E   |     |  

2025-11-14

පුවත් කාණ්ඩ : පුවත් 

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ශ්‍රී ලංකා - ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට

ගරු වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.

සංගමය නැවත පිහිටුවීම සඳහා රැස්වීම ඊයේ (නොවැ. 13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් අල්රාෂිඩි මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි චතුරි ගංගානි මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ධුරයට තේරී පත් විය.

මෙම හමුවේදී, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ ඕමානය අතර 1981 වසරේ සිට පැවතෙන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටියහ. ඕමානයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය ද මෙහිදී අවධානයට ලක් වූ අතර, දෙරටේ ආර්ථිකයන්ට සහාය වීම සහ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක්විය.

සංචාරක, වෙළඳාම, ශ්‍රමය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ හැකියාව මෙහිදී සාකච්ඡා විය. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත පිහිටුවීම දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමට සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඵලදායී වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ.

මෙම රැස්වීමට ප්‍රථම, තානාපති අහමඩ් අලි සයිඩ් අල්රාෂිඩි මහතා සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි. එහිදී පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වැඩිදියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.





සම්බන්ධිත පුවත්

2025-11-15

සේවා කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිවරයා ගරු කථානායකතුමා හමුවෙයි

මෙරට සිය සේවා කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ගරු ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ (Andrés Marcelo González Garrido) මහතා ඊයේ (නොවැ. 14) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.මෙහිදී තානාපති ගොන්සාලෙස් ගැරිඩෝ මහතා, ශ්‍රී ලංකාවේ වසර හතරහමාරක සේවා කාලය තුළ තමාට සහ ඔහුගේ දූත පිරිසට ලබා දුන් සහයෝගය සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් ගරු කථානායකතුමාට සිය කෘතඥතාව පළ කළේය. විශේෂයෙන් දසවැනි පාර්ලිමේන්තුව සඳහා පසුගියදා පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව සහ වැදගත්කම ඔහු අවධාරණය කළේය.සිය මෙහෙවර සාර්ථකව නිම කිරීමට හැකිවීම පිළිබදව ගරු කථානායකතුමා විසින්  තානාපතිවරයාට සුබ පැතුම් එක්කළ  අතර, දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා තානාපතිවරයාගේ කැපවීම ඇගයීමට ලක් කළේය. ශ්‍රී ලංකාව සහ කියුබාව අතර දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළ ගරු කථානායකවරයා, සහයෝගය අවශ්‍යවූ අවස්ථාවලදී කියුබාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවත්, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කළ බවත් සඳහන් කළේය. මෙම දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඔහු මෙහිදී අවධාරණය කළේය.ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට කියුබාව ලබාදී ඇති සහයෝගය පිළිබඳව ද ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සිය අත්දැකීම් සිහිපත් කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ සේවය කළ කියුබානු වෛද්‍යවරුන්ගේ මනුෂ්‍යත්වය, කැපවීම සහ සේවය ප්‍රශංසනීය බවයි. ශ්‍රී ලංකාවේ කියුබානු ආයෝජන වැඩි කිරීම සඳහා ආරාධනා කළ කථානායකවරයා  කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පුළුල් තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.


2025-11-14

2026 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් සම්මතයි

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදි අද (නොවැ. 14) සම්මත විය. අද ප.ව. 6.20 ට පමණ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් ද විරුද්ධව ඡන්ද 42ක්ද හිමි වූ අතර, ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 08 කි.  2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 08 සිට අද (14) දක්වා, දින 6 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.මේ අනුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා දින 17 ක් පැවැත්වේ. මේ අනුව 2026 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වැනිදා  ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය. 


2025-11-11

ගරු කථානායකතුමාගේ නිවේදන - 2025.11.11

නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය සහ (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන් යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා සභාපති නාමාවලියට ඇතුළත් කළ බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා නම් කරන ලද සභාපති නාමාවලියේ මන්ත්‍රීවරයන් අතරින් ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය සහ ගරු අරවින්ද සෙනරත් මහතා නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්ට පත්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා නීතිඥ සාගරිකා අතාවුද සහ (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන් යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කළ බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.ඊට අමතරව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන කවීන්දිරන් කෝඩීස්වරන්, කිංස් නෙල්සන්, එම්.කේ.එම්. අස්ලම්, උපුල් කිත්සිරි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුජීව දිසානායක යන මහත්ම මහත්මින්ද සභාපති නාමාවලියට ඇතුළත් කිරීමට නම් කළ බව ගරු කථානායකවරයා නිවේදනය කළේය. 


2025-11-10

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී 04.11.2025 වන දින පැවැත්විණි. ඒ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය හා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියහ.රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.මේ අවස්ථාව සඳහා, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන ගමගේ, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ යන මහත්වරුන්ද සහභාගී වූහ.මෙහිදී ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ මන්ත්‍රීවරයන් ලෙස විනය නිසි පරිදි පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය. නීතියට අවනත නොවන පුද්ගලයෙකුට නීති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ විය නොහැකි බවද ඒ මහතා පැවසුවේය. තවද දේශපාලකයා සහ රාජ්‍ය තාන්ත්‍රිකයා යනු දෙදෙනෙකු බවත් දේශපාලකයා අනාගත ඡන්දය ඉලක්ක කරගෙන කටයුතු කරන නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ඉලක්ක කරගෙන තීන්දු තීරණ ගන්නා පුද්ගලයෙකු බවත් නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේය.මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් දරුවන්ගේ ජීවිතවලට ළඟා කරගත හැකි යහපත් පුරුදු සහ ඒ ඔස්සේ එම දරුවන්ගේ ජීවිත සාර්ථක කරගැනීමේ අවස්ථාව පිළිබඳව අදහස් පළ කළාය. තවද ලෝකයේ අනෙකුත් රටවල ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව උදාහරණ ගෙන හැර දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය එම රටවල ජාතික මට්ටමේ ගැටලු විසඳීමේදී ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන්නාය. එමෙන්ම නායකයා යනු බලය භුක්ති විඳින පුද්ගලයෙකු නොවන බවත් නායකයා යනු තම සමාජයට සහ රටට සේවය කරන්නෙකු පමණක් බවත් ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය.තවද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අදහස් දක්වමින් ප්‍රථමයෙන්ම සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරිය ඇතුළු සභිකයින් විශිෂ්ට ලෙස භාෂා හැසිරවීම පිළිබඳව සිය සුබ පැතුම් පළ කළාය. අනතුරුව ඇය පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරමින්, පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කළාය.රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් ආමාත්‍යවරුන් හා අමාත්‍යවරියන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසු සිසුවියන් සඳහා සහතික පත්‍ර ලබාදීම ද ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතා ඇතුළු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks