E   |     |  

ජාත්‍යන්තර තරුණ දිනය 2021 | ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය සමඟ පැවැත්වූ සාකච්ඡාව

වර්තමාන තරුණ සේවා වියුක්ති අර්බුදය සම්බන්දව සහ එය විසඳීම සඳහා කුමක් කළ යුතුද යන්න ඔබතුමියගේ අදහස කුමක්ද?

රටේ සිටිනා අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් ගත් කල බහුතරයකට රැකියා නොමැති බව අපට පෙනී යනවා. කොවිඩ් තත්වය සමඟ මෙය තීව්‍ර වී ඇති වුවත් අප රටේ දැනුම පමණක් මූලික කරගෙන නිර්මාණය වී ඇති  අධ්‍යාපන ක්‍රමය, වැඩ ලෝකය සඳහා අවශ්‍ය කුසලතා සහ අත්දැකීම් දරුවන් හට නොදෙන බව අපට පෙනී යනවා. පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා තිබුනද, ඒ රැකියා වලට සුදුසු පුද්ගලයන්  පාසල් අධ්‍යාපනය තුලින් නිර්මාණය වී නොමැත.

එනිසා අපේ අධ්‍යාපනය ක්‍රමය වැඩ ලෝකයට ගැලපෙන අයුරෙන් විෂය නිර්දේශ යාවත්කාලීන කරමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව මම විශ්වාස කරනවා.

දෙවැනි කාරණාව විදියට උසස් පෙළ සඳහා පෙනී සිටිනා දරුවන් අතුරින් 4%ක පමණ සුළු කොට්ඨාශයක් පමණයි විශ්ව විද්‍යාලයට අවතීරණය වීමට සුදුසුකම් ලබන්නේ. එම 4% තුලින්ද, බහුතරයක් බලාපොරොත්තු වන්නේ රජයේ රැකියාවක්. විශ්‍රාම වැටුප නිසාවෙන් රජයේ රැකියාවක් සඳහා තරුණ තරුණියන් වැඩිපුර උනන්දුවක් දක්වන බව පෙනෙනවා. නමුත් යථාර්ථවාදීව ගත් කල රජයේ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබන සියළු දෙනාට රජයේ රැකියාවක් ලබාදීමට රැකියා පුරප්පාඩු නැත. ඉතින් මේ සම්බන්ධයෙන් අපි තරුණ පරම්පරාව තුල ආකල්පමය වෙනසක් ඇති කර යුතුව තිබෙනවා. විශ්‍රාම වැටුපක් නොලැබුනද, පෞද්ගලික අංශයේ රැකියාවන් වල ආරම්භයේ පටන් හොඳ වැටුපක් සමඟ වෙනත් දීමනාවන්ද ලබා දෙනවා. ඉතින් මේ සම්බන්දවද තරුණ පරපුර දැනුවත් කළ යුතුව තිබෙනවා.

ඊළඟ කාරණාව, සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව පාසල් අධ්‍යාපනය නතර කරනා දරුවන් කුමක් සඳහා යොමු වනවාද යන්නද අපේ අවධානයට ලක් විය යුතු බව මම විශ්වාස කරනවා. ඉතින් මෙම දරුවන් සඳහා වැඩ ලෝකයට ගැළපෙන අධ්‍යාපනයක් තාක්ෂණික විද්‍යාල වැනි විද්‍යාල හරහා ලබා ගැනීමට යොමු වන්නේ නම් එය රටේ ආර්ථිකයටද ඉතා ඵලදායී වනු ඇත. හැබැයි පවතින තත්ත්වය තුල මෙම විද්‍යාල වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳවද ගැටළුවක් පවතිනවා.

ඉතින් අපි මෙම ප්‍රශ්නයේ ගැඹුරට ගොස් විසදුම් සෙවිය යුතු වනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට නූතන වැඩ ලෝකයට ගැළපෙන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කළ යුතු බව මාගේ මතය වනවා.

හෑල්ලු කිරීමකට ලක් කරනවා නොව, කලා උපාධියක් රැගෙන පැමිණෙන තරුණ තරුණියන්ගේ නූතන වැඩ ලෝකයට මුහුණ දීමට අවශ්‍ය කුසලතා සහ අත්දැකීම් අඩු ගතියක් අපිට පෙනී යනවා. මෙම ගැටළු වලට අපි විසදුම් සෙවිය යුතුය. උදාහරණයක් ලෙස කලා උපාධිය තුල ඇති විෂයන් වල වෙනසක් සිදුවිය යුතුය.

නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි තාක්ෂණික සහ කාර්මික විද්‍යාල වල විෂය නිර්දේශයන් වෙනස් කර යුත්තේ කෙසේද?

මේ සඳහා දැනුම තිබෙන විශේෂඥයන් අපි එකතු කරගත යුතුය. අපි රටක් විදියට ගොඩක් වැටිලා ඉන්නේ. විශේෂයෙන්ම කොවිඩ් නිසා. එමෙන්ම මගේ පෞද්ගලික අදහස වන්නේ, රටේ පාලකයන්ගේ ආරථික කළමනාකරණයේ තිබෙන ගැටළුද මෙයට හේතුවක් වී තිබෙනවා. මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා අප සියළු දෙනා වැඩ කළ යුතුය. විද්වතුන් ස්වේච්ඡාවෙන් මේ සඳහා එකතු විය යුතුයි. එසේ නොමැති වුවහොත් අපිට මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට බැරි වේවි. එනිසා මෙම විෂය සම්බන්ධව දැනුම ඇති විද්වතුන් සම්බන්ධ කරගෙන විදේශ රැකියා වෙළඳ පොළ සඳහා වෘත්තිකයන් බිහිකිරීමට අවශ්‍ය විෂය නිර්දේශ සකස් කළ යුතුය.

ඒ සඳහා අපි දැනට වඩා සම්පත් ප්‍රමාණයක් වෙන් කළ යුතුද?

අනිවාර්යයෙන්ම. වෙනත් රටවල් අධ්‍යාපනය සඳහා වාර්ෂික අයවැයෙන් 6%-7% පමණ ප්‍රමාණයක් වෙන් කරනවා. අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරන්නේ 1.3% පමණ ප්‍රමාණයක්. ඉතින් අපි මෙය වෙනස් කළ යුතුයි.

තරුණ කාන්තාවන් දේශපාලනයට සම්බන්ද කරගැනීමට ඇති බාධා මොනවාද?

අප රටේ දේශපාලඥයා විසින්ම තමන්ගේ හැසිරීම්, කතාබහ, ක්‍රියාකලාපය නිසා දේශපාලඥයාව හෑල්ලු කරගෙන ඇති බව අපට පෙනී යනවා. එනිසාවෙන් කාන්තාව පමණක් නොව තරුණ පරම්පරාව දේශපාලනයට ඒමට ලොකු අකමැත්තක් තිබෙනවා. ඉතින් මුලින්ම තරුණ තරුණියන්ට නියම දේශපාලනය යනු කුමුක්ද යන්න පසක් වන ආකාරයට වැඩිහිටි දේශපාලඥයන් හැසිරීම වෙනස් වීමට  අවශ්‍යයි. ඒ තුලින් ඔවුන්ට දේශපාලනය කෙරෙහි කැමැත්තක් හට ගනු ඇති.

දෙවැනි කාරණාව වන්නේ, පවතින මැතිවරණ ක්‍රමය තුල නවකයෙකුට දේශපාලනයට අවතීරණය වීමට නොයෙකුත් බාධා පවතිනවා. රටේ දැනටමත් වෙනත් ක්‍ෂේත්‍රයකින් ජනප්‍රිය වී නොමැති නම් හෝ දැනටමත් දේශපාලන පවුලකින් පැවතීගෙන එන කෙනෙකු නොවන්නේ නම් හෝ ලොකු මුදලක් ඒ සඳහා වැය කිරීමට නොහැකි නම් හෝ පවතින දේශපාලන ක්‍රමය තුල තරුණ පරම්පරාවේ නවකයෙකුට දේශපාලනයට අවතීරණය වීමට ඉතාමත් අපහසු වනවා. ඉතින් මැතිවරණ ක්‍රමය තුලද විශාල වෙනසක් සිදුවිය යුතුව තිබෙනවා. අතීතයේ තරුණයන් සඳහා නාමයෝජනා පත්‍රයේ 35% කෝටාවක් තිබුණා. නැවත වතාවක් එය හඳුන්වා දිය යුතු යැයි කියා මම විශ්වාස කරනවා.

මෙහිදී වැදගත්ම කාරණාව වන්නේ පක්ෂ නායකයන්ට කාන්තාවන් දේශපාලනයට ගෙන්වා ගැනීමට සැබෑ වුවමනාවක් තිබෙනවානම්, වෙනම නීති සම්පාදනය කිරීමට අවශ්‍යතාවයක් පැන නැගෙන්නේ නැත. ඒ සඳහා නාම යෝජනා ලැයිස්තුවේ මෙන්ම ජාතික ලැයිස්තුවේ ද සැළකිය යුතු ප්‍රතිශතයක් කාන්තාවන්ට ලැබිය යුතුය.

අනිත් කාරණාව තමයි දැනට පාර්ලිමේන්තුවේ සිටිනා සාමාජිකයන් ලෙස කාන්තා අපි මන්ත්‍රීවරියන් වශයෙන් ඇමතිතුමියන් වශයෙන් තරුණ කාන්තාවන්ට ආදර්ශයක් වෙමින්, බලාපොරොත්තුවක් වෙමින්, වැඩකටයුතු කිරීමට යුතුකමක් මෙන්ම වගකීමක් අප 12 දෙනා හට පැවරෙනවා. මොලමුරේ මැතිණිය අරගත්ත ධජය තමයි අපි තාමත් රැගෙන එන්නේ. එනමුත් තවමත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය කාන්තා මන්ත්‍රිවරියන් 12 න් එහාට රැගෙන යාමට අපි අසාර්ථක වී තිබෙනවා. ඉතින් අපිට වගකීමක් තිබෙනවා කාන්තා අපේක්ෂිකාවන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව පොළඹවා ගැනීමටත්, තරුණ කාන්තාවන් දේශපාලනයට අවතීරණය වීමට උන්නදු කරවීමටත්. ඉතින් ඒ සඳහා පූර්වාදර්ශී චරිත ලෙස කැපවීමෙන් ක්‍රියාකිරීමට දැනට දේශපාලනයේ නිරත වී සිටිනා කාන්තා අපට යුතුකමක් තිබෙනවා.

අනිත් කාරණාව තමයි අප රටේ මෙන්ම දකුණු ආසියානු සංස්කෘතිය තුළ කාන්තාව පිරිමියාට වඩා පහළ තැනකින් තියල තියෙනවා. “කාන්තාව කුස්සියේ වැඩට, ගෙදර වැඩට තමයි දක්ෂ” වැනි අදහස් තවමත් සුලභව සමාජයේ පවතිනවා. එනමුත් දේශපාලනය හැර බහුතරයක් වෘත්තීය ක්‍ෂේත්‍ර ජයගෙන ඇත්තේ කාන්තාවන්. නමුත් සමාජයේ පැවතෙන යල් පැන ගිය අදහස් නිසා කාන්තාවන්ට විශේෂයෙන් දේශපාලන ක්‍ෂේත්‍රයට ඇතුළු වීමට සහ එහි සාර්ථකව වැඩ කටයුතු කරගෙන යාමට බාධා පමුණුවනු ලබනවා.

එනිසා තමයි මම තරයේ විශ්වාස කරන්නේ මෙම ක්‍ෂේත්‍රයට අවතීරණය වීමට පක්ෂ නායකයන් විසින් කාන්තාවන්ට අවස්ථාව සලසා දිය යුතු බව. එය මෙම යල්පැන ගිය, පදනම් විරහිත, වැරදි මතවාද වෙනස් කිරීමට රුකුළක් වනු නොඅනුමානයි.

දේශපලනයේ නිරත වීමේදී තරුණියන්ට ඇතිවන ගැටළුවලට සහ දේශපාලන යථාර්ථයන් වලට සාර්ථකව මුහුණ දීම සඳහා වැඩිහිටි දේශපාලන කාන්තා පරම්පරාව මූලිකත්වය ගෙන උපදේශන මාලා වැනි වැඩසටහන් කිරීම ඔබතුමියගේ අදහස අනුව විසඳුමක් වේවීද?

ඒවැනි වැඩසටහන් තුලින් තරුණ කාන්තාවන් දේශපාලනයෙහි නිරත වීමට යම්තාක් දුරකට උනන්දු කරවීමට හැකි වේ යැයි මම විශ්වාස කරනවා. කාන්තා දේශපාලඥයින් වශයෙන් අපේ ප්‍රයෝගික අත්දැකීම්, අපි කඩඉම් තරණය කල හැටි වැනි දෑ බෙදා ගැනීම තුළින් තරුණ කාන්තාවන්ටද එම බාධා වලට සාර්ථකව මුහුණ දීමට දිරිමත් කිරීමට අපිට හැකි වනවා. දැන් උදාහරණයක් ගත් විට කාන්තාවක් වශයෙන් ඔබ දේශපාලනයට අවතීරණය වනවා නම් ඔබගේ චරිතය ඝාතනය කිරීමට නොයෙකුත් පාර්ශවයන් අනිවාර්යයෙන්ම කටයුතු කරනවා නියතයි. එසේ කරන්නේ ඔබව මානසිකව වැට්ටීමටයි. එවැනි බාධා වලට අපි මුහුණ දුන් අයුරු බෙදා ගැනීම තවත් කාන්තා දේශපාලඥයෙකුට එය රුකුළක් වනු ඇත.

ඒවගේම අවවාදයට වඩා ආදර්ශය උතුම් යන කරුණ සිතෙහි රඳවාගෙන, පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ හෝ ඉන් පරිභාහිරව සමාජ ක්‍රියාකාරීකාවන් වශයෙන් හෝ දැනට දේශපාලන ක්ෂේත්‍රයේ නිරත වී සිටිනා කාන්තාවන් ක්‍රියා කළ යුතු බව මම තරයේ විශ්වාස කරනවා. මේ සියළු දෙනා එකතු වී කාන්තාවන් මෙම ක්ෂේත්‍රයේ ක්‍රියාකිරීමට අවශ්‍ය වන්නේ ඇයි දැයි යන පණිවිඩය සමාජයට දිය යුතුය.

බලන්න නවසීලන්තයේ අගමැතිතුමිය කාන්තාවක් වශයෙන් එවැනි නිලතල හොබවමින් මුළු ලෝකයේම ප්‍රසාදය දිනා ගනිමින් ක්‍රියා කරනා ආකාරය. එම රට එතුමියගේ නායකත්වය යටතේ සාර්ථකව ප්‍රශ්න සඳහා මුහුණ දෙන ආකාරය බලන්න. ආදර්ශයෙන්ම සමාජයේ කාන්තාව සම්බන්ධව ඇති යල්පැනගිය වැරදි මතවාද බිඳහෙලන ආකාරය බලන්න. අපි සැවොමත් ඒ ආකාරයෙන් උත්සාහ කළ යුතුය.

පාර්ලිමේන්තුවෙහි කාන්තා නියෝජනය වැඩි විය යුත්තේ ඇයි?

නවසීලන්ත අගමැතිතුමිය සාර්ථකව ඒ රට පාලනය කරනා අන්දම අපි දැනටමත් සාකච්ඡා කළා. ඊට අමතරව දකුණු ආසියාවේ බංග්ලාදේශය ගැන අවධානය යොමු කළහොත් අපිට පෙනී යනවා ඉතාමත් ප්‍රබල කාන්තා නියෝජනයක් එම රටේ තිබෙනා බව. අතීතයේ බංග්ලාදේශය අප රටට වඩා ඉතාමත් පහළ මට්ටමක තමයි පැවතුනේ. එනමුත් අද වනවිට බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ණය ලබාගන්නා තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඉතින් කාන්තාවන් තනතුරු දරමින් ආර්ථිකය සාර්ථකව කලමණාකරණය කරනා රටවල් වල උදාහරණ අප කළාපය තුලද දකින්නට ලැබෙනවා. කළමනාකරණය යනු බොහෝ කාන්තාවන්ට සහජයෙන්ම ලැබෙනා ගුණාංගයකි. අපි ගෙදරක් ගත්තත් අම්මා තමයි ගෙදර වැඩ කටයුතු කළමනාකරණය කරගෙන යන්නේ. ඒවගේම තමයි එක වර වැඩ කිහිපයකට සාර්ථකව අවධානය යොමු කිරීමටද කාන්තාවට සහජ හැකියාවක් තිබෙනවා. එමෙන්ම, කාන්තාවන් කුඩා කාලයෙහි සිටම ලක් වන සාමාජීකරණය නිසාවෙන් අල්ලසට, දූෂණයට, භීෂණයට ලැජ්ජාවක්, බියක් කාන්තාවට පවතිනවා. ඉතින් ඒ නිසා තමයි අපිට මීට වඩා කාන්තා නියෝජනයක් අවශ්‍ය වන්නේ.

තවමත් අප සමාජයේ අර මහා බ්‍රහ්මයාගේ පයේ තිබුණ දූවිල්ලෙන් නිර්මාණය වූවා වැනි මත වල එල්බගෙන කාන්තාව රටෙහි තීරණ ගත යුතු ස්ථානවල සිටිය නොහැකියැයි විශ්වාස කරනවා. මෙවැනි පුහු මත පුරුෂ මූලික සමාජය තුල පුරුෂයන් විසින්ම ඇති කරගන්නා අදහස් වේ. නමුත්, අපි සාකච්ඡා කළ ප්‍රයෝගික උදාහරණ ගත් කළ ඒවා සමාජයේ ඇති පදනම් විරහිත වැරදි මතවාද යැයි සාක්‍ෂාත් වනවා.

මම දකිනා පරිදි රටෙහි ජීවත් වන පිරිමි සහ ගැහැණු පුද්ගලයන් සම්බන්ධව තීරණ ගන්නා ස්ථානයන් වල පිරිමි සහ ගැහැණු නියෝජනයන් තිබිය යුතුමය. තීරණ ගැනීමේ ශක්තිය සහ හැකියාව පිරිමි පුද්ගලයන්ට මෙන්ම කාන්තාවන්ටද සමානව පවතිනවා. අතීතයේදී තීරණ ගැනීමේ අවස්තාව පිරිමින් හට පමණක් දීමෙන් කාන්තාව හෑල්ලුවට ලක්වුණා පමණක් නොව ඒ නිසා රටේ බහුතර කොටසකගේ ප්‍රශ්න, කුසලතා, හැකියාවන්ද හෑල්ලුවකට ලක්වුණා. අතීතයේ සිදුවූ වැරදි අඩුපාඩු නිවැරදි කරමින් අපි අනාගතයට මුහුණ දිය යුතුය.

ඇයි කාන්තාවන් පාර්ලිමේන්තුවෙහි සිටිය යුත්තේ යන ප්‍රශ්නයට මම උත්තර දෙන්න කැමති ඇයි කාන්තාවන් නොසිටිය යුත්තේ යැයි කියා.

විශේෂයෙන්ම තරුණ කාන්තාවන් දේශපාලනයේ නිරත විය යුත්තේ ඇයි?

බහුතරයක් දේශපාලඥයන් 20 වන ශත වර්ෂයෙන් පැවතගෙන අය වේ. නමුත් දැනටමත් 21 වන ශත වර්ෂයෙන්ද 1/5 ගත වී අවසානයි. අපි දැන් සැලසුම් කරන්න අවශ්‍ය 22 වන ශත වර්ෂය සිතෙහි රඳවා ගෙනයි. මගේ මතය තමයි අපි බහුතරයක් දේශපාලඥයන් කල් ඉකුත් වූ පුද්ගලයන්. ඒ කිසිවෙකුත් හෑල්ලුවට ලක් කිරීමේ අරමුණක් මට නැහැ. 22 වන ශත වර්ෂයට සැලසුම් කිරීමට 22 වන ශත වර්ෂය දකින්න අවශ්‍යයි. 20 වන ශත වර්ෂයේ මුල් භාගයේ සිට පැවතගෙන එන අය, 21 වන ශත වර්ෂය දැක සැලසුම් ගොඩ නැගීමට අසාර්ථක වුන අය, 22 වන ශත වර්ෂයට කෙසේ සාර්ථවක මුහුණ දෙන්න දැයි ඉතාමත් කාලෝචිත ප්‍රශ්ණයක් පැන නැගෙනවා. ඉතින් මේ තරුණ පරම්පරාව 22 වන ශත වර්ෂය ආසන්න වෙනකම් ජීවත් වෙන පිරිසක්. අලුත් පරම්පරාවට ගැලපෙන විදියේ රටක් හැදීමට අපිට අලුත් පරම්පරාවේ දැක්ම අවශ්‍ය වනවා. ඒ නිසා තමයි අපිට තරුණ නියෝජනයක් අවශ්‍යවන්නේ. එය පාර්ලිමේන්තුවට පමණක්ම සීමා විය යුතු නැහැ. දේශපාලන ක්ෂේත්‍රය තුල විවිධ මට්ටම් වලින් මේ සඳහා තරුණ පරම්පරාව දායක කරගත යුතුව තිබෙනවා.

තරුණ පරම්පරාවේ අදහස් වලට ඉඩ නොලැබුණහොත්, යල් පැනගිය කල් ඉකුත්වූ ශ්‍රී ලංකාවක් 22වන ශත වර්ෂයේදීද දැක ගත හැකි වනු ඇත.

ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනය සහ අසමානතා තරුණ තරුණියන් හට ශ්‍රම බලකායට ඇතුළු වීමට බාධා පමුණුවනවා ද ?

එවැනි හිංසනයන් ඇත්තටම වැඩිපුරම බලපාන්නේ තරුණ කාන්තාවන්ට. පෞද්ගලික අංශය ගත් විට සමහර ආයතන ප්‍රසූත නිවාඩුව නිසා තරුණ කාන්තාවන් සේවයට සම්පූර්ණයෙන් බඳවා ගැනීමෙන් වළකින අවස්ථා තිබෙනවා. අප රටේ ශ්‍රම බළකායෙන් 35% අඩු කාන්තා නියෝජනයක් තමයි තිබෙන්නේ යැයි අපි දන්නවා. එයින් පැහැදිලි වනවා, රැකියා අවස්ථා සම්බන්ධව කාන්තාව අසාධාරණයට ලක්වන බව.

ඇත්තටම සමහර ආයතනයන් වල සිදුවන වාචික, ශාරීරික, මානසික සහ ලිංගික හිංසනයන් නිසා කාන්තාවන් රැකියා වලට නොයන්නත්, කරනා රැකියා වලින් ඉවත් වීමටත් හේතු කාරණා වන තත්වයන් අපි දකිනවා. පහුගිය කාලේ සමාජ මාධ්‍ය ජාලා වල කාන්තාවකට ආයතන ප්‍රධානියෙක් පහර දෙන වීඩියෝ පට හුවමාරු වනවා අපි දැක්කා. ඉතින් එවැනි හිංසනයන් තරුණියන් ශ්‍රම බලකායට ඇතුළු වීම වළක්වන හේතු කාරක වනවා.

මෙවැනි කාරණා සම්බන්ධව ඒවා වැලැක්වීමට අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද ?

අපිට නීති ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වනවා. ඒ සම්බන්ධව වැඩ බිමෙහි සිදුවන හිංසනයන් සම්බන්ධව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ILO 190 වැනි නීති බලාත්මක කරගැනීම සඳහා දැනටමත් අපි ඉල්ලීම් කර ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගනිමින් පවතිනවා. ඒ තුළින් කාන්තාව සහ පුරුෂයා යන දෙදෙනාගේම වැඩ බිමෙහි ඇති ආරක්ෂාව සලසා දෙනවා. ඒ හරහා දෙපාර්ශවය සඳහාම සමාන වැඩ බිමක් සකසා ගැනීමට ඉවහල් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

මාර්ගගත අධ්‍යාපන ක්‍රමය මගින් තරුණ තරුණියන්ට වන බලපෑම කුමක්ද ?

වාර්තා මගින් හෙළිවී තිබෙනවා 45% වඩා අඩු ප්‍රමාණයක් තමයි මාර්ගගත අධ්‍යාපනය සඳහා යොමු වෙලා තිබෙන්නේ. ඇත්තටම පවුලක ආර්ථික මට්ටම මාර්ගගත අධ්‍යාපනයට ලොකු බලපෑමක් එල්ල කරනවා.

ඇතැම් නිවෙස් වල මාර්ගගත අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ ඇත්තේම නැහැ. එවැනි උපකරණ තිබෙන බොහෝ නිවෙස් වලද, සියළු දෙනාගේම භාවිතය සඳහා එක උපකරණයක් තිබෙන තත්ත්වයක් අපි දකිනවා. ඉතින් එම උපකරණය පාවිච්චි කිරීම සඳහා දෙමව්පියන් රැකියා වල නිරත වී නිවෙස් වලට පැමිණෙන තුරු බලා සිටීමට දරුවන්ට සිදු වනවා. එසේ සිදු වීමෙන් ගුරුවරුන් දිවා කාලයේ කල පාඩම් එවැනි දරුවන්ට අතපසු වනවා.

ඊට අමතරව, බොහෝ පළාත් වල 3G/4G ආවරණ කළාප නොමැත. එනිසා තමන්ට කියා එවැනි උපකරණයක් තිබෙනා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හටද පාඩම් අතපසු වීම් බොහෝ විට සිදු වනවා.

මේ අතපසු වලින් සිදුවන පාඩුව සහ බලපෑම ඇත්තටම අදට වඩා ඉදිරියේදී මේ දරුවන්හට දැනේවි.

ඒවගේම තමයි මෙවැනි අධ්‍යාපනය හරහා දරුවන්ගේ ජීවිතයට අවශ්‍ය සමාජීය සහ ජීවන කුසලතා සහ අත්දැකීම් ලබා ගැනීමද අඩාල වනවා.

තරුණ තරුණියන් නොවේ අපි මොහොතකට කුඩා දරුවන් ගැන සිතමු. පසුගිය අවුරුද්දේ පළමුවන වසරට බැඳුනු දරුවන් තවමත් හරි ආකාරයට පාසැල් ගොස් නොමැත. මෙම දරුවන් ඊළඟ වසරේ තෙවන වසරට සමත් වනවා. මෙම දරුවන් මූලික සමාජීයකරණය, ජීවන කුසලතා නොමැතිව හුදු දැනුම පමණක් පදනම් වූ අධ්‍යාපනයක් පමණයි ලබන්නේ. ඒවගේම තමයි උසස් පෙළ දරුවන්ට එම විෂයන්ට අවශ්‍ය ප්‍රයෝගික දැනුම, විශේෂයෙන්ම විද්‍යා විෂය ධාරාව හදාරන දරුවන්, ලබාගෙනද විභාගයට මුහුණ දෙන්නේ?

විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද එම විශ්ව විද්‍යාල ජීවිතයේ ප්‍රායෝගික අත්දැකීමේ මුකුත් නොමැතිව තමයි එළියට එන්නේ. මෙවැනි ස්ථාන වලින් තමයි අපි මිනිස්සු අඳුරගන්නේ, සඟයන් සමඟ ගැටිලා සමාජය ගැන ඉගෙන ගන්නේ, ජීවිතයේ සංධිස්ථාන බවට පත් වන තීන්දු තීරණ ගන්න ඉගෙන ගන්නේ. මෙම ප්‍රයෝගික පැත්ත සම්පූර්ණයෙන්ම අපේ දරුවන්ට මෙම කොවිඩ් වසංගත තත්ත්වය සමඟ අහිමි වෙලා තිබෙනවා.

ඉතින් මාර්ගගත අධ්‍යාපනය හරහා බිහිවෙන මෙම තරුණ තරුණියන් වෘත්තිකයන් ලෙස වැඩකටයුතු කිරීමේදී එහි ගුණාත්මක භාවය ගැටළු සහගතයි.

ගොඩක් ඇමතිවරු කියනවා මෙම මාර්ගගත අධ්‍යාපනය 100% සාර්ථකයි කියලා. ඒ වුනාට ගම් පළාත්වල වල සිටිනා දරුවන් තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළු අපි දන්නවා.

මෙය සාර්ථක කරගැනීම සඳහා ඔබතුමියගේ නිර්දේශ මොනවාද ?

අපි මේ සම්බන්ධයෙන් දැනුම ඇති විශේෂඥයන් එක්කාසු කරගෙන මෙම බාධා වලට සාර්ථකව මුහුණ දුන් රටවල් ගත් ක්‍රියා මාර්ග අධ්‍යනය කර අනාගතයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේදැයි සැලසුම් කර යුතුය. මගේ අදහසක් තමයි සෑම දෙනාටම එක්විය හැකි අයුරින් රූපවාහිනී නාලිකා මගින් අධ්‍යාපන වැඩ සටහන් ප්‍රචාරය කිරීම. පාර්ලිම්න්තුවේදී සමහර ඇමතිවරු පැවසුවා 101,102 වැනි නාලිකා තුලින් එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වනවා යැයි කියා. එත් එම නාලිකා ප්‍රචාරය වන්නේ සැටලයිට් රූපවාහිනී වල. ගම් වල දරුවන්ට සැටලයිට් රූපවාහිනී ලබා ගත හැකිද? මේවා ගැන අපි සිතිය යුතු නැද්ද? හොඳ ආවරණ කලාපයක් ඇති සාමාන්‍ය රූපවාහිනී නාලිකාවක් හරහා මෙවැනි වැඩ සටහන් ප්‍රචාරය කළහොත් ඊට වඩා සාර්ථක වේ යයි මම විශ්වාස කරනවා.

ඒවගේම තමයි අපිට YouTube එක හරහාද මෙවැනි අධ්‍යාපන වැඩසටහන් පවත්වන්නට පුළුවන්. එවැනි වැඩසටහන් රාත්‍රී කාලයේ ඩේටා පාවිච්චි කර හෝ නැරඹීමට හැකියාව තිබෙනවා. ඉතින් දිවා කාලයේ පාසලේ ගුරුවරයා සමඟ පාඩම් අතපසු වුන දරුවන්ට මෙය මහත් අස්වැසිල්ලක් වේවි.

කුමන මාර්ගයකින් හෝ අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට අපි සහයෝගය දිය යුතුය.

මේඅයුරෙන් දැනට පවතින මාර්ගගත අධ්‍යාපන ක්‍රමය මඟින් සිදුවන බලපෑම අවම කර ගැනීමට අපි කටයුතු කළ යුතුය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks