පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-08-28
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ඉදිරියේදී වැඩ අවසන් කිරීමට නියමිත කෙරවලපිටිය සහස්දනවි ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) බලාගාරයට අදාළව අනුමතිය ලබාගත් කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගත මිල ගණන් වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමේ අවශ්‍යතාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පෙන්වා දෙන ලදී. එම මිල ගණන් සඳහා එවකට මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භවූ 2021 වසරේ පැවති ඉන්ධන මිල සහ ඩොලරයේ අගය වැනි සාධක පදනම්වී ඇති බැවින් එහි වත්මන් මිල ගණන්වල තත්ත්වය පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද කාරක සභාව බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (අගෝ. 25) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නලින් බණ්ඩාර සහ ජගත් විතාන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ. විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කළේ 2020 වසරේ කැබිනට් අනුමතිය හිමිවීමෙන් අනතුරුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 350MW ධාරිතාවක LNG බලාගාරයක් ඉදිකිරීම සඳහා සිදුකරන ලද ජාත්‍යන්තර තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් මගින් විනිවිදබවකින් යුතුව මෙම සමාගම තෝරාගත් බවත් 2023 වසරේදී ව්‍යාපෘතිය ප්‍රදානය කළ බවත්ය.
LNG සහ ඩීසල් ද්විත්වයෙන් ක්‍රියාත්මක විය හැකි සොබාදනවි බලාගාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. එම බලාගාරය තවදුරටත් ඩීසල් බලයෙන් පමණක් ක්‍රියාත්මක වීම පිළිබඳව මෙහිදී විමසීම් සිදු කෙරිණි. මුහුදේ පාවෙන ගබඩා ක්රමවේදය (FSRU) හරහා වෙනම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සැපයුම්කරුවෙකු තෝරා LNG බාහිරින් සැපයිය යුතු බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව එම කටයුතු කඩිනමින් සිදු කොට LNG මගින් මෙම බලාගාරය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
එසේම සොබාදනවි ව්‍යාපෘතිය පිළිබඳ සමාලෝචනයක යෙදී එහි අඩුපාඩු ඇත්නම් ඒවා සහස්දනවි ව්‍යාපෘතියේදී ඇති නොවන පරිදි පැහැදිළි මාර්ග සිතියමක් සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.
2027 වසර අවසන් වන වන විට සහස්දනවි බලාගාරයේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් 2028 වසර අවසන් වීමට පෙර මෙම බලාගාර LNG මගින් ක්‍රියාත්මක කළ යුතු බවට ගරු ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව මෙහිදී නිලධාරීහු පැවසූහ.
මේ අනුව මෙම ක්‍රමවේදයන්, සැලසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිළි කෙටි වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට ලබා දෙන ලෙසත් නිලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.
2025-11-18
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 12.11.2025 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මෙහිදී අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.එම නිර්ණායක ඔස්සේ අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති ආකාරය පිළිබඳව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22 ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ථ රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට (Social Registry) ඇතුළත් කරගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දෙන ලදී. එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ ඔවුන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කාරක සභාව පෙන්වා දෙන ලදී.එමෙන්ම වැඩිහිටියන්ට සහ අබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබාදීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබාගත නොහැකිව යම් පිරිසක් සිටින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත්කමද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (මහාචාර්ය) රුවන් රණසිංහ, නිශාන්ත ජයවීර යන මහත්වරුන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර, චතුර ගලප්පත්ති, තිළිණ සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2025-11-17
ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.
2025-11-15
අමාත්‍යාංශ කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සලකා බැලීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව දින දෙකක් රැස් වෙයි පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්නා ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනා කරන ලදි.භාණ්ඩ මිලදීගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීමේදී කාරක සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදි. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටියේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න සලකා බැලිය යුතු බවයි. එසේම මෙම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවීය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නැති බවයි. 2025.11.10 සහ 12 යන දිනයන්හිදී පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීම සිදු විය. මෙහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය. එසේම ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු විය.මෙම කාරක සභාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නීතිඥ සුජීව සේනසිංහ සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
2025-11-15
සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයිවරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවා 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය.කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍යමණ්ඩල අනුමතිය හිමිවී තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 2021 දෙසැම්බර් මස මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර තිබූ අතර 2025 ජනවාරි 03 වැනි දින මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීමාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මේ හේතුවෙන් දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් සිදු කිරීමට කටයුතු කොට ඇති බවත් ඉක්මනින් මෙම කටයුතු අවසන් වනු ඇති බවත්ය.එසේම අධිකාරියේ සේවකයින්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොවී ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නිලධාරීන් පැවසුවේ මේ වන විට වියදම් අඩු කිරීමට කටයුතු කොට ඇති බවත් මිල අවම කර ගැනීම සඳහා තරඟකාරී ඩෙන්ඩර් ක්‍රමය හඳුන්වාදී ඇති බවත්ය.වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් බැහැර කිරීමට සහ අත්පත් කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. මේ අනුව නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.එසේම සීදූව රද්දොලුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සේවකයන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks