E   |     |  

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය සමඟ පැවැත්වූ සාකච්ඡාව

1. දේශපාලනයට අවතීරණය වීමට ඔබතුමිය තීරණය කළේ කුමන හේතූන් නිසාද?

මගේ පවුලේ දේශපාලන ඉතිහාසයක් තිබෙනවා. 1965 කාලයේදී මාගේ මවගේ පියාණන් ලග්ගල ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇත. 1977 සිට 1994 දක්වා මාගේ පියාණන් පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් වැඩ කටයුතු කර ඇත. මම විවාහ වන්නේ එවකට කෘෂිකර්ම ඇමැතිවරයාගේ පුතාවූ සංජීව කවිරත්න සමගයි. ඔහුද පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් වැඩ කටයුතු කර තිබෙනවා. එතුමා 2014 දී හෘදයාබාධයකින් ජීවිතයෙන් සමුගත්තා. ඉන් පසුව මාගේ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ජනතාව මගෙන් ලොකු ඉල්ලීමක් කරා දේශපාලනයට ඇතුළත් වන්න යැයි කියා. ඇත්තටම, දේශපාලනයට ඇතුළුවීමට මාගේ මොනයම් හෝ බලාපොරොත්තුවක් තිබුනේ නැත.

මෙම කාලය තුළ මා දේශපාලනයට පැමිණේයැයි සිතූ ඇතැම් පාර්ශවයන් මට මඩ ගැසීමටද ආරම්භ කලා. ඇත්තටම, එසේ මඩගැසීම, මට මා ගැන ආත්ම විශ්වාසය වැඩි වීමට හේතු කාරකයක් වූවා. මොකද, එසේ මඩ ගැසීමට මගේ මොනයම් වූ වටිනාකමක් ඇතියැයි සිතීමට එය මට ඉවහල් වූවා.
ඉතින් මිනිසුන්ගේ ඉල්ලීමත්, මේ කියූ අනිත් කාරණාවන්ද, දේශපාලනයට අවතීරණය වීමට මට හේතූන් වූවා.

2. කාන්තාවක් ලෙස දේශපාලනයෙහි නිරත වීමේදී ඔබතුමිය ලැබූ අත්දැකීම් මොනවාද?

එවකට දේශපාලනයේ නිරත වී සිටි ඇතැම් පාර්ශවයන්ට මාගේ ගමන්මග නතර කිරීමට ලොකු වුවමනාවක් තිබුණා. එම නිසා එම පාර්ශවයන් නිසා මට නොයෙකුත් හිංසාවන්ට මුහුණ පෑමට සිදු වුනා. ඔවුන් මාගේ චරිත ඝාතනයේ නිරත වූවා. එපමණක් නොවේ, ඔවුන් මාගේ පවුල තුළ ද නොයෙකුත් ගැටලු ඇති කිරීමට උත්සාහ කළා. ඇත්තටම, කාන්තාවක් වී දේශපාලනයට අවතීරණය වෙනවා නම් චරිත ඝාතනයට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවනවා.
දේශපාලනයට අවතීරණ වීමට තීරණය කළ පසුවද නොයෙකුත් බාධා වලට මුහුණ පෑමට සිදු වූවා. දේශපාලන පවුල් පසුබිම්කින් පැමිණියා වුවද, මාගේ නාමයෝජනා පත්‍රය ලබාගැනීමට පවා නොයෙකුත් අභියෝග රැසකට මුහුණ පෑමට සිදු වූවා. ඇත්තටම, එතන තිබුණ ගැටලුව වූයේ මම කාන්තාවක් වීමයි. මම දේශපාලන පවුල් පසුබිම්කින් පැමිණෙන පිරිමියෙකු වූුවානම්, මට කිසිම අභියෝගයක් නොමැතිව නාමයෝජනා පත්‍රය ලබා ගැනීමට හැකි වෙන්න ඉඩ තිබුණා.

දිස්ත්‍රික් සංවිධායක ධූරය ලැබුණු පසුව ද නොයෙකුත් කෙනෙහිලි කම්වලට මුහුණ පෑමට මට සිදු වූවා. මාගේ පියාණන්ගේ සහ සැමියා ගේ මැතිවරණ ව්‍යාපාර වැඩ කටයුතු කළමනාකරණය කර අත්දැකීම් මට තිබුණද, එවකට ජනාධිපති මැතිවරණය සදහා වැඩ කටයුතු කිරීමේදී නොයෙකුත් බාධා වලට මුහුණ පෑමට සිදු වූවා. මැතිවරණ රැස්වීමකට ගියපසු කතාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබා ගැනීමට පවා අභියෝගයක් වූවා. ඇතැම් මැතිවරණ රැස්වීම් වල වාඩි වීම සදහා ආසනයක් නැතිවී ගිය අවස්ථාද තිබුණා.

මා ලග්ගල ප්‍රදේශයේ ආසන‍යේ සංවිධායක තනතුරට පත් වූයේ එවකට එම ධූරය හෙබ වූ මැතිතුමා අසනීප තත්ත්වයට පසුවීමත් සමගයි. ආසන‍ සංවිධායක ලෙස පත් වීමේ ලිපිය මට ලැබුණේ ඡන්දයට දවස් 7කට ප්‍රථමවයි. එම ලිපියට අනුව මා එම තනතුරට පත් කර ඇත්තේ මාසයකට පෙරයි. එනමුත්, මාසයක කාලයක් එම ලිපිය මට ලැබීම වළක්වාලන්නට ඇතැම් පාර්ශවයන් කටයුතු කර තිබුණා.

ඇත්තටම කාන්තාවක් වශයෙන් දේශපාලනයේදී මුහුණ දීමට සිදුවන අනෙක් මූලික ගැටළුව වන්නේ ආරථික ප්‍රශ්නයි. පවතින දේශපාලන ක්‍රමය අනුව කාන්තාවකට දේශපාලනයට අවතීරණය වන්නට නම් විශේෂ චරිතයක් විය යුතුය. ඒ අනුව, බොහෝ අවස්ථා වල, දේශපාලනික පසුබිමකින් පැවතෙන හෝ වෙනත් වෘත්තියකින් රටේ ප්‍රසිද්ධ වූ හෝ ආර්ථික ශක්තිය ප්‍රබල කාන්තාවන්ට පමණයි, පවතින දේශපාලන ක්‍රමයේ වැඩ කටයුතු කිරීමට හැකි වන්නේ.
දේශපාලන පසුබිමකින් පැවතෙන මට වුවද මල් ඇතිරිලි උඩ නොව නොයෙකුත් කටු අකුල් වල තමයි කාන්තාවක් වශයෙන් අදටත් ගමන් කිරීමට සිදුවී ඇත්තේ.

3. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියක් වශයෙන් ඔබතුමියගේ මූලිකත්වය යටතේ දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති/වැඩසටන් ගැන කෙටියෙන් විස්තර කළහොත්…?

ගිය පාර්ලිමේන්තුවේදී, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීතුමියක් ලෙස වැඩ කටයුතු රාශියකට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා.
අධ්‍යාපන ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිණිය ලෙස කටයුතු කිරීමෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ වැඩ කටයුතු රාශියක් කිරීමට මට අවස්ථාව ලැබුණා. ගුරු මාරු ප්‍රතිපත්තියක් හදන එක, ‘non-formal education project officers’ ලා සම්බන්ධයෙන් අවුරුදු 24ක් තිස්සේ පැවති ගැටළුවක් නිරාකරණය කර ඔවුන්ගේ වැටුප්තලය සකස් කර දීමට මම මූලිකත්වය ගෙන කටයුතු කළා. එමෙන්ම, ගුරු උපදේශකවරුන් අවුරුදු 58ක් තිස්සේ යොමු කරන ලද ඉල්ලීමක් වන ඔවුන්ගේ සේවා සහතිකය සම්බන්ධ ගැටළුව නිරාකරණය කර දීමටද මම සමත් වූවා.

එමෙන්ම, ලග්ගල කියන්නේ බොහෝම දුෂ්කර ප්‍රදේශයක්, එම ප්‍රදේශයේ සියළුම මාර්ග වල කාපට් අතුරවා දැවැන්ත සංවර්ධනයක් කර දීමට මට හැකි වුවා.

මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට හා අසරණ වී සිටි ජනතාවට සාධාරණයක් ඉටු කිරීම සඳහා විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එම ජනතාවට ලැබෙන වන්දි මුදල වැඩි කර දීමටද මට හැකි වුණා.

Women and gender Sectoral Oversight Committee යටතේද අපිට බොහෝ වැඩ කටයුතු ප්‍රමාණයක් කිරීමට හැකියාව ලැබුනා. එවකට සභාපතිතුමිය ප්‍රධානව අපි එකතු වෙලා කාන්තාවන්ට හා ළමයින්ට, විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිලිබඳ දේවල් වලදී සමාජයේ ධානාත්මක මතවාදයක් හදා ගැනීමට අපට හැකි වූවා. ඒ අනුව අපි උප්පැන්න සහතිකයේ මව හා පියා විවාහකද යන්න විමසන තීරුව ඉවත් කරගැනීමට හැකි වූවා.
වර්තමාන පාර්ලිමේන්තුව තුල Women’s CAUCUS එක යටතේ කරනා වැඩ කටයුතු වලට සම්බන්ධවී සහයෝගය දක්වනවා. ඊට අමතරව, අනෙකුත් ආංශික කමිටුවලට අපව වර්තමාන රජය සහභාගී කරගන්නේ නැති බවක් පෙනී යනවා.

එම වාතාවරණය යටතේ වුවද අවස්ථාව ලැබෙන ඕනෑම වෙලාවක සමාජයේ පුද්ගලයන් මුහුණ දෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට මම වග බලා ගන්නවා. උදාහරණයක් ලෙස, ජාත්‍යාන්තර කම්කරු සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද ‘ILO C190’, එනම් වැඩබිමේදී සිදුවන හිංසනයනට එරෙහිව නීතිය, බලාත්මක කරගැනීම සඳහා ඉල්ලීම පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීමට හැකි වූවා. මේ අවස්ථාව වන විට එය ඉටුවෙමින් පවතිනවා. කම්කරු ඇමතිතුමා එය පිළිගෙන එය පනතක් වශයෙන් ඉදිරිපත් කිරීමට සැරසෙන බවට පෙනී යනවා. මෙම පනතෙන් කාන්තාවන් පමණක් නොව වැඩබිමෙහි හිංසනයට පත් වන ඕනෑම පුද්ගලයෙකුට, කාන්තාවන්, පුරුෂයන් මෙන්ම සංක්‍රාන්තිකයන්ටද, මෙම නීතිය යටතේ ආරක්ෂාව සහ සහන ලබා ගැනීමට හැකි වනවා.

එමෙන්ම ගුරුවරුන් මුහුණ දී ඇති වැටුප් විෂමාතාවය සම්බන්ධයෙන්ද මම පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කර අදාළ ඇමතිතුමාගේ අවධාණයට එය යොමු කරා. ගුරු වෘත්තියේ නියැළුණු කාන්තාවක් ලෙස මට වැටහී තිබු කරුණක් වනුයේ, ඇත්තටම බොහෝ පිරිස් ගුරුවරුන්ට ඇති එම වැටුප් විෂමතාවය ගැන දැනුවත් වී නැති බවයි. ඇතැම් ගුරුවරුන්ටද තමන්ට සිදුවන ඒ අසාධාරණය සම්බන්ධව නිසි අවබෝධයක් නැහැ. පාර්ලිමේන්තුවේදී මම ඉදිරිපත් කල ඒ කරුණු හේතුවෙන් බොහෝ දෙනා මෙම වැටුප් විෂමතාවය සම්බන්ධව දැනුවත් වුවා.

මෙම පසුගිය මාස 8 ඇතුළත එවැනි දේවල් වලට සහයෝගය ලබාදීමට මට හැකි වූවා.

4. ඔබතුමියගේ අදහස අනුව එම මෙම ව්‍යාපෘති/වැඩසටන් සාර්ථක කරගැනීමට තවදුරටත් අප රටෙහි සමාජීය හෝ නීතිමය වෙනස්කම් සිදුවිය යුතුව තිබේද?

ඇතැම් දේවල් නීතියක් නොමැතිව වෙනස් කිරීමට නොහැකි අතර ඇතැම් දේවල් නීතිය තිබූ පමණින් වෙනස් කිරීමටද නොහැකි වනවා. උදාහරණයක් ලෙස කාන්තාවන් දෙවැනි කොට සළකන තැන් තියෙනවා. අදටත් අපි දකිනවා බොහෝ නිවෙස්තුල තම පිරිමි දරුවාට මුලින්ම බත් ටිකක් වැඩියෙන් බෙදා වෙන් කර තබන අවස්ථා ඕනෑ තරම්. එහෙමත් නැතිනම් සැමියා සහ බිරිඳ යන දෙදෙනාම උදෑසන වැඩ රාජකාරි සඳහා නිවසෙන් බැහැරව රෑ බෝ වී නිවසට පැමිණි පසුව සැමියා පුටුවේ වාඩි වී කකුල් දෙක උඩින් තබාගෙන නිදහස් සුවයේ පසුවන විට මහන්සිය අමතක කර කෙලින්ම කුස්සියට ගොස් තේ පැන් හා ආහාර සකස් කිරීමට බිරිඳට සිදුවෙනවා. මෙවැනි තත්ත්වයන් නීති මඟින් වෙනස් කිරීමට අපට පුළුවන් වන්නේ නැහැ. මේවා වෙනස් කිරීමට ආකල්පමය වෙනසක් සමාජය තුළ ඇතිවිය යුතුය.

තවත් සමහරක් අවස්ථාවල වෙනස සිදුවීමට නීතිය ක්‍රියාත්මක විය යුතුය. උදාහරණයක් ලෙස වැඩබිම තුළ සිදුවන හිංසනය නැවත්වීමට නීතිය රුකුළක් වනු ඇත.

එමෙන්ම ළමා ශාරීරික හිංසනය නැවත්වීමටද නීතිය ඉවහල් වනවා. මෙම නීති තුළින් සමාජීය අකාල්පමය සංවර්ධනයක් ඇති කර ගැනීමට පුළුවන් වනවා.
විශේෂයෙන්ම කාන්තාවන් ගත් කල, අපි දැකල තියෙනවා කාන්තාවන් විවිධ ක්‍ෂේත්‍ර තුළ වැඩ රාජකාරී කටයුතු කරගෙන යනවා. නීති ක්‍ෂේත්‍රය, වෛද්‍ය ක්‍ෂේත්‍රය, අධ්‍යාපනය, විශ්ව විද්‍යාලයන් තුළ වුවද කාන්තාවන් පෙරමුණ ගෙන සිටිනවා.

එනමුත්, ඇතැම් ක්‍ෂේත්‍ර තුළ කාන්තාවන්ට ඉහළට යෑමට අවස්ථාවක් නැහැ. උදාහරණයක් ලෙස බිම්ශානි මහත්මියට සිදු වූ දේ අනුව අපට පසක් වන්නේ පොලිසිය තුල ජ්‍යේෂ්ඨ ධූරයකට පත් වන්නට කාන්තාවන්ට ඉමහත් බාධා පමුණුවා ඇති බවයි. දේශපාලනය තුලද අපි කාන්තාවන් ලෙස මේ හා සමාන සිද්ධීන් වලට අනන්තවත් මුහුණ පානවා. ඉතින් සමහර ක්‍ෂේත්‍රයන් තුල කාන්තාවන්හට glass ceiling එකක් අදටත් පවතිනවා. මෙවැනි ක්‍ෂේත්‍රයන් නිර්මාණය වී තිබෙන්නේ යල් පැන ගිය, සමාජය විසින් කාන්තාවන් සීමා කර තැබූ අදහස් පාදක කර ගෙනයි. ඉතින් එවැනි අවස්ථා තුල නීති ප්‍රතිසංස්කරණයක් තුළින් සමාජ ආකල්පය වෙනස් කර ගැනීමට හැකි වනු ඇත. යහපාලන රජය විසින් පළාත් පාලන මැතිවරණයේදී 25% ක කාන්තා නියෝජනය අනිවාර්යය කිරීමේ නීතිය ඒ සඳහා උදාහරණයකි.

අප රටේ කාන්තාව කෙරෙහි ඇති සමාජීය අදහස අනුව ඔවුනට දේශපාලනයට සුදුසු නැති බව බොහෝ අය හිතනවා. එනමුත් දේශපාලනයට අවතීරණය වීමට අවස්ථාව සකසා දුන් විට කාන්තාවන්ටද දේශපාලනය තුල සමාජ සුභ සිද්ධිය සඳහා වැඩ කිරීමට හැකියාව ඇති බව ක්‍රියාවෙන්ම පෙන්වා දීමෙන් එවැනි වැරදි මතවාද වෙනස් කිරීමට හැකි වනවා. එවැනි කෝටා එකක වැදගත්කම වන්නේ එයයි. කාන්තාවන් දේශපාලන කටයුතු වල නිරත වීම සාමන්‍යකරණය කිරීමට එය ඉවහල් වනවා. මෙවැනි කෝටා නීතිය එම සමාජීය වෙනස ඇති කිරීමෙන් අනතුරුව අපිට ඉවත් කිරීමට හැකි බවයි, මගේ අදහස.
අප රටේ බොහෝ තැන් හැදෙන්නට තිබෙනවා. අධ්‍යාපන ක්‍රමය තුල වුවද නොයෙකුත් වෙනස්කම් සිදුවිය යුතුය. අපි යල් පැන ගිය කටපාඩම් විභාග අධ්‍යාපන ක්‍රමයෙන් මිදිය යුතුය. අප නවීන ලෝකයට සරිලන ලෙස අධ්‍යාපනය වෙනස් කර යුතුය.

5. රටේ දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් කාන්තාවන්ට විශේෂයෙන් මුහුණ පෑමට සිදුවී ඇති ගැටළු මොනවාද? එම කාන්තාවන්ගේ ගැටළු නිරාකරණය කරගැනීමට ඔබතුමියගේ මතය අනුව ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?

පසුගිය මාස කිහිපය තුල ගෘහස්ථ හිංසනය ඉහළ ගොස් ඇත. මම දැක්කා එක්තරා වාර්තාවක, helpline දුරකථන සේවයට පැමිණිලි 40,000 අධික ප්‍රමාණයක් වාර්ථා ගත වී ඇති බව. ඉතින් මෙම කාල සීමාව තුල කාන්තාවන් අපමණ හිංසනයන්ට ගෙදරදීම භාජනය වී ඇති බව පසක් වනවා. අනෙත් පැත්තෙන් ගත් කල හිංසනයට පත්වන පිරිමි පාර්ශවයන් පැමිණිලි කිරීමට ස්ථානයක් හෝ අවස්ථාවක් නොමැතිව නිහඬව පීඩාවට පත් වනවා ද ඇති. අද පවතින පීතෘ මූලික සමාජය ගත් කල කුටුම්භය තුල කාන්තාව පිරිමි පුද්ගලයාට යටවී ක්‍රියා කිරීමට සිදු වනවා. ඉතින් එවැනි අවස්ථා වල ගෘහස්ථ හිංසනය ගත් කල කාන්තාවන්ට සුලභව මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත තත්ත්වයක් බවට පත්වී තිබෙනවා.

ජනගහනයේ 50% ඉක්මවා සිටියද ශ්‍රම බලකාය ගත් කල 30%ක වැනි ප්‍රමාණයකින් තමයි කාන්තාව දායක වන බවට සටහන් වී ඇත්තේ. එනමුත්, කාන්තාවන්ගේ ශ්‍රමය වැය කරන බොහෝ කටයුතු, ශ්‍රම බලකායට නිල වශයෙන් ඇතුලත් නොවන කටයුතු වේ. කාන්තාව ගෙදර වැඩ කටයුතු සඳහා වැය කරන කාලය සහ ශ්‍රමයට මිලක් නියම කළහොත් අපිට තේරුම් ගන්න පුළුවන් ඇය ඉටු කරන සේවාවේ අගය. කොවිඩ් තත්ත්වය නිසා කාන්තාවන්ගේ ගෙදර දොර වැඩ කටයුතු සියළු දෙනාම නිවසේ රැඳී සිටීම හේතුවෙන් දෙගුණ තෙගුණ වී ඇත. ඉතින් ශාරීරික පීඩනයට අමතරව ලොකු මානසික පීඩාවකටද කාන්තාවන්ට ලක් වෙන්නට සිදු වෙනවා.

එපමණක් නොව, ආර්ථික අග හිඟ කම් නිසා ශ්‍රම බලකායට නිල වශයෙන් ඇතුළත් නොවන වෘත්තීන් වල නියැළී, එදා වේල සඳහා වතු උදළු ගා හෝ වඩේ, කඩල වැනි අහාර නිපදවා ස්වයං රැකියාවක නිරත වී හෝ අදායමක් උපදවා ගත් පුද්ගලයන් කොවිඩ් තත්ත්වය හේතුවෙන් වඩාත් අසරණතාවයට පත්ව තිබෙනවා. මේ තත්ත්වයද, කාන්තාවන්ට විශේෂයෙන් බලපා ඇත්තේ එවැනි රැකියා වල බොහෝ කාන්තාවන් නිරත වී සිටි බැවිනි.

ඒවගේම තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් දෙමව්පියන් ලොකු පීඩාවකට පත් වෙලා තිබෙනවා. ඇතැම් නිවෙස් වල online අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවශ්‍ය මෙවලම් නැති හේතුවෙන් ද මොවුන් ඉතාමත් අසරණතාවයකට පත්ව තිබෙනවා.

රටේ ආර්ථිකය කඩා වැටීම සියළු පාර්ශවයන්ට ඍණාත්මකව බලපානවා. එනමුත් එසේ කඩා වැටීම තීන්දු තීරණ ගන්නා ලොකු මිනිස්සුන්ට වඩා රටේ පොඩි මිනිස්සුන්ට විශේෂයෙන්ම වැඩියෙන්ම දැනෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක මාළුවා නොව බිලී පිත්ත අප රටේ ජනතාවට ලබා දිය යුතුය. රැපියල් 5000 දීමනාවට එහා ගොස් මෙම තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට විධිමත් ක්‍රියා පිළිවෙලක් සෑදිය යුතුය.

කොවිඩ් සමඟ ජීවත් වෙමින් සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑමට ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියා පිළිවෙලක් සෑදිය යුතුව තිබෙනවා. මේ සඳහා අවබෝධයෙන් යුතුව සෑම පර්ශවයක්ම සහභාගී කරගෙන ක්‍රියාකර යුතුය. මෙය රජයට පමණක් තනිව කළ නොහැකිය. රජය විසින් මූලිකත්වය ගෙන විපක්ෂය, රාජ්‍ය නිළධාරීන්, පෞද්ගලික අංශ සහභාගී කරගෙන එකමුතුවී සිදු කර යුතුය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks