පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-06-02
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2024 වසරේදී විගමනික සංගම් සාමාජිකයින් 5000 කගේ සහභාගිත්වයෙන් පළාත් මට්ටමේ රැස්වීම 3ක් පැවැත්වීම සඳහා වූ විගමනික හරසර වැඩසටහන සඳහා රු. මිලියන 63කට අධික මුදලක් හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන සේවාවන්, සේවා ලාභීන් පදිංචි ස්ථානවලදීම ලබා ගත හැකිවන පරිදි දිවයින පුරා පැවැත්වූ Glocal Fair වැඩසටහන සඳහා රු මිලියන 1259 කට අධික මුදලක්ද වැයවූ බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා Glocal Fair වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරු අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා වාර්ෂිකව අයවැයෙන් රුපියල් මිලියන 2ක් පමණක් වෙන් කර ඇති බවත්, රු. මිලියන 1259 ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත් එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.
තවද මෙම Glocal Fair වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී ,වෙළඳ කුටියක් රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්තද පසුව වෙළඳ කුටියක් ලක්ෂ 5ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාව විමසා සිටියේය. කෙසේ වෙතත් ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබු මුදල් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම 2013 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ “රටවිරුවෝ” නිවාස ණය වැඩසටහන, වසර 05කට අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව සිදු කර නොමැති බවත් ඒ හේතුවෙන් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු මිලියන 100ක මුදල තවම ලැබී නොමැති බවත් කාරක සභාවේදී අනාවරණය විය. කෙසේ වෙතත් එම ලැබිය යුතු මුදල ලබා දීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ වනවිට එකඟ වී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. මෙහිදී කාරක සභාව විසින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන මගින් කොපමණ පිරිසකට අදාළ ණය පහසුකම ලබා දී තිබේද යන්න නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එවැනි දත්තයක් ඔවුන් සතුව නොපවතින බව ඔවුහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුව නොමැති බව පැවසු කාරක සභා සභාපතිවරයා මෙම රටවිරුවෝ නිවාස ණය වැඩසටහන පිළිබදව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී කටයුතු කර ඇති බව පෙන්වා දුන්හ. වර්තමානය වනවිට බිලියන 18ක්ව පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාවර තැන්පතු වඩාත් ඵලදායී ලෙස යෙදවීමට සැළසුම් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවයද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.
තවද අක්‍රීයව පවතින, 2023 දෙසැම්බර් 31 වැනි දිනට බිලියන 5.1 ක ශේෂයක් පවතින කුවේට් වන්දි අරමුදල සඳහා ගනු ලබන ක්‍රියාමර්ග පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව එම මුදල භාවිතා කර ගෘහ සේවය සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමටත් ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමටත් සැළසුම් සකස් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
එමෙන්ම මෙහිදී රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයින් මාර්ගයෙන් අයතා ලෙස රැකියා ඒජන්සි සිදුකල මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. එහිදී රැකියාවක් සඳහා ඒජන්සියක් මාර්ගයකින් තොරව ස්වයං පිටත්ව යන සෑම ශ්‍රමිකයෙක්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වියයුතු බවත් ඒ සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත් කාරක සභාවේදී කරුණු පැහැදිලි විය. එමෙන්ම ඒජන්සි මගින් ශ්‍රමිකයින් රැකියා සඳහා යොමු කිරීමේදී ද එම ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත් එම මුදලින් 70%ක් නැවත අදාළ ඒජන්සි සඳහා ගෙවන බවත් කාරක සභාවෙදී අවධාරණය කෙරිණි. කෙසේ වෙතත් ස්වයං පිටත්ව යන ශ්‍රමිකයින්, ඒජන්සි මගින් පිටත්වන ශ්‍රමිකයින් ලෙස හුවා දක්වමින් වංචා සහගතව සිදු කර තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරුණු සෙවීමට අනු කමිටුවක් පත්කිරීමට කාරක සභා සභාපතිවරයා තීරණය කළේය.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න,මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, මයිල්වාගනම් ජෙගදීස්වරන්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා , සුජීව දිසානායක, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ ,ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025-11-13
රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක් සකස් කර ලබන 13 වැනි දින රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දීමට සුදානම් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පැවසුවේය.ඒ, සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 10.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, මෙලෙස රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා විවිධ පාර්ශ්ව හමුවී සාකච්ඡා පවත්වා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගත් බවත් එහිදී ඔවුන්ගේ සේවාවන්හි පවතින ගැටලු හා වැටුප් විෂමතාවන් පිළිබඳව පුළුල්ව අවබෝධයක් ලබා ගත් බවද පැවසුවේය.ඒ අනුව සමස්ත රාජ්‍ය සේවයේ නිරතවෙන සේවකයින් උදෙසා වඩාත් විධිමත් හා විද්‍යානුකූලව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමටත්, ඔවුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වන සේවා ව්‍යවස්ථා, බඳවාගැනීමේ පටිපාටි, උසස්වීම් සහ දීමනා සම්බන්ධව දැනට පවතින තත්ත්වයන් වඩාත් සාධාරණ ආකාරයට සිදු කිරීමට අපේක්ෂා කරන යෝජනා හා අදහස් ඇතුළත් අතුරු වාර්තාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දෙන බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අජන්ත ගම්මැද්දෙගේ, නීතිඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-11-13
2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121(5)(i) ප්‍රකාරව සකස් කරන ලද කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලන ලදී.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ තාක්ෂණික කණ්ඩායම විසින් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.ඒ අනුව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත, රාජ්‍ය ණය කළමනාකරණ (PDM) පනත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැඩසටහන යටතේ නියම කර ඇති අවශ්‍යතාවයන් තුළ 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස් වී ඇති බව වාර්තාව මගින් දක්වා ඇත. එමෙන්ම 2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100ක් වැඩි ආදායමක් උත්පාදනය වීම හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස් කිරීමට පහසුවක් වී ඇති බවද දක්වා ඇත. කෙසේ වෙතත් වාහන ආනයනය මන්දගාමී වීම මත 2026 දී ආදායම් වැඩිවීම මන්දගාමී වනු ඇතැයි ද අපේක්ෂා කරන බවද වාර්තාව මගින් දක්වා ඇත. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.අනතුරුව 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟද සාකච්ඡා පවත්වන ලදී. එහිදී එම නියෝජිතයින් විසින් අයවැයේ විනිවිදභාවය, විවිධ අංශවලට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති ආකාරය හා දැනට හඳුනාගෙන ඇති ගැටලු හා යෝජනා පිළිබඳව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළහ. ඒ අනුව ඔවුන්ගේ එම අදහස් හා යෝජනා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා පැවසීය.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, තිළිණ සමරකෝන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-11-13
ඇතැම් ආයතනවල අකාර්යක්ෂමතාවය පිළිබඳ කාරක සභාව නොසතුට පළ කරයි - නැවත කැඳවන විට ඇල්මැරුණු තාක්ෂණික පිළිතුරු වෙනුවට දින වකවානු සහිත නිශ්චිත සැලැස්මක් සමග පැමිණෙන ලෙසටත් දැනුම් දෙයිජනතාව අපේක්ෂා සහඟතව බලා සිටින, අයවැය යෝජනා ඉටුකිරීම පිණිස කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කරයි අමාත්‍යාංශ හතරක 2025 වර්ෂයේ අයවැය යෝජනාවලට අදාළ මූල්‍ය සහ භෞතික ප්‍රගතිය පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විමසන ලදී.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මේ අනුව බලශක්ති අමාත්‍යාංශය, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන යන අමාත්‍යාංශවල 2025 වර්ෂයට අදාළ අයවැය යෝජනාවල මූල්‍ය සහ භෞතික ප්‍රගතිය සොයා බැලීම සිදු කෙරිණි. මෙම අමාත්‍යාංශ ලේකම්වරු සහ අදාළ ආයතන ප්‍රධානීන් මෙම රැස්වීමට කැඳවා තිබිණි.කැලණිවැලි දුම්රිය මාර්ගය වෙනුවෙන් ගිය වසරේ රු. මිලියන 250ක මුදල් වෙන් කළද එහි ප්‍රගතිය පහළ මට්ටමක පැවතීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය. පසුගිය මාර්තු මාසයේ අයවැයෙන් මුදල් වෙන්කළද මෙතෙක් දක්නට ලැබෙන ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව ඉන් පිළිඹිබු වන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මෙම වසරේද අයවැය යෝජනා මගින් කැලණිවැලි දුම්රිය මාර්ගය වෙනුවෙන් රු. මිලියන 840ක මුදල් වෙන් කළද නිසි සැලැස්මක් සහිතව කාර්යක්ෂම ලෙස කටයුතු නොකළහොත් ඉලක්කගත ප්‍රගතිය අපේක්ෂා කළ නොහැකිවනු ඇති බවද අවසානයේ සිදුවන්නේ ජනතා අපේක්ෂාවන් නිසි කලට ඉටු නොවීම බවද කාරක සභාව පෙන්වා දුන්නේය.තඹුත්තේගම දුම්රිය ස්ථානය සංවර්ධනය සඳහා 2025 අවැයෙන් වෙන්කළ මුදල් භාවිතා කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විමසා සිටි අතර නිලධාරීන් ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අයවැය යෝජනා මගින් මුදල් වෙන් කළ ද දිගින් දිගටම ව්‍යාපෘති ප්‍රමාද වීමත් ඒ අනුව අවසානයේ එම මුදල් නැවත භාණ්ඩාගාරයට යැවීමට සිදුවීම කණගාටුදායක බව පැවසූ කාරක සභාව ඒ සම්බන්ධයෙන් සිය නොසතුට පළකර සිටියේය. ඒ අනුව ඇල්මැරුණු තාක්ෂණික පිළිතුරු වෙනුවට දින වකවානු සමඟ නිවැරදි සැලසුම් ඉදිරිපත් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. අයවැය මගින් වෙන්කරන ලද මුදල් භාවිතා කිරීමේ ප්‍රගතිය සොයා බැලීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංගම ඇතුළු අවශ්‍ය ආයතන නැවත කාරක සභාවට කැඳවන බවත් එසේ පැමිණෙන විට සියලු නිවැරදි දත්ත තොරතුරු සමග පැමිණෙන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මහාමාර්ග හා ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කරණය, නව බස්රථ මිලදී ගැනීම, නාගරික සංවර්ධන අධිකාරියට අදාළ වන කොළඹ මහල් නිවාස අලුත්වැඩියාව ඇතුළු පවතින ගැටලු, බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි ඉලක්ක ඇතුළු මෙම අමාත්‍යාංශ හතරෙහි අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. එසේම කාරක සභාව මීට පෙර දැනුම් දී ඇති පරිදි ගාලු වරාය ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳ වාර්තාව කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසත් එම නිලධාරීන්ට දැනුම් දුන්නේය. එසේම මීට පෙර කාරක සභාවේදී අනාවරණය වූ කරුණු අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්ය සාධනය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කරන බව කාරක සභා සභාපතිවරයා පැවසීය.කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන නලින් බණ්ඩාර ජයමහ, මංජුල සුරවීර ආරච්චි, රවීන්ද්‍ර බණ්ඩාර, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතිඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2025-11-13
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට අදාළ කාර්ය සාධන වාර්තා එකොළහක් සහ වාර්ෂික වාර්තා හතක්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් සලකා බලා අනුමත කරන ලදී. උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී රැස්විය.ඒ අනුව, 2023 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2023 සහ 2024 වසර සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා, 2023 සහ 2024 වසර සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා, 2023 සහ 2024 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා, 2023 සහ 2024 වර්ෂ සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා, 2023 සහ 2024 වසර සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2023 වසර සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2022 සහ 2023 වර්ෂ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා, රණවිරු සේවා අධිකාරියේ 2023 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව, රක්නා ආරක්ෂක ලංකා සමාගමේ 2020 සහ 2021 වර්ෂයන් සඳහා වන වාර්ෂික වාර්තා සමසේ සලකා බලා අනුමත කෙරිණි.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, චන්දන සූරියආරච්චි, නීතිඥ අනුෂ්ක තිලකරත්න, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී.සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks