙතත් මෙම දත්ත එක් එක් දිස්ත්‍රික්ක හා ප්‍රදේශ අනුව බලන විට වෙනස් කම් දක්නට ලැබෙන බව සභාපතිවරයා නිදසුන් ගෙනහැර දක්වමින් පැහැදිලි කළේය. දිවයින පුරා අබාධ සහිත පිරිස් සම්බන්ධයෙන් තොරතරු ඇතුලත් නිවැරදි දත්ත පද්ධතියක් නොමැතිවීමේ ගැටලුව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
මේ අතර අබාධ සහිතවූවන්ට පොදු ප්‍රවාහන පහසුකම් වල පතින අඩු පාඩුකම් පිළිබඳව පැමිණ සිටි ප්‍රපිරිස් ගැටලූ ඉදිරිපත් කළහ. ඒ අනුව මෙරට ප්‍රවාහන පද්ධතියට එකතු කිරීම සඳහා බස්රථ ගෙන්වීමට නුදුරේදීම කටයුතු සැලසුම් කර ඇති බවත් එම ලැබෙන බස් රථ වලින් ප්‍රමාණයක් අබාධ සහිත වූවන්ගේ ප්‍රවාහන කටයුතු පහසු කිරීම වෙනුන් යෙදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව සංසදයේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
2025-11-22
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවලවල 2025 සැප්තැම්බර් මස දක්වා සමස්ත මූල්‍ය කාරය සාධනය පිළිබඳ සලකා බැලීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සිදු විය.මේ සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා (නොවැ. 20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් එ් ඒ ආයතනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදු විය. එසේම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් 2026-2030 කාලසීමාවට අදාළ මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය සහ 2026 වර්ෂයට අදාළ ණය ගැනීමේ සැලැස්ම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද මෙහිදී සිදු විය.එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් එම ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද සිදු විය. මෙහිදී විදේශීය සෘජු ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 827 විදේශීය සෘජු ආයෝජන ලෙස ලැබි ඇති බවයි. මේ අනුව කාරක සභාව පෙනවා දුන්නේ ඉදිරි වසර කිහිපය තුළ විදේශ ආයෝජන අඛණ්ඩව වැඩි දියුණු වන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් ආයතන විසින් ඵලදායී පියවර ගත යතු බවයි. මීට අමතරව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදු විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-11-22
ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමතිය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳවූ ලියවිල්ල සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් හා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය එක්ව දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කරන ලදී.ඒ එම කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතිඥ) ලක්මාලි හේමවන්ද්‍ර මෙනවිය සහ සමන්මලී ගුණසිංහ මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.මෙහිදී අදහස් දක්වමින් නිලධාරීන් පැවසුවේ, මෙම යෝජිත පනත් කෙටුම්පතට අදාළ මුල් කෙටුම්පත 2024 ජනවාරි මාසයේදී පල කරන ලද බවයි. එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම කෙටුම්පතට පෙත්සම් ගොනු වූ බවත්, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතුළත් කළ යුතු යැයි නියෝග කරන ලද සංශෝධන, මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් වූ කාරක සභා අවස්ථා සංශෝධන සහ ප්‍රතිපත්තිමය වශයෙන් ඇතුළත් විය යුතු වෙනත් සංශෝධන ඇතුළත් කරමින් නව කෙටුම්පත සකස් කර ගැසට් පත්‍රය සකස් කර ඇති බව නිලධාරිහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. ඒ අනුව මෙම කෙටුම්පත දසවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරීහු පැවසූහ.ඒ අනුව, මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, ඒවායේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සහ 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීමට ද බලාපොරොත්තු වන බව නිලධාරීන් පැවසූහ.මෙම නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය තුළ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් නියෝජනය වන ආකාරයේ සාමාජිකයෙකු ඇතුළත් නොවීම ප්‍රශ්නයක් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය නියාමනයක් නොමැති වීම තුළ විශාල වශයෙන් පීඩාවට පත්ව සිටින්නේ කාන්තාවන් බවත්, ඔවුන්ව නියෝජනය වන ලෙසට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු සිටීමේ වැදගත්කම ගරු මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ හෝ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයෙක් හෝ එම විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් හෝ මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සිටීම යෝග්‍ය බව ගරු මන්ත්‍රීවරුන්ගේ මතය විය.මේ අතර, මෙම කෙටුම්පත් ලියවිල්ලේ අන්තර්ගත අනෙකුත් කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය කිසිදු නියාමානයක් නොමැතිව බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල සමාජ අර්බුදයක් ඇති වී තිබෙන බව පෙන්වා දුන් කාරක සභා මෙහි පරමාර්ථය විය යුත්තේ අදාළ සමාජ අර්බුදය සහ හානිය වළක්වා ගැනීම බව අවධාරණය කරන ලදී. ඒ අනුව ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත පනත් කෙටුම්පතට අදාළ සංශෝධනය ඇතුළත් කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, එම සංශෝධන, පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළහැකි බව නිලධාරීහු පැවසුහ. මෙම රැස්වීම සඳහා ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ මන්ත්‍රීවරියන්, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංගයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
2025-11-21
මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ දේශපාලනයේ අරමුණ වන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය නැගෙනහිර සමාජ සංවර්ධන පදනමේ නියෝජිතයින් හමුවෙමින් පැවසීය.ඇය මේ බව සඳහන් කළේ ප්‍රාදේශීය දේශපාලනය තුළ නියෝජනයක් නොමැති කාන්තා කණ්ඩායම් දේශපාලනික වශයෙන් අන්තර්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය නොවැ. 17 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදීය.රට තුළ වෙසෙන විශේෂ ජන කණ්ඩායම් නියෝජනය වන පරිදි නාමයෝජනා ලබා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් හැකියාව පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය.තවද, නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 10 දින දක්වා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නියෝජිතයන් සමඟද මෙහිදී සකච්ඡා විය.සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන් වන නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සමන්මලී ගුණසිංහ, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ හසාරා ලියනගේ, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත්, සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.
2025-11-20
ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඉඩම්, නිවැරදිව මිනුම් කර කඩිනමින් සිතියම් ගත කර අවසන් කිරීම කෙරෙහි පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ 2021, 2022 සහ 2023 යන වසරවල රජයේ සමාගම්, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා සහ මණ්ඩල කිහිපයක වාර්ෂික වාර්තා සහ වාර්ෂික කාර්ය සාධන වාර්තා සලකා බැලීම සඳහා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී කරුණු දක්වමින් මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීහු දැනට පුරෝකථනය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඉඩම් කට්ටි මිලියන 16.5 පවතිනු ඇති බවත් ඉන් ඉඩම් කට්ටි මිලියන 2.5 මිනුම් කර සිතියම් ගත කර ඇති බවත් කාරක සභාවට දැන්වූහ.ඒ අනුව ඉතිරි ඉඩම් කට්ටි හැකි ඉක්මනින් මිනුම් කර සිතියම් ගත කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා ඒ සඳහා අදාළ සියලුම පාර්ශ්ව කාරක සභාවට කැඳවා ගත හැකි ක්‍රියාමාර්ග හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය.එමෙන්ම 2022 සහ 2023 වසර සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා ද කාරක සභාවේදී සලකා බලන ලදී.තවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නීත්‍යානුකූල ගිවිසුම්වලට එළඹීමෙන් තොරව ඉඩම් බදු දීම නිසා පවතින හිඟ බදු පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. ඒ අනුව ඉදිරියේදී විධිමත් බදු ගිවිසුම්වලට යටත්ව ඉඩම් ලබාදීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා හිඟ බදු අයකර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර, හිඟ බදු පිළිබඳ සියලු කරුණු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබාදුන්නේය.මෙම රැස්වීම සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඥානමුත්තු ශ්‍රීනේෂන්, සුසන්ත කුමාර නවරත්න, සුදත් බලගල්ල සහ නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks





