E   |     |  

2025-03-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

“ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම් කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම වැඩි මිල ගණන් ඉදිරිපත් කරලා” - ‘කෝප්’ අනුකාරක සභාවේදී අනාවරණය වෙයි

  • ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්  මාලාව,  සමීක්ෂණ වර්තාවකින්  අනතුරුව සිදුකළ  බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වාර්තාවක් සභාව සතුව නෑ - ජාතික තරුණ සේවා සභා නිලධාරීන් පවසයි.
  • කැබිනට් තීරණයක් නොසලකා ,දේශපාලන  හේතුන් මත  ගැටලු  සඳහා මුහුණ දුන් නිලධාරීන්ට වන්දි ලබාදුන්  කමිටු 3ක් ගැන පුර්ණ වාර්තාවක්  ලබාදෙන්න - කෝප් අනුකාරක සභාව.

 

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම් කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති බව කෝප් අනුකාරක සභාවේදී අනාවරණය විය.

මෙම කරුණු අනාවරණය වුයේ 2022 සහ  2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2025 පෙබරවාරි 18 සහ 20 යන  දිනවලදී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් වලදී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය පිණිස පත්කළ අනුකාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය මාර්තු 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාවේ තුරග තරඟ පිටියේ පැවති සංගීත ප්‍රසංගය ද ඇතුළත්ව මෙම වැඩසටහන සම්බන්ධයෙන්ද පවතින සියලු වීඩියෝ පට කාරක සභාවට ලබා දෙන ලෙස හිටපු සභාපති පසිඳු ගුණරත්න මහතාට ලබාදුන් නිර්දේශය  පිළිබඳව අනු කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. ඒ අනුව  එම වීඩියෝ පට තමන්ට ලබාදී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එහිදී ලක්ෂ 120ක මුදලක් මේ වෙනුවෙන් අදාළ නිෂ්පාදන ආයතන වෙත ලබාදීම පිළිබඳව කාරක සභාව දීර්ඝව කරුණු විමසීය. ඒ  අවස්ථාවේදී අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස අදාළ සැපයුම වැඩි මුදලකට ලබාගෙන එම සමාගම විසින් තවත් ආයතන ඔස්සේ එය  සිදුකර ඇති බවයි.

තවද ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්  මාලාව සමීක්ෂණ වාර්තාවකින්  අනතුරුව  සිදුකළ  බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වර්තාවක් සභාව සතුව නොමැති බව ජාතික තරුණ සේවා සභා නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා  සභාපතිවරයා ස්මාර්ට් යුත්  වැඩසටහන් මාලාව  තුළ  විශාල  මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර පුර්ණ වාර්තාවක් මාස 3ක් තුළ  කාරක සභාවට යොමු කරන ලෙසත්, ජාතික තරුණ සේවා සභාව මගින් ද පරීක්ෂණයක් සිදුකර නිත්‍යානුකූල  පියවරයන්  ගැනීමට  කටයුතු කරන ලෙසත්  නිලධාරීන්ට උපදෙස්  ලබාදුන්නේය.

එමෙන්ම දේශපාලන  හේතුන් මත  ගැටලු  සඳහා මුහුණ දුන් නිලධාරීන් 40 දෙනෙකු  සඳහා වන්දි ලබාදීමට,  විශ්‍රාමික නිලධාරීන්ගෙන් යුත් කමිටුවක්  පත් කරන ලෙස ලබා දී තිබු  කැබිනට් තීරණයක් නොසලකා හරිමින් සභාව මගින් වෙනම කමිටු 3ක් පත්කර වන්දි  ලබාදීම පිළිබඳව ද කාරක සභාවේදී  සාකච්ජා විය. ඒ අනුව මෙලෙස වන්දි ලබාගත් නිලධාරීන්,ලබා දුන් වන්දි මුදල්  ප්‍රමාණයන්, මෙම උසස්වීම් ලබා දුන් දිනයන් ,ගෙවීම් කළ දිනයන් ,අනුමතිය ලබා දුන් දිනයන්  හා තීන්දු ලබා දුන් නිලධාරීන් පිළිබඳව පුර්ණ වාර්තාවක්   සති  2ක්  තුළ ලබාදීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මේ අතර සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය (NYSCO) මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමාවක්  පිළිබඳව  ලැබුණු පැමිණිල්ලක්  කාරක සභාවේදී  දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි. එහිදී අනාවරණය වුයේ  NYSCO මගින් ක්‍රියාත්මක කරන එම ඩිප්ලෝමාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සම්බන්ධයක් නොමැති බවය. මෙහිදී  අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා NYSCO ආයතනය  වර්තමානය වනවිට තරුණ සේවා සභාවේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව පසුවේය. තවද  NYSCO ආයතනයේ මහා සභාවේ සාමාන්‍යාධිකාරිවරයා තෝරාගැනීමේ වයස අවුරුදු 35ක් ලෙස පැවතියද  එම වයස් සීමාව මේ වනවිට  අවුරුදු 50 දක්වා ඉහළ දමා  ඇති බව  ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුහ. ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ නාමය මෙ‍ෙලස අවභාවිත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මේ  පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් විමර්ශනයක් සිදුකර අවශ්‍ය තීරණ ගැනීමට  උපදෙස් දුන්නේය. එමෙන්ම  NYSCO හි  ප්‍රධාන නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට ද සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය. තවද මේ සම්බන්ධව කාරක සභාවේ නිර්දේශ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට යොමු කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

තවද ජාතික තරුණ සේවා සභාවේ  සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගමේ  වාර්ෂික වාර්තා සහ  මුල්‍ය වාර්තා නියමිත කාල රාමු තුලදී  පාර්ලිමේන්තුවට සභාගත කිරීම පිළිබඳව මෙන්ම විගණන හා කළමනාකරණ කමිටු නිසි පරිදි පැවැත්වීම පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

 මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ජගත් මනුවර්ණ, අසිත නිරෝෂණ එගොඩ විතාන,  නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද විගණකාධිපති  ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා  ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ.




සම්බන්ධිත පුවත්

2025-11-19

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) හා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) හා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුනනේ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන 4ක් එකතු වන බව පෙන්වා දුන්නේය. මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා කාරක සභාවේ අනුමතිය හිමි විය.එසේම ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම සිදු වන අතර මේ මගින් දළ එකතුව මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුළුවීමේ බද්ද එක්සත් ජනපද ඩොලර් 50ක සිට 100 දක්වා ඉහළ නැංවීම සිදු වනු ඇත. මේ අනුව මේ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ අනුමතිය හිමි විය.තවද 2004 අංක 11 දරන මුදල් පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයක් සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය. මේ මගින් ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු ගෙවීමේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීම සිදු වේ. මීට අමතරව (52 වන අධිකාරිය වූ) සුරාබදු ආඥා පනතේ 25 වන වගන්තිය සමග කියවිය යුතු 32වන වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පවනා ඇති රීති සම්බන්ධයෙන්ද කාරක සභාව සලකා බලන ලද අතර කෙසේ වුවද ඒ සඳහා කරක සභාවේ අනුමතිය හිමි නොවීය. කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ සුදුසු විශ්ලේෂණයක් කාරක සභාවට ලබාදෙන ලෙසත් ඉන් අනතුරුව ඉදිරියේදී මෙය සලකා බලීම සිදු කරනු ලබන බවත්ය.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2025-11-18

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 12.11.2025 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී  අස්වැසුම  සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය  වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මෙහිදී  අස්වැසුම  සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.එම නිර්ණායක ඔස්සේ අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති ආකාරය පිළිබඳව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22 ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ථ රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට (Social Registry) ඇතුළත් කරගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දෙන ලදී. එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ ඔවුන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කාරක සභාව පෙන්වා දෙන ලදී.එමෙන්ම වැඩිහිටියන්ට සහ අබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබාදීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබාගත නොහැකිව යම්  පිරිසක්  සිටින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත්කමද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (මහාචාර්ය) රුවන් රණසිංහ, නිශාන්ත ජයවීර යන මහත්වරුන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර, චතුර ගලප්පත්ති, තිළිණ සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 


2025-11-17

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනු කාරක සභාවේදී සාකච්ඡා කරයි

ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාල‍ාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.


2025-11-15

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් ‘කෝප්’ කමිටුවේ අවධානය

සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයිවරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.  මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වට (කෝප්) කැඳවා  2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය.කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍යමණ්ඩල අනුමතිය හිමිවී තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 2021 දෙසැම්බර් මස මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර තිබූ අතර 2025 ජනවාරි 03 වැනි දින මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීම‍ාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මේ හේතුවෙන් දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම සංවර්ධන කටයුතු ඉතා  කඩිනමින් සිදු කිරීමට කටයුතු කොට ඇති බවත් ඉක්මනින් මෙම කටයුතු අවසන් වනු ඇති බවත්ය.එසේම අධිකාරියේ සේවකයින්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක  නොවී ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නිලධාරීන් පැවසුවේ මේ වන විට වියදම් අඩු කිරීමට කටයුතු කොට ඇති බවත් මිල අවම කර ගැනීම සඳහා තරඟකාරී ඩෙන්ඩර් ක්‍රමය හඳුන්වාදී ඇති බවත්ය.වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් බැහැර කිරීමට සහ අත්පත් කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. මේ අනුව නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.එසේම සීදූව රද්දොලුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සේවකයන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.  මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks