බලන්න

E   |     |  

2025-09-02

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතන පහක කාර්ය සාධනය විමසයි

  • ජාතික සැලැස්මක් අනුව කර්මාන්ත සඳහා ඉඩම් ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් පිළිබඳව පුළුල් අවධානය
  • වසර 192ක් පැරණි බී.සී.සී. සමාගමේ නිෂ්පාදන සඳහා පළමුවරට තත්ත්ව සහතික

 

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධනය සහ ඒ යටතේ ඇති ආයතන පහක කාර්ය සාධනය විමසා බැලීම සිදුකෙරිණි. 

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරු ද මෙම රැස්වීමට සහභාගී වූහ.

මේ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2023 සහ 2024 වර්ෂවලට අදාළ කාර්ය සාධන වාර්තාව සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තාව, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ 2023 වසරට අදාළ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 2021, 2022 සහ 2023 වසරවලට අදාළ  වාර්ෂික වාර්තා,   බීසීසී ලංකා ලිමිටඩ් ආයතනයේ 2021/2022 සහ 2022/2023 වසර සඳහා වාර්ෂික වාර්තා හා ජාතික ලුණු සමාගමේ 2021/2022 සහ 2022/2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා හා ගිණුම් මෙසේ සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය ලබාදීම සිදුවිය.

මෙහිදී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා පවතින ගැටලු පිළිබඳව අවධානය යොමු වූ අතර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය පෙන්වා දුන්නේ පෙර සිට පැවතෙන ක්‍රමවේදය අනුව ආයෝජකයන්ට ඉඩම් ලබාදීම ඇතුළු ගැටලු රැසක් පවතින බවයි. මේ අනුව නව කර්මාන්ත සඳහා ආයෝජකයෙක්හට ඉඩමක් ලබාදීමට වසර 4කට වැඩි කාලයක් ගතවන බව ඇය පෙන්වා දුන්නාය. අන්තර්ජාතික සංකල්ප අනුව සාමාන්‍යයෙන් රටක භූමි ප්‍රමාණයෙන් 3%ක් කර්මාන්ත සඳහා වෙන් වුවද ශ්‍රී ලංකාවේ මෙම අගය 0.01%ක් බව ද ලේකම්වරිය පැවසුවාය.

මීට පෙර ජාතික සැලැස්මකට අනුව කර්මාන්ත සඳහා ගැළපෙන ඉඩම් ලබාදීමට කටයුතු නොකර දේශපාලනමය හෝ වෙනත් හේතු නිසා ඉඩම් ලබාදීම හේතුවෙන් විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවී ඇති බවත් මෙහිදී සාකච්ඡා විය. මේ අනුව දිවයිනපුරා පිහිටා ඇති කර්මාන්තවලට ගැළපෙන ඉඩම් අක්කර 50000ක් වෙන් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.   මේ අනුව මේ පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ ආයතන සාකච්ඡා කොට ගත හැකි පියවර සහ ඉදිරි සැලැස්ම පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. 

මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය සහ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ  මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බව ද නිලධාරීහු පැවසූහ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ ව මෙහිදී අවධානය යොමුවිය. මෙරට අපනයනය ප්‍රවර්ධනය හා සංවර්ධනය සඳහා පවතින එකම ආයතනය මෙය බවත් ඇඟලුම්, තේ, රබර්, කුළුබඩු, තොරතුරු තාක්ෂණික, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු ක්ෂේත්‍රවලට අදාළ ඉදිරි වසර 5 ට අදාළ සැලසුම් සකස් කර ඇති බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ. මෙරට අපනයනයන වැඩිම ප්‍රමාණයක් සිදුකරන ඇමරිකාවේ බදු ප්‍රතිපත්තිය මනා ලෙස කළමනාකරණය කර ගනිමින්  ඊට මුහුණ දීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් 2023 වසර වන විට ඇ.ඩො බිලියන 15 කට ආසන්න අපනයන ආදායම 2028 වසර වන විට ඇ.ඩො බිලියන 28 දක්වා වැඩිකිරීමේ ඉලක්කයක් සහිතව කටයුතු කරන බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ.   

එසේම ජාතික ලුණු සමාගමේ නිෂ්පාදන කටයුතු ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව සිදුකරන බව නිලධාරීහු පැවසූහ. දේශගුණික තත්ත්වයන්වල වෙනස නිසා පසුගිය කාලයේ ස්වභාවික ලුණු නිෂ්පාදනය අඩුවීමක් සිදුවූ බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව ස්වභාවික ක්‍රියාවලිය වෙනුවට නවීන තාක්ෂණයෙන් කෘතිමව ලුණු නිෂ්පාදනය කිරීමේ  ලේවායක් අලිමංකඩ ප්‍රදේශයේ සෑදිමට සැලසුම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.  ජාතික ලුණු සමාගමේ මෙම වසරේ ඉලක්ක අදායම රු.බිලියන 1ක් බවත් එය පසුගිය වසරට සාපේක්ෂව 50%ක වැඩිවීමක් බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

එසේම බීසීසී ලංකා ලිමිටඩ් ආයතනය උසස්ම තත්ත්වයේ පොල්තෙල් නිෂ්පාදනය කරන වසර 192ක් පැරණි ආයතනයක් වුවද  තත්ත්ව සහතික ලබාගෙන නොතිබූ බවත් එහි වත්මන් සභාපතිවරයා කාරක සභාවට පැවසීය. මෙම තත්වය හමුවේ අපනයන අවස්ථා බොහෝමයක් අහිමිවී ඇති බවත් මේ අනුව SLS, ISO ඇතුළු තත්ත්ව සහතික ලබා ගැනීමට කඩිනම් පියවර ආරම්භ කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 

මෙම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, සිවඥානම් ශ්‍රීතරන්,  නීතිඥ නිලන්ති කොට්ටහච්චි, කන්දසාමි ප්‍රභූ, විජේසිරි බස්නායක, සුරංග රත්නායක සහ  තිළිණ සමරකෝන් යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.




සම්බන්ධිත පුවත්

2025-11-22

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල තුන්වැනි කාර්තුවේ ප්‍රගතිය පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවලවල 2025 සැප්තැම්බර් මස දක්වා සමස්ත මූල්‍ය කාරය සාධනය පිළිබඳ සලකා බැලීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සිදු විය.මේ සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා (නොවැ. 20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් එ් ඒ ආයතනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදු විය. එසේම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් 2026-2030 කාලසීමාවට අදාළ  මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය සහ 2026 වර්ෂයට අදාළ ණය ගැනීමේ සැලැස්ම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද මෙහිදී සිදු විය.එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් එම ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද සිදු විය. මෙහිදී විදේශීය සෘජු ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර  නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 827 විදේශීය සෘජු ආයෝජන ලෙස ලැබි ඇති බවයි. මේ අනුව කාරක සභාව පෙනවා දුන්නේ ඉදිරි වසර කිහිපය තුළ විදේශ ආයෝජන අඛණ්ඩව වැඩි දියුණු වන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් ආයතන විසින් ඵලදායී පියවර ගත යතු බවයි.  මීට අමතරව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදු විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2025-11-22

ශ්‍රී ලංකා ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිළිබඳ යෝජිත පනත් කෙටුම්පත් ලියවිල්ල පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවන්හි අවධානය

ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමතිය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳවූ ලියවිල්ල සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් හා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය එක්ව දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කරන ලදී.ඒ එම කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතිඥ) ලක්මාලි හේමවන්ද්‍ර මෙනවිය සහ සමන්මලී ගුණසිංහ මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.මෙහිදී අදහස් දක්වමින් නිලධාරීන් පැවසුවේ, මෙම යෝජිත පනත් කෙටුම්පතට අදාළ මුල් කෙටුම්පත 2024 ජනවාරි මාසයේදී පල කරන ලද බවයි. එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම කෙටුම්පතට පෙත්සම් ගොනු වූ බවත්, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතුළත් කළ යුතු යැයි නියෝග කරන ලද සංශෝධන, මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් වූ කාරක සභා අවස්ථා සංශෝධන සහ ප්‍රතිපත්තිමය වශයෙන් ඇතුළත් විය යුතු වෙනත් සංශෝධන ඇතුළත් කරමින් නව කෙටුම්පත සකස් කර ගැසට් පත්‍රය සකස් කර ඇති බව නිලධාරිහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. ඒ අනුව මෙම කෙටුම්පත දසවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරීහු පැවසූහ.ඒ අනුව, මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, ඒවායේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සහ 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීමට ද බලාපොරොත්තු වන බව නිලධාරීන් පැවසූහ.මෙම නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය තුළ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් නියෝජනය වන ආකාරයේ සාමාජිකයෙකු ඇතුළත් නොවීම ප්‍රශ්නයක් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය නියාමනයක් නොමැති වීම තුළ විශාල වශයෙන් පීඩාවට පත්ව සිටින්නේ කාන්තාවන් බවත්, ඔවුන්ව නියෝජනය වන ලෙසට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු සිටීමේ වැදගත්කම ගරු මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ හෝ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයෙක් හෝ එම විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් හෝ මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සිටීම යෝග්‍ය බව ගරු මන්ත්‍රීවරුන්ගේ මතය විය.මේ අතර, මෙම කෙටුම්පත් ලියවිල්ලේ අන්තර්ගත අනෙකුත් කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය කිසිදු නියාමානයක් නොමැතිව බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල සමාජ අර්බුදයක් ඇති වී තිබෙන බව පෙන්වා දුන් කාරක සභා මෙහි පරමාර්ථය විය යුත්තේ අදාළ සමාජ අර්බුදය සහ හානිය වළක්වා ගැනීම බව අවධාරණය කරන ලදී. ඒ අනුව ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත පනත් කෙටුම්පතට අදාළ සංශෝධනය ඇතුළත් කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, එම සංශෝධන, පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළහැකි බව නිලධාරීහු පැවසුහ. මෙම රැස්වීම සඳහා ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ මන්ත්‍රීවරියන්, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංගයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 


2025-11-21

මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම අප‍ෙග් දේශපාලනයේ අරමුණයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ දේශපාලනයේ අරමුණ වන බව  කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්  මහත්මිය නැගෙනහිර සමාජ සංවර්ධන පදනමේ නියෝජිතයින් හමුවෙමින් පැවසීය.ඇය මේ බව සඳහන් කළේ  ප්‍රාදේශීය දේශපාලනය තුළ නියෝජනයක් නොමැති කාන්තා කණ්ඩායම් දේශපාලනික වශයෙන් අන්තර්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය නොවැ. 17 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදීය.රට තුළ වෙසෙන  විශේෂ ජන කණ්ඩායම් නියෝජනය වන  පරිදි නාමයෝජනා ලබා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් හැකියාව පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය.තවද, නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 10 දින දක්වා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නියෝජිතයන් සමඟද මෙහිදී සකච්ඡා විය.සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන් වන නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සමන්මලී ගුණසිංහ, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ හසාරා ලියනගේ, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත්,  සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.


2025-11-20

ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඉඩම්, නිවැරදිව මිනුම් කර කඩිනමින් සිතියම් ගත කර අවසන් කිරීම කෙරෙහි පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඉඩම්, නිවැරදිව මිනුම් කර කඩිනමින් සිතියම් ගත කර අවසන් කිරීම කෙරෙහි පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ 2021, 2022 සහ 2023 යන වසරවල රජයේ සමාගම්, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා සහ මණ්ඩල කිහිපයක වාර්ෂික වාර්තා සහ වාර්ෂික කාර්ය සාධන වාර්තා සලකා බැලීම සඳහා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන්  පසුගිය 17 වනදා  පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී කරුණු දක්වමින් මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීහු දැනට පුරෝකථනය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඉඩම් කට්ටි මිලියන 16.5 පවතිනු ඇති බවත් ඉන් ඉඩම් කට්ටි මිලියන 2.5 මිනුම් කර සිතියම් ගත කර ඇති බවත් කාරක සභාවට දැන්වූහ.ඒ අනුව ඉතිරි ඉඩම් කට්ටි හැකි ඉක්මනින් මිනුම් කර සිතියම් ගත කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා ඒ සඳහා අදාළ සියලුම පාර්ශ්ව කාරක සභාවට කැඳවා ගත හැකි ක්‍රියාමාර්ග හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඉදිරියේදී  සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය.එමෙන්ම 2022 සහ 2023 වසර සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා ද කාරක සභාවේදී සලකා බලන ලදී.තවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නීත්‍යානුකූල ගිවිසුම්වලට එළඹීමෙන් තොරව ඉඩම් බදු දීම නිසා පවතින හිඟ බදු පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. ඒ අනුව ඉදිරියේදී විධිමත් බදු ගිවිසුම්වලට යටත්ව ඉඩම් ලබාදීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා හිඟ බදු අයකර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර, හිඟ බදු පිළිබඳ සියලු කරුණු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබාදුන්නේය.මෙම රැස්වීම සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඥානමුත්තු ශ්‍රීනේෂන්, සුසන්ත කුමාර නවරත්න, සුදත් බලගල්ල සහ නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks