පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-06-06
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව තිබෙන සියලු දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) නිර්දේශ කරන ලදී. එහිදී වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදෙන ලදී.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයයේ 2023 මූල්‍ය වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 04 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ සිදුවීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී එම සිදුවීමට පාදක වූ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ අවුරුදු උත්සවය පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය පාලකවරයා එම සංවිධානය කෙරුණු අවුරුදු උත්සවය පිළිබඳව පාලනාධිකාරිය විසින් තමන්ව දැනුවත්ව නොකළ බව පැවසුවේය. නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව එම අවුරදු උත්සවය සඳහා අනුමතිය ලබාදී ඇති බවද ඒ මහතා පැවසුවේය. එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාර තුළ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම් දී තිබූ බවද ශිෂ්‍ය විනය පාලකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය. ඒ අනුව පාලනාධිකාරිය අතින් යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ සොයාබැලීම්, මග හැරී ඇතිබව නිරීක්ෂණ වන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. මේ සිදුවීමට අදාළවද නිසි කාර්යක්ෂම ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට කාරක සභාව අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
මේ අතර 2022 වසරේදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට කොන්ත්‍රාත් කරුවෙකු සඳහා විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවරසර ලබාදීම පිළිබඳ සිදුවීමද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී. පාලනාධිකාරිය විසින් මෙලෙස පස් කපාගෙන යාමට අභ්‍යන්තරව අවසර ලබා දුන්නද පසුව එය වැරදි ක්‍රියාවක් යැයි හැඟී යාමෙන් පසු නිසි අවසරය අදාළ කොන්ත්‍රාත්කරුට ලබා නොදුන් බව විශ්වවිද්‍යාල බලධාරීහු මෙහිදී අදහස් දක්වමින් පැවැසුහ. කෙසේ වෙතත් 2022.10.19 වැනි දින අදාළ කොන්ත්‍රාත්කරු මෙෙලස පස් කපාගෙන යාම සම්බන්ධව විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ පාලනාධිකාරිය දැනුවත් කලද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිදුවීම පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ 2024 වසරේදී බව කාරක සභාවේදී අනාවරණය විය.
මේ අතර විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන් පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. එහිදී අදහස් දක්වමින් නිලධාරීහු පෙන්වා දුන්නේ සමස්ථයක් ලෙස වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ගෙන් 7000කට ආසන්න ප්‍රමාණයක් පළමු අවස්ථාවේ ලියාපදිංචි නොවන බව පැවසුහ. කෙසේ වෙතත් වටකිහිපයක් ලියාපදිංචි කිරීමෙන් පසු අදාළ පුරප්පාඩු සංඛ්‍යාව සම්පුර්ණ කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීම දැඩිව අවධානය යොමු කිරීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
තවද 2014 වසරේදී රුපියල් මිලියන 123 කට වඩා වැඩි මුදලක් වැයකර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාගාරය ඉදිකර තිබුනත් ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම ,බොරළු මිශ්‍ර පස් සේදී යාම නිසා මතුපිට රළු ස්වභාවයක් ගැනීම හා පැති බැම්ම පුපුරා යමා ආදී ගැටලු රැසක් පැන නැගී තිබු බව විගණන කාර්යාලය විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව කෝප් කමිටුව දුන් පෙර නිර්දේශ මත ක්‍රීඩාපිටියේ පැති බැම්ම හා ක්‍රීඩාගාරය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය ( CECB ) විසින් පිළිසකර කර විශ්වවිද්‍යාලය වෙත බාරදී තිබුනද ක්‍රීඩාපිටිය නිසි ලෙස භාරගෙන නඩත්තු නොකරන බව විගණනය විසින් පෙන්වා දෙන ලදී. ඒ හේතුවෙන් ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම හා මතුපිට රළු ස්වභවය හේතුවෙන් සිසුන්ට ක්‍රීඩා කිරීමේදී දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.
මේ සම්බන්ධව කරුණු විමසීමේදී විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් පෙන්වා දුන්නේ එම ප්‍රදේශයේ පවතින භෞතික පිහිටීම මත ක්‍රීඩාපිටියේ වේයන්ගේ පස් තැනින් තැන මතුවන බවයි.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ක්‍රීඩාංගණය නඩත්තු කිරීම සඳහා නිශ්චිත පුද්ගලයෙකුට වගකීමක් සහිතව භාරනොදීම පිළිබඳව විමසා සිටියේය. එමෙන්ම මෙවැනි විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන විට එය අධීක්ෂණය කිරීම සඳහා ඉංජිනේරුවරයෙකු ස්ථිරව පත් නොකොට වැඩ ඉංජිනේරුවරයෙකු මාර්ගයෙන් අදාළ අධීක්ෂණ කටයුතු සිදුකිරීම පිළිබඳවද විගණනය විසින් පෙන්වා දුන් කරුණ පිළිබඳවද විමසා සිටියේය. ඒ සඳහා පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා පෙන්වාදුන්නේ තමන්ට උපකුලපතිවරයා විසින් එම රාජකාරිය නොපැවරූ බවයි. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාපිටිය නඩත්තු කිරීම සඳහා වරෙක පිරිසිදු කිරීමේ අංශයට භාරදී ඇති අතර වර්තමානය වනවිට ක්‍රීඩා අංශයට බාර දී ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.
මේ අතර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේදී වැඩ ඉංජිනේරුවරයාගේ සහතිකය මත අදාළ කොන්ත්‍රාත්කරු ඉල්ලුම් නොකළ ලක්ෂ 26කට අධික මුදලක් ලබා දී ඇති බවද මෙහිදී අනාවරණය විය.
එමෙන්ම විශ්වවිද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ කොන්ත්‍රාත්කරු විසින් ගිවිසුම්ගත වැඩ පැහැර හැර, ඉදිකිරීම් වැඩ නවතාදමා තිබියදී අත්තිකාරම් බැඳුම්කරය මුදල් කර නොගැනීම හේතුවෙන්ද රුපියල් ලක්ෂ 288කට අධික මුදලක අලාභයක් සිදුව ඇති බව විගණන කාර්යාලය පෙන්වා දී තිබු අතර එම අලාභය වෙනුවෙන් අධිභාර නිවේදනයක්ද නිකුත් කර තිබුනත් මේ වනවිටත් එය අධිභාර කරගෙන නොතිබුණි.
කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් නැවත සිදු නොවීම උදෙසා සියලු ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රමවත්ව අධීක්ෂණය කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකාරවරයෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබු නමුත් ඔහුද මාස 4කට අඩු කාලයක් පමණක් සේවය කර ඉල්ලා අස්වී ඇති බව කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී. එමෙන්ම සේවා පහසුකම් වල පවතින ඌනතා ලබාදෙන ලෙස ඉල්ලීම් කලද එම ඉල්ලීම් ඔහුට නොලැබීම හේතුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳවද කාරක සභාව තුල දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නීතිඥ දයාසිරි ජයසේකර, එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ, සුදත් බලගල්ල, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩ විතාන, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025-07-28
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ.
2025-07-28
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල විශේෂඥයින් සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2025-07-28
නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත. එමෙන්ම බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන් යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025-07-28
අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින් 2026 වසරේදී දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු කාරක සභාවට සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී කාරක සභාව විසින් ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශ නිලධාරීහු දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත් නිරාකරණය නොවූ විගණන විමසුම් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම මහත්මීහු මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු පිඑඉසක් සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks