පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-07-12
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
කොළඹ 02 ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 06 ක පමණ ඉඩමක් 2019 වසරේදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතියකින් තොරව රුපියල් බිලියන 12කට 99 අවුරුද්දකට බදු දී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මෙම ඉඩමට අදාළ බදු ගිවිසුම කෙටුම්පත් කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ හා අනුමත කළ බදු කොන්දේසිවලට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත නොකළ වෙනත් කොන්දේසි ඇතුළත් කර ඇති බව හෙළිදරව් විය. කෙසේ වෙතත් අදාළ ගිවිසුම් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් නීති අධ්‍යක්ෂට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර අදාළ ඉඩමේ සංවර්ධන කටයුතු මේ දක්වා සිදු කර නොමැති බවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
මේ පිළිබඳ කරුණු අනාවරණය වුයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 09දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව ඩී. ආර් විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි අක්කර 2 රූඩ් 2යි පර්චස් 21.4ක ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රුපියල් මිලියන 330ක අලාභයක් අධිකාරියට දැරීමට සිදුවූ බවද මෙහිදී අනවරණය විය.ඒ අනුව මෙම සිදුවීම් පිළිබඳව විධිමත් වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙහිදී කරුණු දක්වමින් ජාතික විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නාගරික සංවර්ධන අධිකාරියේ ගිණුම් පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගෙන තිබෙන බව පෙන්වා දුන්හ. අධිකාරිය සතු අයෝජන ඉඩම්වල වටිනාකම් තක්සේරු කර ඇති ආකාරයද ප්‍රශ්නකාරී බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.පාර්ලිමේන්තු සංකීර්ණය පවතින ඉඩමේ අයිතිය තවමත් නාගරික සංවර්ධන අධිකාරිය සතුවන බව පෙන්වා දුන් විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එම ඉඩමේ හිමිකාරිත්වය පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබා දුන්හ. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ආයෝජන ඉඩම්වල සියලු විස්තර ඇතුලත් සම්පුර්ණ වාර්තාවක් කාරක සභාවට සති දෙකක් තුළ යොමු කරන ලෙසට උපදෙස් ලබා දුන්නේය.
කොළඹ අවට ජිවත් වෙන පැල්පත් වාසීන් වෙනුවන් නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ රජයේ අරමුදල් මිලියන 48,156 භාවිත කර නිවාස ව්‍යාපෘති 22ක නිවාස එකක 13,602 ක් සම්පුර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය නිමවා ඇත. කෙසේ වෙතත් එම මහල් නිවාස සංකීර්ණ වල නිවාස 66ක් තවමත් හිස්ව පවතින බව විගණ කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දුන්හ. එම හිස්ව පවතින නිවාස වල හැකි ඉක්මනින් අදාළ හිමිකරුවන් පදිංචි කිරීමට පියවර ගන්න බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පැවැසුහ. කෙසේ වෙතත් ඉදිකිරීම් අවසන්වී ඇති නිවාස ව්‍යාපෘති වලින් මේ වන විට සහධිපත්‍ය කළමනාකරණ සහතිකය ලබාගෙන ඇත්තේ එක් නිවාස ව්‍යාපෘතියක් සඳහා පමණක් බව විගණ කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දුන්හ. ඒ හේතුවෙන් 2023 හා 2024 වසරේ මැයි දක්වා නිවාස නඩත්තුව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 667.6ක වියමක් දරා ඇති බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව නිවාස වල හිමිකාරිත්වය අදාළ පිරිස් වෙත පැවරීමෙන් පසු නිවාස නඩත්තු කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත්වන බව පෙන්වා දුන් එම නිලධාරීහු අදළ නිවාස සංකීර්ණයේ නිවෙස් හිමියන්ට නඩත්තු කටයුතු සිදුකරගෙන යාම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පෙන්වා දුන්හ.
තවද දෛනිකව කොළඹ නගරට පැමිණෙන ජනතාවගේ වාහන නතර කර තැබීම සඳහා පහසුකම් සැලසීමට ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය.අධිකාරිය විසින්ම ඉදිකිරීමට යෝජනා කරන ලද රථ ගාල් 2හිම වැඩ 2021 වසරේ අතරමග නවතා දමා තිබු අතර මේ දක්වා රුපියල් මිලියන 230 මුදලක් වියදම් ලෙස දර ඇති බව කාරක සභාව පෙන්වා දෙන ලදී. ඒ අනුව මෙම රථ ගාල් 2 පවතින තත්වයෙන් භාවිතයට ගතහැකි ආකාරයට වැඩ නිමකිරීම සඳහා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
මේ රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දයාසිරි ජයසේකර, ගරු නීතිඥ මධුර විතානගේ, ගරු සංජීව එදිරිමාන්න, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2025-11-08
රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ 17 වන කාණ්ඩායමේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු, තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගෙන ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.2023 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් ලැබූ ශිෂ්‍යයන්, රුහුණ සම සෞඛ්‍ය පීඨයට තේරී පත්වී වසරකට අධික කාලයක් ගත වී තිබෙන නමුත් සම සෞඛ්‍ය පීඨයේ පවතින මානව සම්පත් හිඟය හේතුවෙන් මේ දක්වා එකී ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බවද විශ්වවිද්‍යාල බලධාරීහු පැවැසුහ.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් 30.10.2025 වන දින පාර්ලිමේතුන්වේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීම සඳහා ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියේය. මෙහිදී අදහස් දක්වමින් විශ්වවිද්‍යාල බලධාරීහු රුහුණ සම සෞඛ්‍ය පීඨයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව කාරක සභාවට කරුණු ඉදිරිපත් කළහ.කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය මානව සම්පත ලබාදීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවත් එම නිලධාරීහු පැවසුහ.මෙහිදී අදහස් දක්වමින් ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා උද්ගතවී ඇති ගැටලුව හේතුවෙන් සිසුන් 250 ක පිරිසක් දැඩි පීඩාවකට පත්ව ඇති බවත් එම ගැටලුව නිරාකරණය කිරීමට තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගෙන අධ්‍යන කටයුතු ආරම්භ කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර අදාළ පියවරයන් කඩිනමින් ක්‍රියාත්මක කර සම සෞඛ්‍ය පීඨයේ 17 වන කාණ්ඩයේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාලයේ නිලධාරීහු පැවසුහ.මේ අතර 2025 වර්ෂය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු සහ ක්‍රීඩා යන අමාත්‍යාංශ වල අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සහ 2025.12.31 දක්වා අපේක්ෂිත ප්‍රගතිය ද මෙදින කාරක සභාවේදී සලකා බලන ලදී. එහිදී අදාළ අමාත්‍යාංශවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පොදුවේ බලපාන ගැටලු කාරී තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් අපේක්ෂිත මට්ටමට ළඟා කරගැනීමට නොහැකි වූ බව අමාත්‍යාංශ ලේකම්වරු පෙන්වා දුන්හ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ගොඩනැගිලි ඉදිකිරිමේදී පවතින ගැටලු හේතුවෙන් අදාළ ප්‍රගතිය ලබාගැනීමට අපොහොසත් වී ඇති බවත් මේ වසරේ තවත් කෙටි කාලයක් පවතින බැවින් අදාළ ප්‍රගතීන් වැඩි කරගැනීමට අපේක්ෂා කරන බවත් පැවැසුහ.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා, සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ යන මහත්වරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු සහ ක්‍රීඩා යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති, සම සෞඛ්‍ය පීඨයේ පීඨාධිපති හා ආචාර්ය මණ්ඩලයේ සමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-11-08
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව සංවිධානය කරයි ශ්‍රී ලංකාව පුරා කාන්තා නායිකාවන් සම්බන්ධ කරන සබඳතා ජාලයක් ගොඩනගමින් කාන්තා නායකත්වය ප්‍රාදේශීය මට්ටමෙන් ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා යාපනයේදී පැවැත්විණි. කාන්තා නායකත්වය ශක්තිමත් කිරීමේ නව පියවරක් සනිටුහන් කළ මෙම වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඒකාබද්ධව සංවිධානය කර තිබිණි.මෙහිදී පාර්ලිමේන්තු, පළාත් පාලන, අධ්‍යාපන සහ ව්‍යාපාරික වැනි අංශ කිහිපයක් නියෝජනය කරන ජාතික සහ ප්‍රාදේශීය නායිකාවන් එක්ව සිය අත්දැකීම් බෙදා ගැනීම සිදුවිය. ඒ අනුව එහිදී ඔවුන්ට පවතින බාධක, අභියෝග සාකච්ඡා කිරීම සහ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් හඳුනා ගැනීම සිදුවිය.මෙම වැඩසටහනට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් වන ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හසාරා ලියනගේ, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන මහත්මීහු සහභාගී වූහ. එසේම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාර්ලිමේන්තු සහ මාධ්‍ය විශේෂඥ චතුරංග හපුආරච්චි මහතා, උතුරු පළාතේ ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් පිරිසක් මෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.මෙම වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස තිරසාර උපදේශක ජාලයක් නිර්මාණය කිරීම සහ උතුරේ කාන්තා නායිකාවන්ගේ අදහස් සහ නිර්දේශ අන්තර්ගත කරමින් වාර්තාවක් සකස් කිරීමට තීරණය විය. නායකත්වයේදී කාන්තාවන් මුහුණ දෙන අභියෝග ජය ගැනීමටත් ශ්‍රී ලංකාව තුළ අන්තර්කරණය ශක්තිමත් කරමින් ප්‍රතිපත්තිමය තීරණ ඉදිරියට ගෙන යාම සඳහා කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට මෙම වාර්තාව සහාය වනු ඇත.
2025-11-08
ආබාධ සහිත පුද්ගලයන්ට ඔබ ලබාදෙන සේවාවෙන් ඔවුන් තෘප්තිමත් නම් සේවාව සපයන ඔබටත් තෘප්තිමත් විය හැකියි - ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ උපදෙස් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් පසුගියදා (නොවැ. 04) කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හැකියා වර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ, “ආබාධිතභාවයට සංවේදී පාර්ලිමේන්තුවක්” යන අභිලාෂයට අනුව දිවයින පුරා ආබාධ සහිත පුද්ගලයින්ගෙන් සෘජු අදහස් ලබා ගැනීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කළ අතර එහි පළමු අදියර මෙලෙස කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ වැඩසටහන සඳහා එම සංසදයේ නියෝජ්‍ය සම-සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා ද සහභාගී විය. මේ අතර, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන්, මුලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම් සතීසන් මන්ජුලාදේවි යන මහත්ම මහත්මීන්, පළාත්පාලන ආයතනවල මහජන නියෝජිතයන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ප්‍රාදේශීය රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන්, සෞඛ්‍ය අංශ නියෝජනය කරන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ආබාධ සහිත වූවන් නියෝජයන කරන සංවිධානවල නියෝජිත පිරිස් සහ අබාධ සහිත පුද්ගලයන් ඇතුළු 100 කට ආසන්න පිරිසක් මෙම වැඩසහටනට සහභාගී වූහ. ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ ඒකාබද්ධව මැතිවරණ ක්‍රමය සඳහා වූ ජාත්‍යන්තර පදනමේ (IFES) අනුග්‍රහයෙන් මෙම වැඩසටහන පැවති අතර, එම පදනමේ වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මෙනවියද මෙම අවස්ථාවට එක්ව සිටියාය. මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසුවේ සේවාවන් ලබාගැනීම සඳහා තමන් ඉදිරියට පැමිණෙන අබාධ සහිත පුද්ගලයන්ට මානුෂීයව සලකා ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබාදෙන ලෙස සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. අබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා හඳුනාගැනීමට ඔවුන්ගේ ස්ථානයේ සිට බැලීමෙන් ඔවුන්ට සැබැවින්ම අවශ්‍ය වන්නේ කුමක්දැයි නිවැරදිව හඳුනාගත හැකි බවත්, එලෙස සේවාවන් ලබාගැනීමට පැමිණෙන අබාධ සහිත පුද්ගලයන්ගේ සිනහවෙන් ඔබගේ රැකියාවේ තෘප්තිය දැකගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය. මේ අතර, දැනට පවතින අබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා පියවර ගෙන ඇති බවත්, එයට පසුගිය දශක දෙකක පමණ වෙනස්කම් සැලකිල්ලට ගෙන ඇති බවත් සංසදයේ සභාපතිවරයා පැවසීය. තවද, මෙම පනත් කෙටුම්පත සඳහා ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ (UNCRPD) පවතින 25 කට අධික අයිතිවාසිකම් ඇතුළත් කිරීමට කටයුතු කරන බවත්, එයට සමගාමීව ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ද කෙටුම්පත් කිරීමට පියවර ගෙන ඇති බවත් හතෙම පෙන්වා දුන්නේය. මෙහිදී අදහස් දැක්වූ සංසදයේ නියෝජ්‍ය සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා වැඩි වශයෙන් පවතින උතුරු පළාතේ මෙවැනි වැඩසටහනක් පැවැත්වීම ඉතා වැදගත් බවත් දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය දේශපාලන භේදයකින් තොරව ආබාධ සහිත ප්‍රජාවන්ට අදාළ නීතිමය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පෙනී සිටින බවත් සඳහන් කළේය. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාත්‍යන්තර දිනයට අදාළ ජාතික වැඩසටහන මෙවර යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමටද අවශ්‍ය කටයුතු සලසා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම මාර්ග අනතුරු අවම කිරීමට සහ මාර්ග නීති පිළිපැදීමේදී, මාර්ග නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ සහයෝගය තවදුරටත් අවශ්‍යවීමේ වැදගත්කමද හෙතෙම පෙන්වා දුන්නේය. මේ අතර කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් සහ මුලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම් සතීසන් මන්ජුලාදේවි යන මහත්ම මහත්මීන් ද අදහස් දැක්වූ අතර, ආබාධ සහිත තැනැත්තන් සඳහා රජයෙන් ලබාදෙන ප්‍රතිලාභ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණයෙන් ඉටු කිරීමට ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදී එම ප්‍රතිලාභයන් වැඩි කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණය ගැනීමේ අවශ්‍යතාවයත් ඔවුහු පෙන්වා දුන්හ.ඒ අනුව කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල අබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග සහ ගැටලු නිරාකරණය කර ගැනීමට අදාළ ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය ආයතනවලින් සැපයිය හැකි සේවාවන් සහ ඒවා වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සිදුවිය. එසේම, සමාජ සේවා නිලධාරීන් නොමැතිකම, ආබාධ සහිත පුද්ගලයින් සඳහා ජාතික වශයෙන් පිළිගත් හැඳුනුම්පතක් තිබීමේ අවශ්‍යතාවය, රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම, ආබාධ සහිත පුද්ගලයින් සෞඛ්‍ය සහ ප්‍රවාහන සේවාවන් ලබාගැනීමේ ඇති අභියෝග, ස්වයං රැකියාවල නියැලීමට හැකි ආබාධ සහිත පුද්ගලයින් සඳහා ඉඩම් අවශ්‍යතා සපුරාලීම, සංඥා භාෂා පරිවර්තන අවශ්‍යතා, ආබාධ සහිත පුද්ගලයින් සඳහා වාහන බලපත්‍ර නිකුත් කිරීමේදී පවතින ගැටලු, ආබාධ සහිත සිසුන් සඳහා පුහුණු ගුරුවරුන්ගේ අවශ්‍යතා සහ වඩා හොඳ පහසුකම් සහිත පාසල් ඇතුළු දිස්ත්‍රික්ක තුළ පවතින ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික අභියෝග කෙරෙහි මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.මෙහිදී ඉදිරිපත් වූ කරුණුවලට අදාළව සංසදය විසින් නිර්දේශ සහ විසඳුම් ඉදිරිපත් කිරීමද සිදු විය. මෙම අදහස් ලබාගැනීමෙන් අනතුරුව, අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පාර්ලිමේන්තු සංසදය විසින් අදාළ අමාත්‍යාංශ සහ පාර්ලිමේන්තුව සමඟ කටයුතු කරන බව සංසදයේ ගරු සභාපතිවරයා පැවසූ අතර දිස්ත්‍රික් මට්ටමේ සේවා සැපයීමේදී ඒවා නිවැරදිව ක්‍රියාත්මක වීම සහතික කිරීම වැනි කටයුතු පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පසු විපරම් කිරීම කෙරෙහි මැදිහත් වන බව පැමිණි නිලධාරීහු පැවසූහ.
2025-11-06
චීන මහජන දේශපාලන උපදේශන සමුළුවේ (CPPCC) ජාතික කමිටුවේ සාමාජික සහ එහි ආර්ථික කටයුතු කමිටුවේ අධ්‍යක්ෂ ගරු වැන්ග් ගුෂෙන්ග් (Hon. Wang Guosheng) මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන නියෝජිත පිරිසක් අද (නොවැ. 06) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක සාමාජිකයන් හමුවී සාකච්ඡා පැවැත්වූහ.ඒ අනුව, නියෝජිත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සහ ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් හමුවූහ.ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා සමග දිවා භෝජන සංග්‍රහයකට ද නියෝජිත පිරිස එක් වූ අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදි සාකච්ඡා විය.මෙම සාකච්ඡාවලදී ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා චීනයේ කැපවීම නියෝජිත පිරිස නැවත තහවුරු කළ අතර බහුවිධ අංශ හරහා ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන දිරිමත් කිරීමේ සිය අපේක්ෂාව පිළිබඳව ද සඳහන් කළහ.ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක, ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි (නීතිඥ) ලක්මාලි හේමචන්ද්‍ර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, (නීතිඥ) සුජීව සේනසිංහ, සුජිත් සංජය පෙරේරා, රුවන් මාපලගම සහ චතුර ගලප්පත්ති යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ හා සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීහු ද පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.මෙහිදී ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අවධාරණය කළ අතර, මෙම සංචාරය එම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව සඳහන් කළේය. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගයට ඔහු කෘතඥතාව පළ කළ අතර, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑත කාලීන චීන සංචාරය මෙම සබඳතා තවදුරටත් වැඩිදියුණු කළ බව ඔහු පෙන්වා දුන්නේය.සාකච්ඡාවේදී අදහස් දැක්වූ ගරු වැන්ග් ගුෂෙන්ග් මහතා, ශ්‍රී ලංකාව චීනයේ සමීප මිතුරෙකු ලෙස සඳහන් කළ අතර සංචාරක, වෙළඳාම සහ ආයෝජන ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා චීනය කැපවන බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව තුළ තවත් චීන ආයෝජන දිරිමත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි (නීතිඥ) ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය මෙහිදී අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශය ඉදිරියට ගෙන යාම සඳහා චීන සහාය අපේක්ෂා කරන බව සඳහන් කළ අතර, තිරසාර ආර්ථික සංවර්ධනය සහ තාක්‍ෂණය මත පදනම් වූ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරන බව අවධාරණය කළාය. මීට මාස කිහිපයකට පෙර චීනයේ සංචාරයක නිරත වූ ඇය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට දැක්වූ ආගන්තුක සත්කාරය පිළිබඳව කෘතඥතාව ද ඇය මෙහිදී පළ කළාය.මෙහිදී අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක සහ ගරු (නීතිඥ) සුජීව සේනසිංහ යන මහත්වරුන්, දෙරට අතර ආර්ථික සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ සහ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළහ.චීන මහජන දේශපාලන උපදේශන සමුළුවේ (CPPCC) ජාතික කමිටුවේ සාමාජික සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගරු ෆු ෂිෆැන්ග්, CPPCC ආර්ථික කටයුතු කමිටුවේ සාමාජික ගරු මාඕ ඩිග්ෂි, CPPCC ආර්ථික කටයුතු කමිටුවේ කාර්යාලයේ අධ්‍යක්ෂ ලියු හුවාන්සිං සහ CPPCC ආර්ථික කටයුතු කමිටුවේ මූල්‍ය හා ආර්ථික අංශයේ අධ්‍යක්ෂ ෂැං ජින්ජි යන මහත්වරු චීන නියෝජිත පිරිසේ සාමාජිකයින් අතර වූහ. එසේම ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා ද මෙම අවස්ථාවට එක්විය.ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා දෙපාර්ශ්වයම තම කැපවීම නැවත තහවුරු කරමින් රැස්වීම අවසන් විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

