E   |     |  

2025-11-15

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා සකස් කළ අදහස් හා යෝජනා ඇතුළත් අතුරු වාර්තාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක්, ඒ සඳහා පත් කළ අනුකාරක සභාවේ සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය. 

ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී  සාකච්ඡා විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. එසේම , රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත්වූ පුද්ගලයන්ට එම මන්ත්‍රීධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කර දීම පිළිබඳව ද මෙහිදී යෝජනා විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින්  මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන  බවත්  කාරක සභා සභාපතිවරයා  මෙහිදී පැවසීය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම් පටිපාට සහ උසස් කිරීමේ පටිපාටි  වල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් ලකුණු සීමා වෙනස් කිරීම හේතුවෙන් රාජ්‍ය සේවය තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා විය. මේ ගැටලුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කටයුතු කරන බවට අමාත්‍යංශ නිලධාරීන් පැවසීය.

මෙම කාරක සභාව සඳහා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2025-11-15

පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්න - ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් අමාත්‍යාංශයට යෝජනාවක්

අමාත්‍යාංශ  කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සලකා බැලීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව දින දෙකක් රැස් වෙයි පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්නා ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනා කරන ලදි.භාණ්ඩ මිලදීගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීමේදී කාරක සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදි. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටියේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න සලකා බැලිය යුතු බවයි. එසේම මෙම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවීය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නැති බවයි. 2025.11.10 සහ 12  යන දිනයන්හිදී පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීම සිදු විය. මෙහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය. එසේම ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු විය.මෙම කාරක සභාව සඳහා ගරු විපක්ෂ න‍ායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නීතිඥ සුජීව සේනසිංහ සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.  


2025-11-15

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තා සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලන ලදී.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 13.11.2025 වන දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.2023 වර්ෂය සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව ප්‍රථමයෙන් කාරක සභාවේදී සලකා බලන ලදී. එහිදී කරුණු දැක්වූ එම මාධ්‍ය ජාලයේ ප්‍රධානීහු වර්තමානයේ ඔවුන්ගේ මූල්‍ය  තත්ත්වයන් හා අනෙකුත් ගැටලු පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ. 2023 වාර්ෂික වාර්තාව අනුව එම වසරේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය රුපියල් මිලියන 164 ඉක්මවූ පාඩුවක් ලබා ඇති බව දක්වා ඇත. කෙසේ වෙතත් එම පාඩු ලැබීමේ තත්ත්වය ක්‍රමිකව අඩු කරගනිමින් නැවත යථා තත්ත්වයට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එම නිලධාරීහු පැවසුහ.පසුගිය වසර කිහිපය තුළ අයකර ගැනීමට ඇති, ආයතනයට ලැබිය යුතු හිඟ මුදල් අයකරගැනීම ප්‍රශස්ත මට්ටමක පවතින බවත් ඔවුහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී  ස්වාධීන රූපවාහිනී  සේවයේ විකාශය වූ ඉන්දියානු ටෙලිනාට්‍ය මාලාවන් අධික මුදලකට මිලදී ගෙන තිබීම හා එම ටෙලිනාට්‍ය වලට තවදුරටත් ගෙවීමට තිබෙන මුදල් පිළිබදව  කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය. එමෙන්ම  උතුරු නැගෙනහිර ප්‍රදේශවලට විකාශන කටයුතු පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පවතින ගැටලු නිශ්චිතව හඳුනාගෙන ඒවා විසඳා ගන්නා ආකාරය පිළිබඳව මාස 3ක් තුළ කාරක සභාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.අනතුරුව 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව කාරක සභාවේදී සලකා බලන ලදී. එහිදී එම ආයතනයේ නිලධාරීන් විසින්  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය ඇතුළු ක්‍රියාකාරිත්වය පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ. දැනට ඔවුන්ට ගෙවීමට ඇති ගෙවීම් වලින් 48%ක ප්‍රමාණයක්ම දඩ මුදල් සහිත ගෙවිය යුතු  බදු  බව එම නිලධාරීහු පෙන්වා දුන්හ. එමෙන්ම  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දැනට පවතින තාක්ෂණික උපකරණ ඉතා පැරණි මට්ටමක පවතින බව පෙන්වා දුන් එම  නිලධාරීහු සමහර විදුලි උපකරණ  සේවකයින් විසින් ක්‍රියාත්මක කරනුයේ ජිවිත අවධානමක් සහිතව  බවත් පෙන්වා දුන්හ. එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවතින භුමියේ හිමිකාරිත්වය තවමත් සංස්ථාව සතුව නොමැති බවත් ඉදිරි සංවර්ධන කටයුතු වලදී භුමියේ හිමිකාරිත්වය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතුව පැවතීමේ වැදගත්කම පෙන්වා දුන්හ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ආයතන ද්විත්වය නගා සිටුවීමට සඳහා උපායමාර්ගික සැලසුම්වල වැදගත්කම පෙන්වා දුන් අතර මෙම ඉදිරිපත් වූ කරුණු අදාළ අංශ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැවසුවේය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ. 


2025-11-15

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් ‘කෝප්’ කමිටුවේ අවධානය

සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයිවරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.  මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වට (කෝප්) කැඳවා  2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය.කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රුපියල් මිලියන 40,273 ක වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍යමණ්ඩල අනුමතිය හිමිවී තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 2021 දෙසැම්බර් මස මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර තිබූ අතර 2025 ජනවාරි 03 වැනි දින මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවීම සිදු වූ අතර එම කාලසීම‍ාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම කටයුතු නිමකිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මේ හේතුවෙන් දින 548 ක් ප්‍රමාදවීම සිදු වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම සංවර්ධන කටයුතු ඉතා  කඩිනමින් සිදු කිරීමට කටයුතු කොට ඇති බවත් ඉක්මනින් මෙම කටයුතු අවසන් වනු ඇති බවත්ය.එසේම අධිකාරියේ සේවකයින්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක  නොවී ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නිලධාරීන් පැවසුවේ මේ වන විට වියදම් අඩු කිරීමට කටයුතු කොට ඇති බවත් මිල අවම කර ගැනීම සඳහා තරඟකාරී ඩෙන්ඩර් ක්‍රමය හඳුන්වාදී ඇති බවත්ය.වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් බැහැර කිරීමට සහ අත්පත් කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි. මේ අනුව නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.එසේම සීදූව රද්දොලුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ද, එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සේවකයන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.  මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ. 


2025-11-13

2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ සකස් කළ කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121(5)(i) ප්‍රකාරව සකස් කරන ලද කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලන ලදී.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ තාක්ෂණික කණ්ඩායම විසින් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.ඒ අනුව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත, රාජ්‍ය ණය කළමනාකරණ (PDM) පනත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැඩසටහන යටතේ නියම කර ඇති අවශ්‍යතාවයන් තුළ 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස් වී ඇති බව වාර්තාව මගින් දක්වා ඇත. එමෙන්ම 2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100ක් වැඩි ආදායමක් උත්පාදනය වීම හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස් කිරීමට පහසුවක් වී ඇති බවද දක්වා ඇත. කෙසේ වෙතත් වාහන ආනයනය මන්දගාමී වීම මත 2026 දී ආදායම් වැඩිවීම මන්දගාමී වනු ඇතැයි ද අපේක්ෂා කරන බවද වාර්තාව මගින් දක්වා ඇත. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.අනතුරුව 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟද සාකච්ඡා පවත්වන ලදී. එහිදී එම නියෝජිතයින් විසින් අයවැයේ විනිවිදභාවය, විවිධ අංශවලට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති ආකාරය හා දැනට හඳුනාගෙන ඇති ගැටලු  හා යෝජනා පිළිබඳව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළහ. ඒ අනුව ඔවුන්ගේ ‍එම අදහස් හා යෝජනා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා පැවසීය.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, තිළිණ සමරකෝන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks