E   |     |  

2024-07-17

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පත සකස්කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය දරන ප්‍රයත්නය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පැසසුමට

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පතෙහි අඩංගු කරුණු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී. ඒ අනුව, මහජන විශ්වාසය වර්ධනය කිරීම පිණිස කාර්යක්ෂම පද්ධතියක් සකස් කිරීම, කාර්යක්ෂම ලෙස සම්පත් වෙන් කිරීම සහතික කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයට සහාය වීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය දරන උත්සාහය පිළිබඳව කාරක සභාවේ ප්‍රසාදය හිමිවිය.

වත්මන් මුල්‍ය රෙගුලාසි නෛතික රාමුවක් මත පදනම් වුව ද ඒවා ප්‍රමාණවත් නොමැති බව පැමිණ සිටි නිලධාරීහු කාරක සභාව හමුවේ පැවැසුහ. ඒ අනුව වත්මන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පිළිවෙත්වල ඇති අඩුපාඩු, ආවේනික දුර්වලතා සහ විනිවිදභාවය සහ වගවීමේ ගැටලු හේතුවෙන්, මූල්‍ය විනය ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා බව ඔවුහු වැඩි දුරටත් අදහස දක්වමින් පැවසුහ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 11) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කරන ලදී.

පවතින රාජ්‍ය මූල්‍ය ගැටලු ආමන්ත්‍රණය කරමින්, අදාළ අංශ කිහිපයක් අතර විසිරී ඇති රෙගුලාසි ඒකාබද්ධ කිරීමට උපකාර වන රාජ්‍ය මූල්‍ය පිළිබඳ නීතියක් පැනවීමට මෙම පනත් කෙටුම්පත මඟින් විධිවිධාන සලසා ඇත. පුළුල් නීතියක් ලෙස මෙය ක්‍රියා කරන අතරම, එය මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය රාමුව (MTFF) පිළිබඳ නිශ්චිත අන්තර්ගතයන් සඳහා අවශ්‍යතා ද සකසයි. තවද, මෙම පනත් කෙටුම්පත මගින් මධ්‍ය කාලීන මූල්‍ය නැංගුරම ලෙස ප්‍රාථමික ශේෂ ඉලක්කයක් සහ රජයේ ප්‍රාථමික වියදම් සීමාව - නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% නොඉක්මවන ප්‍රතිපාදන ද නියම කරයි.

කෙසේ වෙතත්, COPF සාමාජිකයින් අවධාරණය කළේ ශ්‍රී ලංකාව සඳහා යෝජිත 13% ප්‍රාථමික වියදම් සීමාව ,වර්ධනය, කාර්යක්ෂමතාව සහ සමාජ සුබසාධනය ප්‍රවර්ධනය කරන ආකාරයෙන් බදු සහ වියදම් කිරීමට රජයට ඇති හැකියාවට බාධාවක් බවයි. මීට අමතරව, ප්‍රාථමික වියදම් මත එවැනි අඩු දළ දේශීය නිෂ්පාදිතය මත පදනම් වූ සීමාවක් නියම කළ එකම රට ශ්‍රී ලංකාව බවයි පෙන්වා දුන්නේ. මෙම සීමාවත් සමඟ 2040 වන විට ඉහළ ආදායම් ලබන රටක් බවට පත්වීමට අවශ්‍ය 10% ක වර්ධන වේගය ළඟා කර ගැනීමට නොහැකි බව සභාපතිවරයා අවධාරණය කළේය.

තවද, වාර්ෂිකව ණය තිරසාර විශ්ලේෂණයක් සකස් කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම, ඇපකර සීමාව අඩු කිරීම - සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.5% නොඉක්මවීම, රාජ්‍ය ආයෝජන කමිටුවක් විසින් සමාලෝචනය කර නිර්දේශ කළ යුතු ව්‍යාපෘති යනාදී ක්‍රියාමාර්ග ගැනද ඉහත කෙටුම්පතේ සඳහන් කර ඇත.

පසුගිය වසර 50ක කාලය තුළ ආදායම් සම්බන්ධයෙන් කළ උපකල්පන වැරදි බවත්, මෙම විශේෂිත පනත් කෙටුම්පත මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන්නේ කෙසේදැයි සභාපතිවරයා ප්‍රශ්න කළේය. තවද, එවැනි පනත් කෙටුම්පතක් ණය තිරසාරභාවය කෙරෙහි පමණක් නොව ආර්ථික වර්ධනය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව සභාපතිවරයා පැවසුවේය. තවද, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පතේ ඉලක්ක ආර්ථික පරිවර්තන පනත සමඟ සමපාත විය යුතු බව ද සභාපතිවරයා පැවසුවේය.

මෙම රැස්විම සඳහා අමාත්‍ය ගරු (ආචාර්ය) සුරේන් රාඝවන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු රවුෆ් හකීම්, ගරු වජිර අබේවර්ධන, සුමන්තිරන්, ගරු එම්.ඒ. ගරු මයන්ත දිසානායක, ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා, ගරු හර්ෂණ රාජකරුණා, ගරු මධුර විතානගේ, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු දුමින්ද දිසානායක යන මහත්වරුන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් පැමිණ සිටියහ.

 

1 8

 



සම්බන්ධිත පුවත්

2025-11-18

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 12.11.2025 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී  අස්වැසුම  සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය  වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මෙහිදී  අස්වැසුම  සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.එම නිර්ණායක ඔස්සේ අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති ආකාරය පිළිබඳව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22 ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ථ රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට (Social Registry) ඇතුළත් කරගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දෙන ලදී. එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ ඔවුන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කාරක සභාව පෙන්වා දෙන ලදී.එමෙන්ම වැඩිහිටියන්ට සහ අබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබාදීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබාගත නොහැකිව යම්  පිරිසක්  සිටින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත්කමද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (මහාචාර්ය) රුවන් රණසිංහ, නිශාන්ත ජයවීර යන මහත්වරුන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර, චතුර ගලප්පත්ති, තිළිණ සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 


2025-11-17

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනු කාරක සභාවේදී සාකච්ඡා කරයි

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාල‍ාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.


2025-11-15

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් ‘කෝප්’ කමිටුවේ අවධානය

සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයිවරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.  මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වට (කෝප්) කැඳවා  2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය.කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍යමණ්ඩල අනුමතිය හිමිවී තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 2021 දෙසැම්බර් මස මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර තිබූ අතර 2025 ජනවාරි 03 වැනි දින මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීම‍ාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මේ හේතුවෙන් දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම සංවර්ධන කටයුතු ඉතා  කඩිනමින් සිදු කිරීමට කටයුතු කොට ඇති බවත් ඉක්මනින් මෙම කටයුතු අවසන් වනු ඇති බවත්ය.එසේම අධිකාරියේ සේවකයින්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක  නොවී ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නිලධාරීන් පැවසුවේ මේ වන විට වියදම් අඩු කිරීමට කටයුතු කොට ඇති බවත් මිල අවම කර ගැනීම සඳහා තරඟකාරී ඩෙන්ඩර් ක්‍රමය හඳුන්වාදී ඇති බවත්ය.වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් බැහැර කිරීමට සහ අත්පත් කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. මේ අනුව නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.එසේම සීදූව රද්දොලුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සේවකයන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.  මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ. 


2025-11-15

පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්න - ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් අමාත්‍යාංශයට යෝජනාවක්

අමාත්‍යාංශ  කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සලකා බැලීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව දින දෙකක් රැස් වෙයි පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්නා ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනා කරන ලදි.භාණ්ඩ මිලදීගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීමේදී කාරක සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදි. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටියේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න සලකා බැලිය යුතු බවයි. එසේම මෙම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවීය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නැති බවයි. 2025.11.10 සහ 12  යන දිනයන්හිදී පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීම සිදු විය. මෙහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය. එසේම ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු විය.මෙම කාරක සභාව සඳහා ගරු විපක්ෂ න‍ායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නීතිඥ සුජීව සේනසිංහ සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.  






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks