බලන්න

E   |     |  

2025-09-10

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා, යාවත්කාලීන කරන ලද දේශගුණික සමෘද්ධි සැලැස්ම සඳහා සහය ඉල්ලා සිටියි

CVF-V20 ලේකම් කාර්යාලයේ මහලේකම් සහ මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ කථානායක ගරු මොහොමඩ් නෂීඩ් මහතාගේ නායකත්වයෙන් යුත් CVF - V20 හි ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් සහ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමඟ විශේෂ ඒකාබද්ධ රැස්වීමක් පසුගියදා පැවැත්විණි.

නියෝජිත පිරිස පිළිගනිමින්, පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අවධාරණය කළේ දේශගුණික සමෘද්ධි සැලසුම් (Climate Prosperity Plans) සඳහා සහාය සහතික කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රයට කැප වූ වෙනම ආයතනයක් නිර්මාණය කළ යුතු බවයි. මෙම දේශගුණික සමෘද්ධි සැලැස්ම තවත් ප්‍රතිපත්ති ලේඛනයක් පමණක් නොවන බවත්, අවදානම් සහගත තත්ත්වයන් සඳහා, ශ්‍රී ලංකාව ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු බවට පොරොන්දුවක් බවත් සභාපතිවරයා පැවසීය. එසේම යාවත්කාලීන කරන ලද දේශගුණික සමෘද්ධි සැලැස්ම අනුමත කිරීමට, ශක්තිමත් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට කිසිදු භේදයකින් තොරව එකමුතුව කටයුතු කරන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති මෙම විශේෂ රැස්වීම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පරිසර අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

CVF-V20 ලේකම් කාර්යාලයේ මහලේකම් සහ මාලදිවයිනේ හිටපු ගරු ජනාධිපති සහ කථානායක ගරු මොහොමඩ් නෂීඩ් මහතා සිය ප්‍රධාන දේශනයේදී පෙන්වා දුන්නේ දේශගුණික විපර්යාස වර්තමානය වන විට එය මූල්‍ය හා ආර්ථික ගැටලුවක් බවට පත්ව ඇති බවයි. දේශගුණික සමෘද්ධි සැලැස්ම යටතේ, තිරසාර විසඳුම් සහ නව ක්‍රමවේද සොයා ගැනීම ඔවුන්ගේ අරමුණ බවත් ඔහු අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත දේශගුණික විපර්යාස පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ වැදගත්කම පැහැදිලි කළේය.

නියෝජිත පිරිසේ අදහස් දැක්වීමෙන් පසුව, වට මේස සාකච්ඡාවක් ද පැවැත්විණි. අනතුරුව නියෝජිත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරයක ද නිරත වූහ.

 




සම්බන්ධිත පුවත්

2025-11-25

ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පා කිරීම අවශ්‍ය වන්නේ නැහැ, අවශ්‍ය වන්නේ එම තැනැත්තන්ට ස්වාධීනව කටයුතු කළ හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමයි - කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

රැකියා ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට වැඩකිරීමට  හැකිවන පරිදි නිර්මාණය කළ යුතුයි  -  ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පා කිරීම අවශ්‍ය නොවන බවත් අනුකම්පා කිරීම ඔවුනට සිදු කරන  එක්තරා අකාරයක අගෞරවයක් බවත් කම්කරු ගරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. සිදු කළ යුත්තේ ආබාධ සහිත තැනැත්තන්ට ඔවුන් වෙනුවෙන් තම කටයුතු ස්වාධීනව සිදු කර ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම බවද ගරු අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය."ගරු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2025.11.20 දින ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ අංගයක් ලෙස අමාත්‍යාංශවල පැවැත්වීමට සැලසුම් කර ඇති සංවේදීකරණ වැඩසටන් මාලාවේ කම්කරු අමාත්‍යාංශයේ පැවති පළමු වැඩසටහනට සහභාගී වෙමිනි..ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) අනුග්‍රහයෙන් කම්කරු අමාත්‍යාංශයේ සහ ඊට අයත් ආයතනවල මහජන සබඳතාව සහිතව සේවය කරන මාණ්ඩලික නිලධාරීන් ඉලක්ක කර ගෙන මෙම වැඩමුළුව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලදී.ඒ අනුව ගරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ආබාධ සහිත තැනැත්තන් ගැන සංවේදීකරණය පිළිබඳ අදහස් සමාජගත වන තුරු නීති රීති මගින් අන්තර්කකරණය ළඟා කර ගැනීමට කටයුතු කිරීමට සිදු ව ඇති බවයි. නීති රීති මගින් පමණක් මෙම පිරිසට අවශ්‍ය වන සහයෝගය ලබා දීම ප්‍රමාණවත් නොවන බවත්, ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කර ගනිමින් ආබාධ සහිත තැනැත්තන් සමඟ කටයුතු කිරීමේ වැදගත්කම ගරු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. එමෙන්ම ආබාධ සහිත තැනැත්තන්ට අවශ්‍ය පෞද්ගලික අංශයේ රැකියා සිදු කිරීමටද අවස්ථාව ලබා දීම පිළිබඳව එම අංශයෙන් තමා ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසුවේය.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙරට රැකියා ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට වැඩ කිරීමට හැකි වන පරිදි නිර්මාණය කළ යුතු බව පැවසුවේය. එය ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා වන සංවේදීකරණය ප්‍රථමයෙන් ඇති කර ගත යුතු බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය. එමෙන්ම ආබාධ සහිත තැනැත්තන්ට මෙරට ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීමට පවතින සියලු බාධා ඉවත් කළ යුතු බවත්, ඒ ඔස්සේ ආබාධ සහිත තැනැත්තන්ගේද ආර්ථිකය ශක්තිමත් කිරීමට අවස්ථාව උදා වන බවත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා අවධාරණය කළේය. තවද ආබාධ සහිත තැනැත්තන් තව දුරටත් යැපෙන්නන් ලෙස නොව ආර්ථික ක්‍රියාවලියට දායක වන්නන් වීම තෙක් එම පුද්ගලයින් රැගෙන ඒමට කටයුතු කළ යුතු බවත් පැවසුවේය.ආබාධ සහිත සම්පත් දායකයින් විසින් මෙහිදී එම ප්‍රජාවගේ ගැටලු හා ඒ ආශ්‍රිත අනෙකුත් කරුණු පිළිබඳව පැමිණි පිරිස දැනුවත් කළහ. තවද වැඩමුළුව සඳහා සම්පත් දායකයින් ලෙස සහභාගී වී සිටි ආබාධ සහිත තැනැත්තන් තමන්ට රැකියාගත ස්ථානවලදී මුහුණ දීමට සිදු වූ ගැටලු, අත්දැකීම් සහ රැකියා අවස්ථා ලබා ගැනීමේ දී මුහුණ දීමට සිදු වන ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.මෙම වැඩමුළුව ඉදිරියේ දී සියලු අමාත්‍යාංශ ඉලක්ක කර ගෙන පැවැත්වීමට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සැලසුම් කර ඇත.මෙම වැඩසටහන සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නිලධාරීන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) මෙරට නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රක උබේසේකර, එහි වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මෙනවිය ඇතුළු එම ආයතනයේ නිලධාරීන් සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ආයතන හා සංවිධානවල නියෝජිතයින් පිරිසක් එක් ව සිටියහ.


2025-11-22

ශ්‍රී ලංකා ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිළිබඳ යෝජිත පනත් කෙටුම්පත් ලියවිල්ල පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවන්හි අවධානය

ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමතිය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳවූ ලියවිල්ල සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් හා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය එක්ව දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කරන ලදී.ඒ එම කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතිඥ) ලක්මාලි හේමවන්ද්‍ර මෙනවිය සහ සමන්මලී ගුණසිංහ මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.මෙහිදී අදහස් දක්වමින් නිලධාරීන් පැවසුවේ, මෙම යෝජිත පනත් කෙටුම්පතට අදාළ මුල් කෙටුම්පත 2024 ජනවාරි මාසයේදී පල කරන ලද බවයි. එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම කෙටුම්පතට පෙත්සම් ගොනු වූ බවත්, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතුළත් කළ යුතු යැයි නියෝග කරන ලද සංශෝධන, මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් වූ කාරක සභා අවස්ථා සංශෝධන සහ ප්‍රතිපත්තිමය වශයෙන් ඇතුළත් විය යුතු වෙනත් සංශෝධන ඇතුළත් කරමින් නව කෙටුම්පත සකස් කර ගැසට් පත්‍රය සකස් කර ඇති බව නිලධාරිහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. ඒ අනුව මෙම කෙටුම්පත දසවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරීහු පැවසූහ.ඒ අනුව, මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, ඒවායේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සහ 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීමට ද බලාපොරොත්තු වන බව නිලධාරීන් පැවසූහ.මෙම නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය තුළ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් නියෝජනය වන ආකාරයේ සාමාජිකයෙකු ඇතුළත් නොවීම ප්‍රශ්නයක් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය නියාමනයක් නොමැති වීම තුළ විශාල වශයෙන් පීඩාවට පත්ව සිටින්නේ කාන්තාවන් බවත්, ඔවුන්ව නියෝජනය වන ලෙසට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු සිටීමේ වැදගත්කම ගරු මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ හෝ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයෙක් හෝ එම විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් හෝ මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සිටීම යෝග්‍ය බව ගරු මන්ත්‍රීවරුන්ගේ මතය විය.මේ අතර, මෙම කෙටුම්පත් ලියවිල්ලේ අන්තර්ගත අනෙකුත් කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය කිසිදු නියාමානයක් නොමැතිව බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල සමාජ අර්බුදයක් ඇති වී තිබෙන බව පෙන්වා දුන් කාරක සභා මෙහි පරමාර්ථය විය යුත්තේ අදාළ සමාජ අර්බුදය සහ හානිය වළක්වා ගැනීම බව අවධාරණය කරන ලදී. ඒ අනුව ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත පනත් කෙටුම්පතට අදාළ සංශෝධනය ඇතුළත් කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, එම සංශෝධන, පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළහැකි බව නිලධාරීහු පැවසුහ. මෙම රැස්වීම සඳහා ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ මන්ත්‍රීවරියන්, ක්ෂුද්‍රමූල්‍ය ණය ගැටළුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංගයීය උපදේශක කාරක සභාවේ අනුකාරක සභික මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 


2025-11-22

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල තුන්වැනි කාර්තුවේ ප්‍රගතිය පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවලවල 2025 සැප්තැම්බර් මස දක්වා සමස්ත මූල්‍ය කාරය සාධනය පිළිබඳ සලකා බැලීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සිදු විය.මේ සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා (නොවැ. 20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් එ් ඒ ආයතනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදු විය. එසේම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් 2026-2030 කාලසීමාවට අදාළ  මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය සහ 2026 වර්ෂයට අදාළ ණය ගැනීමේ සැලැස්ම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද මෙහිදී සිදු විය.එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් එම ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද සිදු විය. මෙහිදී විදේශීය සෘජු ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර  නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 827 විදේශීය සෘජු ආයෝජන ලෙස ලැබි ඇති බවයි. මේ අනුව කාරක සභාව පෙනවා දුන්නේ ඉදිරි වසර කිහිපය තුළ විදේශ ආයෝජන අඛණ්ඩව වැඩි දියුණු වන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් ආයතන විසින් ඵලදායී පියවර ගත යතු බවයි.  මීට අමතරව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදු විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2025-11-21

මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම අප‍ෙග් දේශපාලනයේ අරමුණයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

මිනිසා හැටියට මිනිසා වෙනුවෙන් සේවය කළ හැකි උසස් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ දේශපාලනයේ අරමුණ වන බව  කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්  මහත්මිය නැගෙනහිර සමාජ සංවර්ධන පදනමේ නියෝජිතයින් හමුවෙමින් පැවසීය.ඇය මේ බව සඳහන් කළේ  ප්‍රාදේශීය දේශපාලනය තුළ නියෝජනයක් නොමැති කාන්තා කණ්ඩායම් දේශපාලනික වශයෙන් අන්තර්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය නොවැ. 17 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදීය.රට තුළ වෙසෙන  විශේෂ ජන කණ්ඩායම් නියෝජනය වන  පරිදි නාමයෝජනා ලබා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් හැකියාව පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය.තවද, නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 10 දින දක්වා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නියෝජිතයන් සමඟද මෙහිදී සකච්ඡා විය.සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන් වන නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සමන්මලී ගුණසිංහ, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ හසාරා ලියනගේ, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත්,  සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks