E   |     |  

2024-06-14

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

බෙදුම්වාදී යුද්ධයේදී සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුධ අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහිව යුධ අපරාධ සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා - ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති සරත් වීරසේකර

මෙරට පැවැති බෙදුම්වාදී යුද්ධයේදී සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුධ අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහිව යුධ අපරාධ සම්බන්ධව සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් අවුරුදු 2ක සිට ස්විට්සර්ලන්තයේ ජිනීවාහි 46/1 යෝජනාව අනුව පිහිටුවා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා තවදුරටත් සඳහන් කළේ එම යාන්ත්‍රණය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ මෙරට හමුදා නායකයන්ට එරෙහිව සැලකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ඔවුන් සතුව ඇති බවයි.

මෙම අදහස් පළවූයේ පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු (ආචාර්ය)  සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 05 රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී තවදුරටත් අවධාරණය වූයේ මෙලෙස යුධ අපරාධ සිදු කරන ලදැයි සාක්ෂි ලැබී ඇති මෙරට හමුදා නායකයන්ට එරෙහිව සර්ව ලෝක අධිකරණ බලය යටතේ අදාළ රටවල සහ  ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීම සඳහා දැනට රටවල් කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරමින් පවතින බවයි. මෙම බාහිර යාන්ත්‍රණය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණ ද,  මෙරට හමුදා නායකයන්ට එරෙහිව දිගින් දිගටම සාක්ෂි එකතු කරමින් සිටින බවත්  මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ සර්ව ලෝක අධිකරණ බලය මත මෙරට හමුදා නිලධාරීන් ලෝකයේ ඕනෑම රටකදී අත්අඩංගුවට ‌ගෙන ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිය හැකි වීමයි. මෙහිදී මෙරට පැවැති යුද්ධය ඒල්ටීටීඊ සංවිධානයට එරෙහිව සිදු කරන ලද්දක් නොව දෙමළ ජාතීන්ට එරෙහිව සිදු කරන ලද්දක් ලෙස හුවා දැක්වීමට මෙම බාහිර යාන්ත්‍රණයට හැකියාව ඇති බවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම ක්‍රියාකාරීත්වය මෙරට යුධ විරුවන්ගේ ස්වාභිමානයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ලාංකිය හමුදා සාමාජිකයන්ට එරෙහිව ලොව අනෙකුත් රටවල් මඟින් යුධ අපරාධ චෝදනා එල්ල කිරීම සහ ජාත්‍යන්තර යුධ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කිරීම නැවැත්වීමට වහා කටයුතු කළයුතු බවද අවධාරණය විය. මෙහිදී කාරක සභාව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසා සිටියේ ජීනීවා මානව හිමිකම් සංවිධාන ගෙන එන ලද බාහිර යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් සතුව පවතින උපාය මාර්ග මොනවාද යන්න සහ ජාත්‍යන්තර යුධ අධිකරණයේ නඩු පැවරුවහොත් ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට ඇති සුදානම පිළිබඳවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමා‍ත්‍යාංශය පැවසුවේ ජීනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාවන්ට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් පළකර මේ සම්බන්ධව අපක්ෂපාතීව කටයුතු කරන රටවල් දැනුවත් කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කර ඇති බව යි.  

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමට කාරක සභාව හමුවට කැඳවන ලද නීතීඥ දර්ශන වීරසේකර මහතා ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාවට බාහිර යාන්ත්‍රණය සාක්ෂි සහිතව බිඳ හෙළිය හැකි ශක්තිමත් දේශීය යාන්ත්‍රණයක් තිබිය යුතු අතර මේ සඳහා එල්.එල්.ආර්.සී වාර්තාව සහ පරණගම වාර්තාවේ කරුණු ඇතුළත් කර ශක්තිමත් දේශිය දත්ත ගොනුවක් සකස්කොට තිබිය යුතු බවයි.

ස්ථාපිත කිරීමට යෝජිතව ඇති සත්‍යය සහ ප්‍රතිසංධානය සම්බන්ධ කොමිෂන් සභාව මඟින් ද තවදුරටත් මෙරටට විරුද්ධව පවතින බාහිර බලවේගවලට සහයෝගයක් ලැබෙනු ඇති බව කාරක සභාවේ සභාපති ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ද මෙදින කාරක සභාවේදී සලකා බලන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇති පරිදි නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සංශෝධන සියල්ල සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි විය.

මීට අමතරව මෙරටට ගැලපෙන පරිදි ත්‍රස්තවාදය යන පදය අර්ථ දක්වා නොමැති බව ද, ත්‍රස්තවාදියා බිහි වනුයේ පුහුණුවීම් ගණනාවක ප්‍රතිඵලයක් මඟින් බැවින් මෙම පුහුණුවීම්, චින්තන විපර්යාස බිහිවන කාලයේදී ත්‍රස්තවාදියා හසු කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති බවද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.

 

soc-ns-chair



සම්බන්ධිත පුවත්

2025-07-28

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරේ

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ. 


2025-07-28

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවේ

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක්  පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ  නම  උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත. එමෙන්ම  බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන්  යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද  අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා  ජිනසේන  මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන  කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 


2025-07-28

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම  පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු  සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ  අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු  අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු   පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු  කාරක සභාවට  දීර්ඝ  ලෙස  කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු  ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල  විශේෂඥයින්  සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව  පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්  පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2025-07-28

ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා  පාර්ලිමේන්තුවේදී   රැස්වූ අතර  එහිදී  ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින්  2026 වසරේදී  දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු   කාරක සභාවට  සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද  ඔවුහු වැඩිදුරටත්  අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී  කාරක සභාව  විසින්  ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි  නිලධාරීන්ගෙන්  විමසා සිටි අතර එයට   ප්‍රතිචාර දක්වමින්  අමාත්‍යාංශ නිලධාරීහු  දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත්  නිරාකරණය නොවූ  විගණන විමසුම් පිළිබඳව  කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත  කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම  මහත්මීහු  මෙන්ම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු  පිඑඉසක්  සහභාගි වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks