E   |     |  

ගරු රාජ්‍ය අමාත්‍යතුමිය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මැතිණිය සමඟ පැවැත්වූ සාකච්ඡාව

1. දේශපාලනයට අවතීරණය වීමට ඔබතුමිය තීරණය කළේ කුමන හේතූන් නිසාද?

ඇත්තටම වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අතරතුර දේශපාලනිකව රටේ ඇතිවුණු වාතාවරණය නිසා, වෘත්තිකයෙකු ලෙස දේශපාලනික ගැටළු පිළිබඳව කතා කිරීමට මමත් තවත් වෘත්තිකයන් රාශිකයෙකුත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුනා. එදිනෙදා රටේ තිබුණු බොහෝ ප්‍රශ්න උදාහරණයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන එම වැලැක්වීම, MCC ගිවිසුම ගෙන ඒම වැලැක්වීම, ජනවාර්ගික ගැටළු හා ත්‍රස්තවාදී ගැටළු ගැන විවිධ වෘත්තිකයන් කථා බහ කරන අතරතුර, එම කථා බහට එකතු වීමත් සමඟ රට තුල පැවති විවිධ සාකච්ඡා වලට සක්‍රීයව දායකත්වයක් දැක්වීමත්, ඒ සමඟම වර්තමාන ජනාධිපතිවරයාගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට සහයෝගය දැක්වීමත් සමඟම හිතාමතා නොවුනත් පුරවැසියෙකු වශයෙන් තමාට තිබුණු යුතුකම ගැන සිතාබලා ලද ආරාධනාව පිළිගෙන මම දේශපාලනයට එකතු වුනෙමි.

2. කාන්තාවක් ලෙස දේශපාලනයෙහි නිරත වීමේදී ඔබතුමිය ලැබූ අත්දැකීම් මොනවාද?

කාන්තාවක් ලෙස දේශපාලනයට එකතුවීමේදී කරදරකාරී තත්ත්වයක් තිබුනේ නැහැ. මොකද, වෘත්තිකයෙකු, වෛද්‍යවරයෙකු ලෙස තවත් වෘත්තිකයන් සමඟ එකතු වෙලා ඒ සඳහාවූ ආරක්ෂාකාරී වාතාවරණයක තමයි මම දේශපාලනයට එකතු වෙන්නේ. මම පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ජාතික ලැයිස්තු සාමාජිකාවක් ලෙසිනි. එමනිසා මට අනෙකුත් කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියන්ට කාන්තාවක් ලෙස අත්දැකීමට ලක්වුණු බාධා වලට මුහුණ පෑමට සිදුවූයේ නැත.

නමුත්, දේශපාලනයට අවතීරණය වූ පසුව කාන්තාවක් වීම හේතුකරගෙන ද්වේශසහගත අවලාද අපහාස මෙන්ම බාධා කිරීම්, හිතවත, අහිතවත් සියලු දෙනා අතර එය ප්‍රදර්ශනය වෙනවා. බොහෝ දෙනෙක් හිතනවා කාන්තාවක් වුනහම එක සීමාවක් තුල තමයි තමන්ගේ දක්ෂකම්, තමන්ගේ වැඩ රාජකාරී කටයුතු කරන්න ඕනේ කියල. එතැනින් එහාට පරිපාලනයට, දේශපාලනයට, රාජ්‍ය පාලනයට එනවිට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇතැම් වෙලාවට අපහාස, උපහාස කරනවා. මෙවැනි තත්ත්වයන් කොයි ක්ෂේත්‍රයේත් තියෙනවා. නමුත් දේශපාලන ක්ෂේත්‍රය තුල මෙම තත්ත්වයට වැඩි ඉඩක් පවතිනවා. හොඳින් විමසා බැලීමේදී මෙවැනි ප්‍රහාර දියත්වන්නේ, වෙනත් හේතුන් නිසා නොව, කාන්තාවක් වීමම පදනම් කරගෙනය.

පාර්ලිමේන්තුවට තේරී පත්වූවායින් පසුව මට තේරුම් යන්නේ කාන්තාවක් ලෙස මෙම ගමන් මග තරණය කිරීම ඉතාමත් දුෂ්කර බවයි.

3. ඇමතිතුමියක් වශයෙන් ඔබතුමියගේ මූලිකත්වය යටතේ දැනට පවත්වා ඇති ව්‍යාපෘති/වැඩසටන් ගැන කෙටියෙන් විස්තර කළහොත්?

මම අමාත්‍යධූරය දරන්නේ වෘත්තීය පුහුණු හා පර්යේෂණ නව නිපැයුම් කියන අමාත්‍යංශයේය. මේ හරහා තිබෙන වපසරිය ප්‍රයෝජනයට ගෙන අපි විශාල ව්‍යාපෘති ප්‍රමාණයක්, අධ්‍යාපනය අංශයත් පරීක්ෂණ අංශයත් මූලික කරගෙන කටයුතු කරනවා.

ඊට අමතරව, කාන්තාවන් උදෙසා කරන ව්‍යාපෘතියක් වශයෙන් උදාහරණයක් ලෙස සිර දඩුවම් ලබා සිර මැදිරි වල සිටින කාන්තාවන් නිදහස් වීමට ආසන්න වන විට ඔවුනට වෘත්තීය පුහුණුවක් ලබා දී ඔවුන්ව ආර්ථිකව සවි බලගන්වා, ඔවුන්ගේම ව්‍යාපාරයක් හෝ රැකියාවක් කරන තැනකට යොමු කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන සහ සාකච්ඡා මේ මොහොතේ පවත්වාගෙන යනවා. එමෙන්ම කාන්තා පරිවාස නිවාස වල සිටින දැරියන්ටද ඔවුන් තමන්ගේ පරිවාස කාලය නිම කිරීමට ප්‍රථම වෘත්තීය පුහුණුවකට සම්බන්ධ කිරීමට මේ දිනවල පළාත් වශයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. වෘත්තීය පුහුණු ආයතන හරහා ඔවුනට අදාළ පුහුණුව ලබා දී, අමාත්‍යංශයට තිබෙන ප්‍රතිපාදන අනුව, පුහුණුවෙන් පසුව තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගැනීමට අවශ්‍ය කරන ආර්ථිකමය ශක්තිය ලබා දී, සාමජයට බරක් වෙන්න ඉඩ ප්‍රස්ථාව ඇති එවැනි කාන්තාවන් පිරිසකට එලෙස අත්වැළක් දී එයින් මුදවා ගැනීමට එමගින් අපිට හැකියාව ඇති බවට මම විශ්වාස කරනවා.

අධ්‍යාපනය යන විෂය ක්ෂේත්‍රය ගත් කල, විශ්ව විද්‍යාලයට තේරී පත්වීමට නොහැකි තරුණ තරුණියන් ඉතාමත් අර්බුධකාරී තත්වයකට මුහුණපෑමට සිදුවන බවට අපිට පෙනී යනවා. ඒ වෙනුවෙන්, අපි අමාත්‍යංශය හරහා පුරවර විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් පටන් අරගෙන තිබෙනවා. එමගින්, උසස් පෙළ සමත් වූ නමුත් විශ්ව විද්‍යාලයට යාමට වරම් නොලද බොහෝ තරුණ තරුණියන්හට පුරවර විශ්ව විද්‍යාල හරහා උපාධිය දක්වා අධ්‍යාපනය හැදෑරීමට වරම් ලබා දෙනු ඇත. තවත් මාස කිහිපයක් ඇතුළත, ප්‍රථම පුරවර විශ්ව විද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වනවා.

එමෙන්ම, මේ අවස්ථාවේ රටේ කතාබහට ලක්වෙලා තිබෙනවා ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනය සහ රසායනික පොහොර හා කෘෂි ද්‍රව්‍ය භාවිතය නවත්වා දැමීමට ගත් තීරණය සම්බන්ධව. එම වැඩ පිළිවෙල සාර්ථක කරගැනීම සඳහා, නියමිත නවීන තාක්ෂණික ක්‍රමවේද අඳුන්වා දී, පර්යේෂණ දත්ත ගොනු කර, ඒ සඳහා අවශ්‍ය උපදෙස් කෘෂිකාර්ම අමාත්‍යංශයට ලබා දීමට මේ දිනවල අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සාම්ප්‍රදායික රසායනික පොහොර වෙනුවට උසස් තාක්ෂණයෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනය කර සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට අපි කටයුතු කරනවා. ගොඩක් අය වැරදි මතවාදයක් දරනවා කොම්පෝස්ට් පොහොර පාවිච්චි කිරීම තමයි කාබනික පොහොර වගාව කියන්නේ කියල. නමුත්, එතනින් ඔබ්බට ගොස් microbial technology එහෙම නැත්නම් EM Technology කියන නවීන තාක්ෂණයන් අඳුන්වා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට තමයි අපි බලාපොරොත්තු වන්නේ. අපේ අමාත්‍යංශය හරහා ඒ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා සාර්ථක ප්‍රථිපල සහ සාර්ථක දත්තයන් රැස්කර තිබෙනවා.

මේ ආකාරයෙන් නොයෙකුත් වැඩසටහන් හා ව්‍යාපෘති මාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යනවා.

4. ඔබතුමියගේ අදහස අනුව එම ව්‍යපෘති/වැඩසටන් සාර්ථක කරගැනීමට තවදුරටත් අප රටෙහි සමාජීය වෙනස්කම් සිදුවිය යුතුව තිබේද?

මම හිතනවා හැමදේටම අප රටේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි කියලා. උදාහරණයක් වශයෙන් දෙමව්පියන් බලාපොරොත්තු වන්නේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්. එහෙමත් නැත්නම් කලා, වාණිජ, විද්‍යා, ගණිත වැනි ක්ෂේත්‍ර වලින් උසස් පෙළ හදාරා උසස් අධ්‍යාපනය ලැබීම තමයි දෙමව්පියන් උසස් අධ්‍යාපනය යනුවෙන් සළකන්නේ.

නමුත් ඊට වඩා කාර්මික පැත්තෙන් එහෙමත් නැත්නම් තාක්ෂණික පැත්තෙන් ප්‍රායෝගික ඤාණය සහිත උසස් අධ්‍යාපනයකට යොමු වෙලා රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාවට දරුවෝ යොමුවිය යුතුයි. ඒ සදහා ආකල්පමය වෙනසක් සමාජය තුල සිදුවිය යුතුයි.

ඒ වගේම තමයි, අපි කතා කරා සිර මැදිරිවල දඬුවම් ලැබ සිටින කාන්තාවන් සම්බන්ධයෙන්, අපි කොහොමද ඔවුන්ව ආර්ථිකව සවිබලගන්වන්නේ යැයි කියලා. නමුත් එතැනදීත් බොහෝවිට ඇති වෙන්නේ ආකල්පමය ප්‍රශ්නයක්. ඔවුන් ද නිවැරදි පුද්ගලයන් ලෙස භාර ගැනීමට රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි. එසේ නොමැතිවුවිට, ඔවුන් එම පරණ වැරදි වලටම පෙළඹීමට ඉඩ තිබෙනවා.

ඉතින් මෙවැනි වැඩසටහන් ‍ක්‍රියාත්මක කරන විට අපට හැකි වන්නේ යම් සැළැස්මකට අනුව ක්‍රියාත්මක වී, ආර්ථිකමය ප්‍රතිපාදන ඒ වෙනුවෙන් වෙන් කිරීමටයි. එවැනි වැඩසටහන් වල සාර්ථකත්වය උදා කරගැනීම සඳහා සමස්ත සමාජයේම ආකල්පමය වෙනසක් සිදුවිය යුතුය. නැතහොත් දැඩි නීතිරීති මගින් හෝ යම් කාලයකට එවැනි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමට අපට සිදුවනවා.

එවැනි දෙයක් තමයි රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට හැරීමේදීද සිද්ධ වන්නේ. ඉතා විශාල ආකල්පමය වෙනසක් සහ ඇබ්බැහිවීම් වලින් මිදීමේ වෙනසක් ඇති කිරීමට අපට සිදුවනවා.

5. මෙම ව්‍යපෘති/වැඩසටන් සාර්ථක කරගැනීමට අප රටෙහි දැනට පවතින නීතිය ප්‍රතිසංස්කරණය කල යුතුව තිබේද?

බොහෝ වෙලාවට මම දැකලා තියෙනවා බොහෝ තැන්වල, පාර්ලිමේන්තුවේදී වේවා කාන්තා සමිති සමාගම් වල වේවා, වැඩසටහන් සම්බන්ධව සාකච්ඡා කරන විට අපිට ප්‍රායෝගිකවව තිබෙන ලොකුම බාධාව නීතිය‍ යැයි සිතනවා. නමුත්, අපි බලන්නට අවශ්‍යයි දැනට පවතින නීති රාමුව තුළ අපිට කරන්නට පුළුවන් උපරිමය අපි කර තිබෙනවාද යන්න.

මාගේ මතය වන්නේ, රටේ දැනට පවතින නීති රාමුව තුළ වුවත් අපි වඩා කාර්යක්ෂමව සහ අවංකව වැඩකටයුතු කළහොත් ඉතා සාර්ථක ප්‍රතිපල අපට ලබාගැනීමට අවස්ථාව ඇති බවටයි.

බොහෝ වෙලාවලට බොහෝ දේවල් වලට වෙන් කරන ප්‍රතිපාදන අයථා විදියට භාවිතා කිරීම මගින් වසර ගණනාවක් පුරා එම ප්‍රතිපාදන ලැබීිය යුතු පිරිසට එම ප්‍රතිපාදන නොලැබී යන අවස්ථා ගොඩක් තිබෙනවා. ඒවා නිවැරදිව කළමනාකරණය වෙලා නැහැ.

ඉතින් එහෙම බලන විට නීති රාමුව තුළ යම් යම් ගැටළු තිබුණද, එම ගැටළු විසදා ගැනීමට පෙර, පවතින නීති රාමුව තුළ ලබාදිය යුතු උපරිම සේවාව අපි ලබා දී තිබිය යුතුයි. ඉන් පසුව අපිට හැකියාව තිබෙනවා නීති රාමුව තුළ පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට.

6. රටේ දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් කාන්තාවන්ට විශේෂයෙන් මුහුණ පෑමට සිදුවී ඇති ගැටළු මොනවාද? එම කාන්තාවන්ගේ ගැටළු නිරාකරණය කරගැනීමට ඔබතුමියගේ මතය අනුව ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?

කාන්තාවක් විදියට කොවිඩ්-19 තත්තවය සමග තමන්ගේ පවුලේ දරුවන්ගේ, ස්වාමියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් වගකීමෙන් කටයුතු කිරීමට සිද්ධ වෙනවා. වැදගත් වගකීමක් ඔවුනට පැවරෙනවා. දරුවන්ව පිටතට ගෙන යන්නේ කොහොමද, රස්සාවට යන සැමියා ගෙදර පැමිණන විට කොහොමද විෂබීජ වලින් ආරක්ෂා වන්නේ, එවැනි ප්‍රශ්න සම්බන්ධව ඉතාමත් වගකීමෙන් වැඩ කිරීමට කාන්තාවන්ට සිදු වෙලා තිබෙනවා.

ඒ වගේම කොවිඩ්-19 තත්ත්වය නිසා සංචරණ සීමා හෝ lockdown වැනි තත්ත්වයන් ඇති වූ විට, ඇතැම් කාන්තාවන්ට ගෘහස්ථ ප්‍රචණ්ඩණය වැනි ප්‍රශ්න වලටද මුහුණ පෑමට සිදු වී තිබෙනවා. හිංසනය කරන පුද්ගලයාත්, හිංසනයට පත්වන කාන්තාවත් එකම ගෙදරක බොහෝ වෙලාවක් රැඳෙන්න සිදුවූ විට කාන්තාවන් තව තවත් අසරණභාවයට පත් වෙනවා. මේ සඳහා සමාජීය දැනුම වැඩි කිරීමට සහ යම් කිසි අවස්ථාවක උදව් ලබාගැනීමට අවශ්‍ය වුවහොත් අදාළ නීතිමය ක්‍රියාදාමයන් සහ ක්‍රියාමාර්ග, උදාහරණයක් වශයෙන් අවශ්‍ය දුරකථන මාර්ග ආදිය වැනි පහසුකම් දැනටමත් සළසා දී තිබෙනවා.

ඊටත් අමතරව කාන්තාවක් විදියට, එමෙන්ම පුරුෂයකු විදියට, රටේ ජීවත්වන පුරවැසියකු විදියට, සැමදෙනාටම පොදු ආර්ථික ප්‍රශ්න, අධ්‍යාපනික ප්‍රශ්න වැනි ගැටළු වලට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. අපි මේ රෝගයත් සමග ජීවත් වීමට පුරුදු වීමත් සමඟ කාන්තාවක් වශයෙන් මූලික සෞඛ්‍ය නීති පිළිපදිමින් තමන්ගේ දරුවන්ව, ස්වාමියාව, රැකියාව කරන තැන පුද්ගලයන්ව දැනුවත් කරගෙන එදිනෙදා කටයුතු සුපුරුදු පරිදි කරගෙන යෑමට වගකීමක් කාන්තාවට තිබෙනවා. මම හිතන්නේ බොහෝ කාන්තාවන් තුළින් දැනටමත් මෙම කාර්යභාරය සිද්ධ වනවා.

අපි පුරුදුවෙලා තියෙන්නේ බොහෝ ගැටළු වෙන්කර දැකීමටයි. එනමුත් අනාගතයේදී, අපි මෙම ගැටළු කාන්තාවන්ට ඇතිවන ගැටළු ආදිය යැයි වෙන්කර දකින්නේ නැතිව පොදු ගැටළු ලෙස සලකා ක්‍රියාත්මක වීමට වගබලා ගත යුතුය. පුරවැසියන් වශයෙන් අපි සෑම දෙනාටම කොවිඩ්-19 තත්ත්වය නිසා තිබෙන බාධාවන්, අභියෝගයන් එක ලෙස සලකා කටයුතු කිරීමට තමයි සෞඛ්‍ය අංශයන්, ආරක්ෂක අංශයන් වගබලා ගෙන තිබෙන්නේ.

මාගේ මතය වන්නේ කාන්තාවන්ට කොවිඩ්-19 තත්ත්වය නිසා විශේෂයෙන් මුහුණ පෑමට සිදුවන ගැටළු නැති බවත්, පොදුවේ මුහුණ පෑමට සිදුවන ගැටළු ඇති බවත් ය.

මේ වන විට අපි දකිනවා සිංගප්පූරුව වැනි රාජ්‍යයන් ද මෙම රෝගය තවත් වෛරස් රෝගයක් ලෙස සලකා එදිනෙදා වැඩකටයුතු කිරීමට තීරණය කර ඇති බව. කාලයත් සමඟ, මෙම එන්නත්කරණ වැඩසටහනත් සමඟ, අපට සාමාන්‍ය විදියට අපගේ රැකියා කටයුතු, අධ්‍යාපනික කටයුතු වැනි සියලු කටයුතු කිරීමට හැකියාව ලැබේවි යැයි මම විශ්වාස කරනවා.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks