E   |     |  

2024-07-17

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

  • I3 CUBE සහ නිම්බස් ආයතන හඳුන්වා දී ඇති මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධති පිළිබඳ කාරක සභ‍ාවේ අවධානය
  • ලංගම බස් රථ වලට GPS උපකරණ සවි කිරීම කඩිනම් කොට I3 CUBE ආයතනය හඳුන්වා දුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට සහ නිම්බස් ආයතනය හඳුන්වා දුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සාධක සපුරා ගැනීමට අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට කමිටුව නිර්දේශ කරයි.

 

GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මෙහිදී I3 CUBE ආයතනය හඳුන්වා දුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින අඩුපාඩුව වන බො‍හෝ ලංගම බස් රථවල GPS උපකරණ සවි කර නොතිබීම සහ නිම්බස් ආයතනය මගින් බස්නාහිර පළාත් සභාවට හදුන්වා දී ඇති මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියේ කඩවත කේන්ද්‍ර කරගත් මාර්ග 12ක බස් රථ 135 ක් යොදාගෙන සිදු කරන ලද නියමු ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වීමත් සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

මේ පිළිබඳව අවධානය යොමු වූයේ බලශක්තිය හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 11) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී I3 CUBE ආයතනය පෙන්වා දුන්නේ ඔවුන් හඳුන්වා දී ඇති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දත්ත ලංගම බස් රථ වලින් නොලැබෙන බවයි. එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට, එක් මාර්ගයක් සඳහා‍ අවම වශයෙන් පවතින ප්‍රමාණයෙන් 70%ක පමණවත් දත්ත අවශ්‍ය වේ.‍‍

එසේම මෙහිදී නිම්බස් ආයතනය පෙන්වා දුන්නේ ඔවුන් සකස් කරන ලද පද්ධතිය මේ වන විට කඩවත කේන්ද්‍ර කර ගෙන පවතින මාර්ග 12 ක ධාවනය වන බස් රථ 135ක් සඳහා සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

මේ අනූව මෙම තාක්ෂණික ක්‍රම දෙක පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව කාරක සභාව පෙන්වා දුන්නේ මෙම ක්‍රමවේදයන් දෙකම ඉතා සාර්ථක නමුත් මේවා ක්‍රියාත්මක කිරීමේ ගැටළු නිරීක්ෂණය වන බවයි. මේ නිසා නිම්බස් ආයතනය හඳුන්වා දී ඇති තාක්ෂණික ක්‍රමවේදය ආදායම් උත්පාදන ක්‍රම ආදිය පිළිබඳව අවශ්‍ය පාර්ශව සමඟ සාකච්ඡා කොට කමිටුව දැනුවත් කිරීමට සහ ලංගම බස් රථ සඳහා‍ GPS සවි කිරීම කඩිනම් කොට I3 CUBE ආයතනය හඳුන්වා දී ඇති පද්ධතිය ක්‍රියාත්මක කිරීමටද කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

එසේම මේ පිළිබඳව අවශ්‍ය තීරණ ගැනීම සඳහා සති 3 ක් ඇතුළත මෙම කාරක සභාව නැවත රැස්වීමට තීරණය කෙරුණි.
 
මෙම රැස්වීම සඳහා රාජ්‍ය අමා‍ත්‍ය ගරු ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නිරෝෂන් පෙරේරා, ගරු අ‍ශෝක් අබේසිංහ, ගරු උදයකාන්ත ගුණතිලක, ගරු නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත සහ ගරු කුමාරසිරි රත්නායක යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

1



සම්බන්ධිත පුවත්

2025-02-16

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.මේ සඳහා අනුමතිය හිමි වූයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් අද (පෙබ. 14)  පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී ය.එසේම මෙහිදී 2021 සහ 2022 යන වර්ෂ සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාවද කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමි විය.මෙම කාරක සභාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරු, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.


2025-02-13

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ගරු අග්‍රාමාත්‍යවරි‍යගේ ප්‍රධානත්වයෙන් ඉදිරි ක්‍රියාකාරී සැලසුම් පිළිබඳ සාකච්ඡා කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සහ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025.02.07 දින පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙහිදී පළාත් මට්ටමින් 25% ක කාන්තා නියෝජනයක් ලැබෙන ආකාරයෙන් කාන්තා නියෝජනය වැඩි කිරීමේ හැකියාව පිළිබඳව සංසදය විසින් සාකච්ඡා කරන ලදි. ඒ අනුව, ඉදිරි මැතිවරණයේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පවතින නීති සඳහා අවශ්‍ය සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳවද සංසදයේ අවධානය යොමු විය.එසේම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට කාන්තාවන් පත් කිරීම සම්බන්ධයෙන් සහ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටීමට දේශපාලන පක්ෂ සහ පක්ෂ ලේකම්වරුන් හමුවීමට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කළේය.තවද රැකියා ස්ථානයේ ලිංගික හිංසන තුරන් කිරීම සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (SGBV) තුරන් කිරීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.මීට අමතරව මාර්තු 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ සැලසුම් පිළිබඳව ද සංසද‍යේ අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමීන්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලිී ගුණසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ සාගරිකා අතාවුද, (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී. එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, ඒ. එම්. එම්. එම්. රත්වත්තේ, දීප්ති වාසලගේ, නීතිඥ හිරුණි විජේසිංහ, අම්බිකා සාමිවේල් සහ නීතිඥ ලක්මාලි හේමවන්ද්‍ර යන මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


2025-02-13

ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා - ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සභාපති

සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක්...උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් - කාරක සභා සභාපති ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය.එම අදහස් පළවූයේ ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය පෙබ. 07 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාද එක්ව සිටියේය.ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව විසඳීම සඳහා තමිල්නාඩුව සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය. ගැටුම් මාර්ගයෙන් තොරව මෙරට ධීවරයින්ට බලපා ඇති මෙම ගැටලුව සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අතර සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා විය. මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, සතොස වෙළඳසැල් ජාලය ඉදිරියේදී පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව එම වෙළඳසැල් ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට හැකි බව පැවසුවේය. ලංකා ධීවර සංස්ථාවේ නිලධාරීහු මෙහිදී අදහස් දක්වමින් සතොස වෙළඳසැල් ජාලය හරහා මාළු අලෙවි කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට බලාපොත්තු වන බව පැවසුහ. ඒ අනුව පරිභෝගිකයාට වඩාත් පහසුවෙන් පිසීමට හැකිවන පරිදි අදාළ මාළු වර්ග ඇසුරුම් කර ලබාදීමට ද සැලසුම් කරන බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.මෙම රැස්වීමේදී දිවයිනපුරා ධීවර කර්මාන්තය ආශ්‍රිතව පවතින විවිධ ගැටලු පිළිබඳව ගරු මන්ත්‍රීවරයන් විසින් අදාළ නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. තහනම් දැල් හා ඩයිනමයිට් භාවිතයෙන් මසුන් ඇල්ලීම , මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත පවතින ගැටලු, මෙරට වරායන් සම්බන්ධව පවතින ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස කාරක සභාව තුළ සාකච්ඡා විය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාතේ පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් යොමුකරමින් අවශ්‍ය ගැටලු විසඳීමට කටයුතු කරන බවත් මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය.මේ අතර 2021 වර්ෂය සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ද කාරක සභාව තුළ සලකා බලා අනුමත කරන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2025-02-07

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අවශ්‍ය වන ප්‍රතිපත්තිමය වෙනස්කම් හදුනාගැනීම සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ සාමාජිකයින් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනු කමිටුවක්

අනු කමිටුවේ ප්‍රධානත්වය ගරු නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අවශ්‍ය වන ප්‍රතිපත්තිමය වෙනස්කම් හඳුනාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ සාමාජිකයින් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනු කාරක සභාවක් පත් කිරීමට කාරක සභාවේ සභාපති ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා නිර්දේශ කළේය.රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (පෙබ. 05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනු කාරක සභාව පත්කිරීම සිදු විය.ගරු නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම අනු කාරක සභාව පත්කිරීම සිදු වූ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දෙගේ, ධර්මප්‍රිය දිසානායක, දිනිඳු සමන්, (නීතීඥ) ගීතා හේරත්, ලාල් ප්‍රේමනාත් සහ මුහම්මද් ෆයිසාල් යන මහත්ම මහත්මීන් මෙම අනු කාරක සභාවේ අනෙකුත් සාමාජිකයින් ලෙස පත්කරන ලදී.මෙම අනු කාරක සභාව මගින් රාජ්‍ය සේවයේ පත්කිරීම්, තරඟ විභාග පැවැත්වීම, විශ්‍රාම යෑම සහ පුරප්පාඩු ඇතුළු රාජ්‍ය සේවයේ අවශ්‍ය අංශ සම්බන්ධයෙන් සිදුකළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශනයන් සිදුකොට, හඳුනාගන්නා යෝජනා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබාදීමට නියමිතය.මෙවැනි අනු කාරක සභාවක් පත්කිරීමේ අවශ්‍යතාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් යෝජනා කළ අතර ඒ අනුව ගරු සභාපතිතුමා විසින් මෙම පත්කිරීම සිදු කරන ලදි.එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ 2024 වර්ෂයේ පළාත් පාලන ආයතනවල 8,435 දෙනෙකුගේ සේවය ස්ථිර කළ බවයි. එසේම මේ වන විට සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් කරන බවත් ඒ අනුව ඊට අදාළ අවසන් වාර්තාව 2025 මාර්තු 31 දින ලැබීමට නියමිත බවයි. ඉන්පසු පත්කිරීම් සඳහා අවශ්‍ය වන දත්ත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන බව එම නිලධාරීහු පැවසූහ. එසේම යම් යම් ව්‍යාපෘති සඳහා බඳවාගත් සේවකයින්ගේ සේවය ස්ථිර කිරීම සිදුනොකරන බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.තවද ග්‍රාම නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් වන තරඟ විභාගය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.මෙම කාරක සභාව සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks