පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-03-05
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට ඊයේ (මාර්තු 04) පාර්ලිමේන්තුවේදී රැස්විය. ඒ එම කාරක සභාවේ සභාපති, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.
මෙහිදී දිවයින පුරා රෝහල් හා ඒ ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමුකළහ. ඒ අනුව දැනට රෝහල්වල භාවිතයට නොගෙන ගාල් කර ඇති ගිලන් රථ වල පවතින දෝෂ සකස් කර රෝගී සත්කාර සේවාවලට භාවිතා කිරීම පිළිබඳව කාරක සභාවේදී සාකච්ජා විය. එහිදී අදහස් දැක්වූ ගරු මන්ත්‍රීවරයන් එම දෝෂ සහිත ගිලන් රථ, රජයට වැය බරක් නොමැතිව පෞද්ගලික මට්ටමින් සකස් කර භාවිතට ගැනීම සඳහා පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව නිලධාරීන්ගෙන් විමසා සිටියහ. ඒ අනුව එම තත්ත්වය පිළිබඳව සොයාබලා හැකි ඉක්මනින් ගරු මන්ත්‍රීවරයන් දැනුත් කිරීමට සුදානම් බව අදාළ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුළු නඩත්තු කටයුතු සිදුකිරීමට අවශ්‍ය රථවාහන වෙනුවෙන් පළාත් මට්ටමින් නඩත්තු ඒකක ස්ථාපිත කිරීම යෝග්‍ය බවත් ඒ අනුව බස්නාහිර පළාත තුළ එහි ආරම්භක පියවරක් ලෙස එවැනි ඒකකයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔසුසලක් ස්ථාපිත කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. ඒ අනුව අදාළ ස්ථානය හා භූමි ප්‍රමාණයන් නිශ්චිතව හඳුනාගැනීමෙන් අනතුරුව එම ඔසුසල හැකි ඉක්මනින් ස්ථාපිත කර අවසන් කරන බව නිලධාරීහු පැවසූහ. මිට අමතරව නැගෙනහිර පළාතේ රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව සම්පුර්ණයෙන් ඉදිකිරීම් අවසන් නොකරන ලද රෝහල්වල ඉදිකිරීම්, අවසන් කිරීමට රජය ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බව කාරක සභාව පැවසීය. තවද මෙම සාකච්ඡාවේදී ප්‍රාදේශීය රෝහල්වල පවතින අඩුපාඩු, වෛද්‍යවරුන්ගේ හිඟය, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ආදී කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය.
එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. ඒ අනුව රජරට ප්‍රාදේශීය ගුවන් විදුලියේ විකාශන කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන්නේද යන්න මන්ත්‍රීවරයන් නිලධාරීන්ගෙන් විමසීය. ඒ අනුව වර්තමානයේ රජරට ගුවන් විදුලිය බොහෝ දුෂ්කරතා මධ්‍යයේ විකාශන කටයුතු සිදුකරන බවත් එය නවතා දැමීම පිළිබඳව කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. එමෙන්ම එම ගුවන් විදුලිය නැවත ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා සැලසුම් සකස් කර ඇති බවද එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. රජරට සේවය සඳහා ස්වේච්ඡාවෙන් සම්පත් දායකත්වය ලබාදීම වෙනුවෙන් විශාල කලාකරුවන් හා විද්වතුන් පිරිසක් සුදානමින් සිටින බවත් ඒ සඳහා සම්බන්ධ වීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන ලෙසත් මෙහිදී අදහස් දක්වමින් ගරු මන්ත්‍රීවරයන් අවධාරණය කළහ.
එකිනෙකට වෙනස් විෂය පථයන් දෙකක් පවතින මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එක සැසියකට පැවැත්වීමට වඩා එය සැසි දෙකක් ලෙස ක්‍රියාත්මක කළයුතු බව මන්ත්‍රීවරයන් මෙහිදී යෝජනා කළහ. ඊට පිළිතුරු දැක්වූ කාරක සභා සභාපතිවරයා, අමාත්‍යාංශයේ විෂය පථයන් දෙක පිළිබදව කෙටි කාල සීමාවක් තුළ විධිමත්ව සාකච්ජා කිරීමට අපහසු බවත් මන්ත්‍රීවරයන් යෝජනා කළ පරිදි ඉදිරියේදී මෙම කාරක සභාව තුළ අදාල විෂය පථයන් දෙක වෙන වෙනම සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් පැවසුවේය.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-11-22
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවලවල 2025 සැප්තැම්බර් මස දක්වා සමස්ත මූල්‍ය කාරය සාධනය පිළිබඳ සලකා බැලීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සිදු විය.මේ සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා (නොවැ. 20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් එ් ඒ ආයතනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදු විය. එසේම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් 2026-2030 කාලසීමාවට අදාළ මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය සහ 2026 වර්ෂයට අදාළ ණය ගැනීමේ සැලැස්ම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද මෙහිදී සිදු විය.එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් එම ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද සිදු විය. මෙහිදී විදේශීය සෘජු ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 827 විදේශීය සෘජු ආයෝජන ලෙස ලැබි ඇති බවයි. මේ අනුව කාරක සභාව පෙනවා දුන්නේ ඉදිරි වසර කිහිපය තුළ විදේශ ආයෝජන අඛණ්ඩව වැඩි දියුණු වන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් ආයතන විසින් ඵලදායී පියවර ගත යතු බවයි. මීට අමතරව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදු විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-11-22
ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමතිය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳවූ ලියවිල්ල සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් හා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය එක්ව දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කරන ලදී.ඒ එම කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතිඥ) ලක්මාලි හේමවන්ද්‍ර මෙනවිය සහ සමන්මලී ගුණසිංහ මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.මෙහිදී අදහස් දක්වමින් නිලධාරීන් පැවසුවේ, මෙම යෝජිත පනත් කෙටුම්පතට අදාළ මුල් කෙටුම්පත 2024 ජනවාරි මාසයේදී පල කරන ලද බවයි. එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම කෙටුම්පතට පෙත්සම් ගොනු වූ බවත්, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතුළත් කළ යුතු යැයි නියෝග කරන ලද සංශෝධන, මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් වූ කාරක සභා අවස්ථා සංශෝධන සහ ප්‍රතිපත්තිමය වශයෙන් ඇතුළත් විය යුතු වෙනත් සංශෝධන ඇතුළත් කරමින් නව කෙටුම්පත සකස් කර ගැසට් පත්‍රය සකස් කර ඇති බව නිලධාරිහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. ඒ අනුව මෙම කෙටුම්පත දසවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරීහු පැවසූහ.ඒ අනුව, මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, ඒවායේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සහ 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීමට ද බලාපොරොත්තු වන බව නිලධාරීන් පැවසූහ.මෙම නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය තුළ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් නියෝජනය වන ආකාරයේ සාමාජිකයෙකු ඇතුළත් නොවීම ප්‍රශ්නයක් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය නියාමනයක් නොමැති වීම තුළ විශාල වශයෙන් පීඩාවට පත්ව සිටින්නේ කාන්තාවන් බවත්, ඔවුන්ව නියෝජනය වන ලෙසට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු සිටීමේ වැදගත්කම ගරු මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ හෝ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයෙක් හෝ එම විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් හෝ මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සිටීම යෝග්‍ය බව ගරු මන්ත්‍රීවරුන්ගේ මතය විය.මේ අතර, මෙම කෙටුම්පත් ලියවිල්ලේ අන්තර්ගත අනෙකුත් කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය කිසිදු නියාමානයක් නොමැතිව බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල සමාජ අර්බුදයක් ඇති වී තිබෙන බව පෙන්වා දුන් කාරක සභා මෙහි පරමාර්ථය විය යුත්තේ අදාළ සමාජ අර්බුදය සහ හානිය වළක්වා ගැනීම බව අවධාරණය කරන ලදී. ඒ අනුව ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත පනත් කෙටුම්පතට අදාළ සංශෝධනය ඇතුළත් කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, එම සංශෝධන, පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළහැකි බව නිලධාරීහු පැවසුහ. මෙම රැස්වීම සඳහා ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ මන්ත්‍රීවරියන්, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංගයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
2025-11-21
මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ දේශපාලනයේ අරමුණ වන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය නැගෙනහිර සමාජ සංවර්ධන පදනමේ නියෝජිතයින් හමුවෙමින් පැවසීය.ඇය මේ බව සඳහන් කළේ ප්‍රාදේශීය දේශපාලනය තුළ නියෝජනයක් නොමැති කාන්තා කණ්ඩායම් දේශපාලනික වශයෙන් අන්තර්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය නොවැ. 17 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදීය.රට තුළ වෙසෙන විශේෂ ජන කණ්ඩායම් නියෝජනය වන පරිදි නාමයෝජනා ලබා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් හැකියාව පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය.තවද, නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 10 දින දක්වා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නියෝජිතයන් සමඟද මෙහිදී සකච්ඡා විය.සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන් වන නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සමන්මලී ගුණසිංහ, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ හසාරා ලියනගේ, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත්, සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.
2025-11-20
ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඉඩම්, නිවැරදිව මිනුම් කර කඩිනමින් සිතියම් ගත කර අවසන් කිරීම කෙරෙහි පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ 2021, 2022 සහ 2023 යන වසරවල රජයේ සමාගම්, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා සහ මණ්ඩල කිහිපයක වාර්ෂික වාර්තා සහ වාර්ෂික කාර්ය සාධන වාර්තා සලකා බැලීම සඳහා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී කරුණු දක්වමින් මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීහු දැනට පුරෝකථනය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඉඩම් කට්ටි මිලියන 16.5 පවතිනු ඇති බවත් ඉන් ඉඩම් කට්ටි මිලියන 2.5 මිනුම් කර සිතියම් ගත කර ඇති බවත් කාරක සභාවට දැන්වූහ.ඒ අනුව ඉතිරි ඉඩම් කට්ටි හැකි ඉක්මනින් මිනුම් කර සිතියම් ගත කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා ඒ සඳහා අදාළ සියලුම පාර්ශ්ව කාරක සභාවට කැඳවා ගත හැකි ක්‍රියාමාර්ග හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය.එමෙන්ම 2022 සහ 2023 වසර සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා ද කාරක සභාවේදී සලකා බලන ලදී.තවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නීත්‍යානුකූල ගිවිසුම්වලට එළඹීමෙන් තොරව ඉඩම් බදු දීම නිසා පවතින හිඟ බදු පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. ඒ අනුව ඉදිරියේදී විධිමත් බදු ගිවිසුම්වලට යටත්ව ඉඩම් ලබාදීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා හිඟ බදු අයකර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර, හිඟ බදු පිළිබඳ සියලු කරුණු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබාදුන්නේය.මෙම රැස්වීම සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඥානමුත්තු ශ්‍රීනේෂන්, සුසන්ත කුමාර නවරත්න, සුදත් බලගල්ල සහ නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks