පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-02-28
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ බැවින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක් විය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විසඳීමට නියමිත (pending) නඩු 5785 ද, අභියාචනාධිකරණයේ නඩු 4572ක්, අපරාධ නඩු විභාග වන මහාධිකරණයන්හී නඩු 6286ක්, වාණිජ මහාධිකරණයේ නඩු 6146ක්, විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයේ නඩු 3ක්, මහාධිකරණයේ නඩු 27,324ක්, දිසා අධිකරණයේ 262,665ක්, ළමා මහේස්ත්‍රාත්ධිකරණයේ නඩු 1260ක් යනාදී වශයෙන්, සමස්ත ලෙස විසඳීමට නියමිත (pending) නඩු සංඛ්‍යාව 1, 131,818ක් වන බව පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.
නඩු විභාග කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, ඒ සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.
මේ පිළිබඳව සාකච්ඡා වුයේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් 2025.02.27 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් විශාල ප්‍රමාදයක් පවත්නා බව මන්ත්‍රීවරු පැවසීය. දිවයින පුරා පොලිස් කොට්ඨාස මගින් ලැබෙන්නා වූ අපරාධ නඩු විභාග කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයට අනුයුක්තව ඇත්තේ රජයේ අධි නීතිඥවරු 70ක් පමණ බව පැමිණ සිටි නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. තව ද, පවරා ඇති නඩු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා රජයේ අධි නීතිඥවරයෙක් වසර ගණනාවක අත්දැකීම් සහ පළපුරුද්දකින් යුක්ත විය යුතු බවත්, ජ්‍යෙෂ්ඨත්වය ප්‍රධාන සාධකයක් බවත් ඔවුහු තවදුරටත් පෙන්වා දුන්හ.
නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ ප්‍රමාදයන් පිළිබඳව කතිකාව කලක සිට පවතින බවත්, දෙපාර්තමේන්තුව සතු නීති නිලධාරීන් පවත්නා නඩු ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බවත් ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කරුණු දක්වමින් පැවසුවේය. තව ද, අවු. 30කට ආසන්න අත්දැකීම් සහිත අතිරේක සොලිසිටර් ජනරාල්වරු 6 දෙනෙකු පමණ මේ වසර තුළ සේවය හැර යන බව පැවසු ඒ මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට රජයක් වශයෙන් මේ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට අවධාරණය කළේය.
මෙම රැස්වීම සඳහා ගරු ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා, ගරු කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්, අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-11-17
ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.
2025-11-15
සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයිවරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවා 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය.කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍යමණ්ඩල අනුමතිය හිමිවී තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 2021 දෙසැම්බර් මස මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර තිබූ අතර 2025 ජනවාරි 03 වැනි දින මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීමාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මේ හේතුවෙන් දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් සිදු කිරීමට කටයුතු කොට ඇති බවත් ඉක්මනින් මෙම කටයුතු අවසන් වනු ඇති බවත්ය.එසේම අධිකාරියේ සේවකයින්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොවී ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නිලධාරීන් පැවසුවේ මේ වන විට වියදම් අඩු කිරීමට කටයුතු කොට ඇති බවත් මිල අවම කර ගැනීම සඳහා තරඟකාරී ඩෙන්ඩර් ක්‍රමය හඳුන්වාදී ඇති බවත්ය.වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් බැහැර කිරීමට සහ අත්පත් කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. මේ අනුව නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.එසේම සීදූව රද්දොලුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සේවකයන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
2025-11-15
අමාත්‍යාංශ කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සලකා බැලීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව දින දෙකක් රැස් වෙයි පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්නා ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනා කරන ලදි.භාණ්ඩ මිලදීගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීමේදී කාරක සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදි. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටියේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න සලකා බැලිය යුතු බවයි. එසේම මෙම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවීය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නැති බවයි. 2025.11.10 සහ 12 යන දිනයන්හිදී පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීම සිදු විය. මෙහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය. එසේම ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු විය.මෙම කාරක සභාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නීතිඥ සුජීව සේනසිංහ සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
2025-11-15
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලන ලදී.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 13.11.2025 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.2023 වර්ෂය සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව ප්‍රථමයෙන් කාරක සභාවේදී සලකා බලන ලදී. එහිදී කරුණු දැක්වූ එම මාධ්‍ය ජාලයේ ප්‍රධානීහු වර්තමානයේ ඔවුන්ගේ මූල්‍ය තත්ත්වයන් හා අනෙකුත් ගැටලු පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ. 2023 වාර්ෂික වාර්තාව අනුව එම වසරේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය රුපියල් මිලියන 164 ඉක්මවූ පාඩුවක් ලබා ඇති බව දක්වා ඇත. කෙසේ වෙතත් එම පාඩු ලැබීමේ තත්ත්වය ක්‍රමිකව අඩු කරගනිමින් නැවත යථා තත්ත්වයට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එම නිලධාරීහු පැවසුහ.පසුගිය වසර කිහිපය තුළ අයකර ගැනීමට ඇති, ආයතනයට ලැබිය යුතු හිඟ මුදල් අයකරගැනීම ප්‍රශස්ත මට්ටමක පවතින බවත් ඔවුහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ඉන්දියානු ටෙලිනාට්‍ය මාලාවන් අධික මුදලකට මිලදී ගෙන තිබීම හා එම ටෙලිනාට්‍ය වලට තවදුරටත් ගෙවීමට තිබෙන මුදල් පිළිබදව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය. එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලට විකාශන කටයුතු පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පවතින ගැටලු නිශ්චිතව හඳුනාගෙන ඒවා විසඳා ගන්නා ආකාරය පිළිබඳව මාස 3ක් තුළ කාරක සභාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.අනතුරුව 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව කාරක සභාවේදී සලකා බලන ලදී. එහිදී එම ආයතනයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය ඇතුළු ක්‍රියාකාරිත්වය පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ. දැනට ඔවුන්ට ගෙවීමට ඇති ගෙවීම් වලින් 48%ක ප්‍රමාණයක්ම දඩ මුදල් සහිත ගෙවිය යුතු බදු බව එම නිලධාරීහු පෙන්වා දුන්හ. එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දැනට පවතින තාක්ෂණික උපකරණ ඉතා පැරණි මට්ටමක පවතින බව පෙන්වා දුන් එම නිලධාරීහු සමහර විදුලි උපකරණ සේවකයින් විසින් ක්‍රියාත්මක කරනුයේ ජිවිත අවධානමක් සහිතව බවත් පෙන්වා දුන්හ. එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවතින භුමියේ හිමිකාරිත්වය තවමත් සංස්ථාව සතුව නොමැති බවත් ඉදිරි සංවර්ධන කටයුතු වලදී භුමියේ හිමිකාරිත්වය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතුව පැවතීමේ වැදගත්කම පෙන්වා දුන්හ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ආයතන ද්විත්වය නගා සිටුවීමට සඳහා උපායමාර්ගික සැලසුම්වල වැදගත්කම පෙන්වා දුන් අතර මෙම ඉදිරිපත් වූ කරුණු අදාළ අංශ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැවසුවේය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks