බලන්න

E   |     |  

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය (WPC) සහ ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ (PCIPD) ඒකාබද්ධ ප්‍රකාශය

2024 අප්‍රේල් මස 05 වැනි දින සෙත්සිරිපාය පරිස්‍රයේදී ඉන්පිටවීමට කටයුතු කරමින් සිටි ආබාධ සහිත කාන්තාවකට තම ප්‍රවාහන සේවය යොදාගැනීමට බාධා කරමින් පරිශ්‍රය තුළ වාහන භාවිත කිරීම ප්‍රභූවරුන් සඳහා පමණක්වෙන් කර ඇති බවට ප්‍රකාශ කොට ඇති අතර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය(WPC) සහ ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය සඳහා වන පාර්ලිමේන්තු සංසදය (PCIPD)ලෙසඑකී සිදුවීමඅපි තරයේ හෙළා දකින්නෙමු.අදාළ අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරීන් භාවිත කළ භාෂාව ඉතා සංවේදී නොවන, අගෞරවනීය සහ සිත් රිදවන ආකාරයේ එකක් බව අපගේ අවධානයට ලක්ව ඇත. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක ආරාධිත දේශකවරියක ලෙසපැමිණ සිටියදී ඉහත සිදුවීමට මුහුණ පෑමට අදාළ කාන්තාවට සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 9%ක්ආබාධ සහිත තැනැත්තන්ගෙන් සංයුක්ත වන අතර ඔවුන් විවිධ සේවාවන් වෙත ප්‍රවේශවීමේ දී, ඔවුන්ගේ දෛනික ජීවන කටයුතු කරගෙන යාමේ දී මෙන් ම ඔවුන්ගේ ප්‍රජාකටයුතු වලට සහභාගී වීමේ දී විවිධ ක්ෂේත්‍රවල වෙනස් කොට සැලකීම්වලට මෙන් ම හිරිහැරවලට මුහුණ දෙති. අවශ්‍ය යටිතල පහසුකම් සහ සංඥා භාෂා පරිවර්ථනය, ආබාධිත-හිතකාමී අධ්‍යාපනික සහ රැකියා පහසුකම් සහ ප්‍රවේශ විය හැකි ප්‍රවාහන පහසුකම් වැනි අවශ්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන්, ආබාධ සහිත තැනැත්තන් බොහෝ විට දුෂ්කරතාවන්ට මුහුණ දෙයි.

වසර2016 දී ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCRPD) ශ්‍රී ලංකාව විසින් අපරානුමත කළ අතර,ඒ අනුව,(ආබාධ සහිත තත්ත්වයකින් පසුවන ඕනෑම අයෙකුගේ) “සියලුආබාධ සහිත තැනැත්තන්ගේ සියලු මානව හිමිකම් සහ මූලික නිදහස පූර්ණ හා සමාන ලෙස භුක්ති විඳීමට හැකි වන පරිදි ප්‍රවර්ධනය කිරීමට, ආරක්ෂා කිරීමට සහ සහතික කිරීමට මෙන් ම ආබාධ සහිත තැනැත්තන්ට පූර්ණ සහ අනන්‍ය ගෞරවයෙන් යුක්තව සැලකිලි ලැබිය හැකි වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා වන වගකීම භාර ගන්නා ලදී.තව ද, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආබාධිතභාවය නොසලකා සාප්පු, පොදු ආපනශාලා, හෝටල්, පොදු විනෝදාස්වාද ස්ථාන සහ තමා අදහන ආගමට අයත් පොදු නමස්කාර ස්ථාන සඳහා සමාන ලෙස ප්‍රවේශ වීමේ අයිතිය සහතික කර තිබේ (12 (3) ව්‍යවස්ථාව). එබැවින්, ආබාධ සහිත තැනැත්තන්ට සියලුම පොදු ගොඩනැගිලි සඳහා සුවපහසු ප්‍රවේශයක් ඇති බව සහතික කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටී.

එපමණක්ද නොව, කාන්තාවන්, ළමුන් හෝ ආබාධසහිත තැනැත්තන්ගේ අභිවෘද්ධිය සඳහා නීති සහ අනු නීති සම්පාදනය හෝ විධායක ක්‍රියාමාර්ග මගින් විශේෂ විධිවිධාන සම්පාදනය කළ හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැඩිදුරටත් සඳහන් වේ (12(4) ව්‍යවස්ථාව).එහෙයින්, ශ්‍රී ලංකාව ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය සඳහා වූ සිය පොරොන්දු ඉටු කළ යුතු අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කිරීමට උත්සාහ කළ යුතුය.

මෙම සිදුවීම, විවිධ අනන්‍යතා නිසා පුද්ගලයන්ට සිදුවන වෙනස්කම් හා බාධකවල අන්තර් ඡේදනය ඉස්මතු කරන්නකි. මෙහිදී අදාළ පුද්ගලයා ආබාධ සහිත කාන්තාවක් වන අතර ඇය දිනපතා අභියෝගවලට විශේෂයෙන් ගොදුරු වේ. එබැවින් මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඔවුන් මත පැටවී ඇති අධික බර අවම කර දීමට උත්සාහ කිරීම රජය සතු වගකීමකි.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය, විදේශ ගමන් බලපත්‍ර ප්‍රධාන කාර්යාලය සහ තවත් බොහෝ රාජ්‍ය සේවාවන් වෙත ආබාධසහිත තැනැත්තන් නිරන්තරයෙන් ප්‍රවේශය සිදු කරනු ලබයි. බත්තරමුල්ලේ පිහිටි රජයේ කාර්යාලවල ආරක්‍ෂක සේවා සම්පාධනය නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) මූලික වගකීම වන බැවින්,අනෙකුත් කරුණු අතරසියලු දෙනාම අන්තර්කරණය වන පරිදි පුද්ගලයන්ට සැලකීමමෙන් ම කාන්තාවන් සහ ආබාධ සහිත තැනැත්තන් සමඟ කටයුතු කිරීමේදී අන්තර්කරණය කරගත් භාෂාව භාවිතය පිළිබඳ ආරක්‍ෂක නිලධාරීන් දැනුවත් කිරීමට මෙන් ම ඔවුන් සංවේදනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අපි නාගරික සංවර්ධන අධිකාරියවෙතින් ඉල්ලාසිටින්නෙමු.

මෙවැනි සිදුවීම් අනාගතයේ ඇති නොවීමට වග බලා ගැනීම ශ්‍රී ලාංකීය පුරවැසියන් වශයෙන් අපගේ වගකීමකි. සෙත්සිරිපායේ (සහ අනෙකුත් පොදු අවකාශයන්හි) කාර්ය මණ්ඩලය ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳව නිසි ලෙස සංවේදී කර දැනුවත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය සඳහා වන පාර්ලිමේන්තු සංසදය වශයෙන් අපි උදක්ම ඉල්ලා සිටින්නෙමු. තවද, ආබාධ සහිත තැනැත්තන්ගේ අවශ්‍යතා පිළිබඳව දැනුවත්ව සහ අවබෝධයෙන් පසුවන ලෙසත්, ඉදිරි වැඩසටහන් පැවැත්වීමේදී ආබාධ සහිත තැනැත්තන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සම්බන්ධව පෙර සිට සැලසුම් කිරීමෙන් අනතුරුව අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙසත් අපි විශේෂයෙන් රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks