E   |     |  

2025-02-13

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා - ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සභාපති

  • සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක්...
  • උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් - කාරක සභා සභාපති

 

ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය.

එම අදහස් පළවූයේ ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය පෙබ. 07 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාද එක්ව සිටියේය.

ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව විසඳීම සඳහා තමිල්නාඩුව සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය. ගැටුම් මාර්ගයෙන් තොරව මෙරට ධීවරයින්ට බලපා ඇති මෙම ගැටලුව සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

මේ අතර සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා විය. මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, සතොස වෙළඳසැල් ජාලය ඉදිරියේදී පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව එම වෙළඳසැල් ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට හැකි බව පැවසුවේය. ලංකා ධීවර සංස්ථාවේ නිලධාරීහු මෙහිදී අදහස් දක්වමින් සතොස වෙළඳසැල් ජාලය හරහා මාළු අලෙවි කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට බලාපොත්තු වන බව පැවසුහ. ඒ අනුව පරිභෝගිකයාට වඩාත් පහසුවෙන් පිසීමට හැකිවන පරිදි අදාළ මාළු වර්ග ඇසුරුම් කර ලබාදීමට ද සැලසුම් කරන බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.

මෙම රැස්වීමේදී දිවයිනපුරා ධීවර කර්මාන්තය ආශ්‍රිතව පවතින විවිධ ගැටලු පිළිබඳව ගරු මන්ත්‍රීවරයන් විසින් අදාළ නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. තහනම් දැල් හා ඩයිනමයිට් භාවිතයෙන් මසුන් ඇල්ලීම , මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත පවතින ගැටලු, මෙරට වරායන් සම්බන්ධව පවතින ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස කාරක සභාව තුළ සාකච්ඡා විය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාතේ පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් යොමුකරමින් අවශ්‍ය ගැටලු විසඳීමට කටයුතු කරන බවත් මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

මේ අතර 2021 වර්ෂය සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ද කාරක සභාව තුළ සලකා බලා අනුමත කරන ලදී.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2025-11-03

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ප්‍රගතිය ඇතුළු කරුණු විමසයි

සැප්තැම්බර් 30 වන විට අපේක්ෂිත ඉලක්කයට අනුව 117% ක් සපුරාලීමට හැකිවූ බව නිලධාරීහු පවසතිරාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් 2025 සැප්තැම්බර් 30 වන විට අපේක්ෂිත ඉලක්කයෙන් 117% සපුරාලීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගු නිලධාරීහු පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසූහ. 2025 සැප්තැම්බර් 30 දිනට අපේක්ෂිත රේගු ආදායම රු. බිලියන 1485 ක් බවත් ඒ අනුව රු. බිලියන 1737ක ආදායමක් මේ වන විට ලැබී ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සෑම මසකම රේගු ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අයුරු ද ඔවුහු කාරක සභාවට පැහැදිළි කළහ. මේ අනුව වැඩිම ආදායමක් හිමිවී ඇති වාහන ආනයනය මගින් 2025 ඔක්තෝබර් 14 වන විට රු. බිලියන 587.11 ක් උපයා ඇති බවත් එම අගය ඒ වන විට සමස්ත ආදායමෙන් 37% ක ප්‍රතිශතයක් බවත් නිලධාරීහු සදහන් කළහ. ඒ අනුව ඔක්තෝබර් 14 වන විට මෝටර් කාර්රථ 55,447ක් ආනයනය කර ඇති අතර එමගින් රු. බිලියන 474.26ක රේගු බදු ආදායමක් හිමිව තිබේ. භාණ්ඩ ප්‍රවාහන රථ 7331ක් ආනයනය කර ඇති අතර ඉන් රු. බිලියන 48.67 ක ආදායමක් ලැබී ඇත. යතුරුපැදි 142,524 ක් හා ත්‍රීරෝද රථ 15,035ක් ආනයනය කර ඇති අතර ඉන් ලැබූ ආදායම් පිළිවෙලින් රු. බිලියන 30.37ක් හා 15.10ක් වේ. මගී ප්‍රවාහන බස් හා වෑන් රථ 1679ක් ආනයනය කර ඇති අතර එමගින් රු. බිලියන 12.66ක ආදායමක් ලැබී ඇති බවත් මෙහිදී ඔවුහු සඳහන් කළහ.රේගුවේ ඉදිරි ඉලක්කයන් සහ තාක්ෂණික වැඩිදියුණු කිරීම් යනාදිය පිළිබඳව ද මෙහිදි අවධානය යොමු විය. රේගුව මගින් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් (E-Tendering system) හඳුන්වාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී එය හඳුන්වාදීමට නියමිත බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ. කාරක සභාව පෙන්වා දුන්නේ එය අනෙකුත් රාජ්‍ය ආයතන සඳහාත් වැදගත් පූර්වාදර්ශයක් බවයි. කාරක සභාවේ සාමාජිකයන් වන ගරු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අජිත් පී පෙරේරා, නීතිඥ සුජීව සේනසිංහ, සුජිත් සංජය පෙරේරා, සුනිල් බියන්විල සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු ද ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්‍ගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2025-10-30

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධ පරීක්ෂණයට අදාළව LTL සමාගම ‘කෝප්’ කමිටුවට කැඳවයි

LTL ආයතනයේ විදුලිබල මණ්ඩලය සතු කොටස් 70% සිට 35% දක්වා අඩුවෙලා රජයේ විගණනයට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ විගණකාධිපතිවරයාට දැනුම් දෙයි2015 වසරේ සිට රජයේ විගණනය සිදුකිරීමට උත්සහ කළද ඒ සියලු අවස්ථා මඟහැරීමට කටයුතු කර ඇති බවත් කමිටුව පෙන්වා දෙයිනිශ්චිත පිළිතුරු ලබාදීමට අපොහොසත් වීම පිළිබඳවත් කමිටුවේ අප්‍රසාදය ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධ විමර්ශනයේ දිගුවක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් හිමි ආයතනයක් වන LTL හෝල්ඩිග්ස් ඇතුළු එහි පරිපාලිත සමාගම් පසුගියදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවන ලදී. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් 2025.10.24 දින රැස්වූ අවස්ථාවේදී ය. මෙරට විදුලිබල ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් දේශීයව නිෂ්පාදනය සහ නඩත්තුව සඳහා 1980 වසරේදී ලංකා ට්‍රාන්ස්ෆෝමස් සමාගම ලෙස විදුලිබල මණ්ඩලයේ 70%ක කොටස් සහ ස්කොට්ලන්ත සමාගමක 30% ක කොටස් ප්‍රාග්ධනයක් සහිතව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරී ආයතනයක් ලෙස ස්ථාපිත කළ බව එම සමාගමේ නිලධාරීහු පැවසූහ. ඉන් අනතුරුව 1986 වසරේදී 30% කොටස් ස්කොට්ලන්ත සමාගම විසින් නෝර්වේ සමාගමකට විකුණා ඇති බවත් මෙහිදී අනාවරණය විය. අවස්ථා කිහිපයකදී මෙම සමාගමෙන් පරිපාලිත ආයතන ලෙස LTL ගැල්වනයිසින්, LTL ස්ටීල් ෆැබ්‍රිකේෂන් නම් වලින් තවත් පරිපාලිත සමාගම් පිහිටුවන ලද අතර පෞද්ගලික අංශයෙන් විදුලිය සපයන ලක්දනවි සමාගම 1996 වසරේදී ස්ථාපිත කර ඇත. අනතුරුව 2008 වසරේදී LTL හෝල්ඩිංග් සමාගම ලෙස ප්‍රධාන සමාගමේ නාමය වෙනස් කරන අතර අනෙකුත් පරිපාලිත සමාගම් වෙනම සමාගම් බවට පත් කර තිබේ. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ LTL හොල්ඩිංග් සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් ඔහු විදුලිබල මණ්ඩලයෙන් ඉවත්වූ වසර සහ LTLආයතනය සමග සම්බන්ධවූ වසර කමිටුව විසින් විමසූ අතර එය නිශ්චිතව පැවසීමට අපොහොසත් වූ බැවින් ඒ පිළිබඳව කාරක සභාවේ බලවත් අප්‍රසාදය පළ විය. ඒ අනුව එම නිශ්චිත තොරතුරු කඩිනමින් දැනුම්දෙන ලෙස කාරක සභාව දැනුම් දුන්නේය. LTL සමාගමේ නිර්මාතෘවරයා සහ වත්මන් ප්‍රධාන විධායක නිලධාරීවරයා විදුලිබල මණ්ඩලයේ සේවය කළ නිලධාරීන් වීම හරහා ලබැඳියාවන් අතර ගැටුම (Conflict of interest) ඇතිවීම වැළැක්විය නොහැකි බවත්, විදුලිය මිලදී ගැනීම, පුනර්ජනනීය බලශක්ති හදුන්වාදීම ඇතුළු තීරණ සඳහා ඒ හරහා අහිතකර බලපෑම් සිදුවන බවට චෝදනා එල්ල වන බවත් කාරක සභාවේදී සාකච්ඡා විය.2001 වසරේදී විදුලිබල මණ්ඩලය ඇතුළු සේවකයන් වෙනුවෙන් 10% ක භාරයක් සඳහා කොටස් වෙන්කර ඇති බවත් ඒ අනුව විදුලිබල මණ්ඩලයේ කොටස් 63% දක්වා අඩුවී ඇති බවත් එහිදී අනාවරණය විය. එසේම මෙම භාරය ‍2017 වසරේදී ටෙක්ප්‍රො ඉන්වෙස්මන්ට් ලිමිටඩ් නමින් වෙනම සමාගමක් බවට පත්කොට ඇති බවත් ඇතැම් හවුල්කරුවෙකුට මිලියන නවයකට ආසන්න ලාභාංශ ලබා දුන්නද ඒ වන තෙක් සේවකයන්ට අදාළ ලාභාංශ නිසි පරිදි ගෙවා නොමැති බවට පළ වන වාර්තා පිළිබඳවත් කාරක සභාව විමසා සිටියේය . එය එසේ නොවන බවත් නීතිමය තත්ත්වය අනුව නිසිපරිදි කටයුතු කර ඇති බවත් එහිදි සමාගමේ නිලධාරීන් පැවසූහ. කෙසේ වෙතත් ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු සහිත වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් කමිටුව විසින් LTL සමාගමට දැනුම් දෙන ලදී. එසේම 2005 වසරේදී නෝර්වේ සමාගමේ කොටස් එම සමාගම විසින් අලෙවි කොට ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය එය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ඒ අනුව එම කොටස් මිලදී ගැනීම සඳහා LTL ESOT නමින් තවත් සමාගමක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා LTL ආයතනයෙන් ණයක් ද ගෙන ඇති බවත් හෙළිවිය. 2018 වසරේදී නැවත එම සමාගම පෙරදිව් නමින් සමාගමක් බවට පත් කළ බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.2006 වසරේදී LTL මගින් යුගදනවි බලාගාරය ආරම්භ කිරීම සදහා වෙස්ට් කෝස්ට් නමින් තවත් සමාගමක් පිහිටුවා ඇති අතර විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය එම සමාගමට රු. බිලියන 79.4 ක් ණයවී ඇති බවත් හෙළි විය. ඉන් රු. බිලියන 26ක වටිනාකමක් ආවරණය කිරීම සදහා LTL සමාගමේ එවකට ලංකා විදුලිබල මණ්ඩලය සතු 63% ක කොටස්වලින් 28%ක කොටස් වෙස්ට් කෝස්ට් සමාගමට ලබා දීමට කැබිනට් අනුමතියක් යටතේ කටයුතු කර ඇති බවත් ඒ අනුව LTL සමාගම සතු ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස් ප්‍රමාණය 35% දක්වා අඩුවීම සිදු ව ඇති බවත් මෙහිදී හෙළි විය. මේ අනුව LTL සමා‍ගමේ කොටස් බෙදී යාම; 35% විදුලි බල මණ්ඩලය, 28%ක් වෙස්ට් කෝස්ට්, 27%ක් පෙරදිව් සහ 10%ක් ටෙක්ප්‍රෝ ලෙස පවතින බව මෙහිදී අනාවරණය විය. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ ලංකා විදුලි මණ්ඩල මණ්ඩලයට හිමිව තිබූ 70% ක අයිතිය, 35% දක්වා අඩුවීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින් සිදුව ඇති බව පෙනීයන බවයි.එසේම විගණනයට ඉඩ ලබා නොදීම පිළිබඳව ද කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. රජයේ විගණනය සිදුකිරීමට 2015 වසරේ සිට විගණකාධිපති දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී උත්සහ කළද ඒ සියලු අවස්ථා මඟහැරීමට වසර ගණනක් තිස්සේ මෙම සමාගම කටයුතු කර ඇති බවත් මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මහජන මුදලින් ආරම්භ කළ මෙම සමාගමට රජයේ විගණනයෙන් ඉවත්විය නොහැකි බවත් ඒ අනුව රජයේ විගණනයට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ විගණකාධිපතිවරයාට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.කාරක සභා සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මනෝ ගනේෂන්, නීතිඥ සුජීව සේනසිංහ, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන්, චමින්ද වි‍ජේසිරි, ඩී.වී චානක, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, අසිත නිරෝෂණ එගොඩ විතාන, වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.


2025-10-29

ශ්‍රී ලංකාවේ තේ, කෝපි සහ දුම්කොළ වගාව සංවර්ධනය කිරීම පිළිබඳ චීන දූත පිරිසක් සමඟ සාකච්ඡා

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (ඔක්. 24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.කෘෂිකර්ම හා පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම හමුවේදී තේ, කෝපි සහ දුම්කොළ වගා ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ අමාත්‍යාංශ මට්ටමින් මූලික සාකච්ඡාවක් දැනටමත් පවත්වා ඇති බවත්, මෙම හමුව මගින් මෙම දූත පිරිස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙම ක්ෂේත්‍ර සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කිරීම අරමුණු කළ බවත්ය. එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට විවිධ අවධීන්හිදී චීනයෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගය අගය කළ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය. තවද මෙවැනි සම්බන්ධතා දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණයට හා පුළුල් කිරීමටත් දායක වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.තේ, කෝපි සහ දුම්කොළ කර්මාන්ත සංවර්ධනය පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කරගත් අතර, නවීන තාක්ෂණික යෙදුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. අඩුවීගෙන යන ශ්‍රම බලකාය හේතුවෙන් පැන නගින අභියෝග ජය ගැනීමටත්, තේ වගාවේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමටත් නව තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා විය. එසේම පසෙහි සාරවත් බව වැඩි දියුණු කිරීමට සහ බෝග අස්වැන්න වැඩි කිරීමට හතරවන පරම්පරාවේ පොහොර (fourth-generation fertilizers) භාවිත කරීම යෝග්‍ය බව චීන දූත පිරිස යෝජනා කළේය.කෝපි වගාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය පසුගිය දශකය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මෙහිදී සඳහන් වූ අතර කෝපි වගාවන් සඳහා ඉඩම් වෙන් කිරීම පුළුල් කිරීමේ අවශ්‍යතාවයද සාකච්ඡා කරන ලදී. දැනට හෙක්ටයාර් 5,000 කට අධික ප්‍රමාණයක කෝපි වගා කරන බවත්, ඉදිරි වසර දෙක තුළ එය හෙක්ටයාර් 10,000 දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර, දුම්කොළ අමුද්‍රව්‍ය වෙනුවට වෙළඳපොළට සැකසූ අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශ විය හැකි බවද මෙහිදී මන්ත්‍රීවරු සඳහන් කළහ. එසේම ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය තවමත් කුඩා ප්‍රමාණයේ කර්මාන්තයක් ලෙස පවතින බවත්, කර්මාන්ත ශාලා කේන්ද්‍ර කරගත් මහා පරිමාණ කර්මාන්තයක් ලෙස එය සංවර්ධනය කිරීමේ වැදගත්කමත් චීන නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.මෙම රැස්වීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, චීන නියෝජිත පිරිස සහ පාර්ලිමේන්තු සහ අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වූහ.


2025-10-29

වයඹ පළාත් සභාව ‘කෝපා’ කමිටුව හමුවට කැඳවයි...

සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් ‘කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය’ තෝරාගෙන -  ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගෙනත් නෑ - කෝපා කමිටුව ප්‍රශ්න කරයි. වයඹ පළාත් සභාව සහ කුරුණෑගල මහනගර සභාව එකාබද්ධව සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා ලංසු කැඳවා කොන්ත්‍රාත්කරුවෙකු සමඟ ගිවිසුම් ගත වුවද, ඒ සම්බන්ධයෙන් පවත්නා අධීක්ෂණ කටයුත්තක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නැවතී ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණ විය. මෙවැනි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ප්‍රථම, ශක්‍යතා අධ්‍යන  වාර්තාවක් ලබාගත යුතු වුවත් එය ලබාගෙන නොමැති බවත් මෙහිදී හෙළි විය. තවද, විශේෂිත ස්වරූපයේ ඉදිකිරීමක් නොවන සයමහල් සමාන්‍ය කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෝරාගෙන තිබීම ගැටලු සහගත බව ද කෝපා කමිටුව විසින් අවධාරණය කරන ලදී.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ වයඹ පළාත් සභාවේ 2023, 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2025.10.23 වන දින රැස්වී  අදාළ නිලධාරින්  කැඳවූ අවස්ථාවේදීය.ඒ අනුව, මෙම ඉදිකිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට නැවත කැඳවීමක් කරනු ලබන බවත්, මාසයක්  ඇතුළත මේ ගොඩනැගිල්ලේ ව්‍යාපෘතියට අදාළ නිර්දේශ, ප්‍රසම්පාදන, තාක්ෂණික, කමිටු අදාළ සියලු වාර්තා සහ ලේඛන විගණකාධිපති වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.තවද, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා හාල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති වෙත ලබා දී තිබෙන ණය මුදල් සහ ප්‍රමාද ගාස්තු අය කර ගැනීම සම්බන්ධයෙන්ද විමසා සිටි අතර, මෙම මුදල් අය කරගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින වකවානු සමඟ දෙමසක් ඇතුළත කෝපා කමිටුවට ලබා දෙන ලෙසට  නිර්දේශ කෙරිණි.පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට රජයේ ඉඩම් පිළිබඳව විධිමත් ලේඛනයක් සකස් කරන ලෙසට නිර්දේශ කර තිබුනද අදාළ ලේඛන මගින් රජයේ ඉඩම් සියල්ල හඳුනාගැනීම, දීර්ඝකාලීන බදු ලබාදීමට ඇති ඉඩම් සඳහා අනුමතිය ලබාදී ඇති හා නොමැති, හිඟ බදු වාරික ලැබීම යනාදී විස්තර ලබා ගත හැකි පරිදි ලේඛන පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් කෝපා කමිටුව කරණු විමසා සිටියේය. නිලධාරීන් ලෙස මැලි නොවී රජයට අයවිය යුතු මුදල් අය කරගැනීමට කටයුතු කළ යුතු බවත්  ඒ සඳහා කෝපා කමිටුව අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් කමිටුව විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ඒ අනුව, මේ වර්ෂය අවසන් වන විට එකතු කිරීමට නියමිත මුලු මුදල සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසට නිර්දේශ කරනු ලැබීය. තවද, අධීක්ෂණ කටයුතු හේතුවෙන් රු. මිලියන 85 පමණ වන අය කර ගත නොහැකි බදු මුදලක් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කමිටුවට යොමු කරන ලෙසත් කෝපා කමිටුව විසින් මෙහිදී නිර්දේශ කරන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද සෙනරත්, මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී.කේ. ජයසුන්දර, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ සාගරිකා අතාවුද,  සුනිල් රත්නසිරි, සහභාගී විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks